Pages

Wednesday, May 27, 2015

පළාත් පාලන ආයතනවල වගකීම සහ කාර්යභාරය අද නිසිලෙස ඉටුවේද?

ප්‍රාදේශීය පරිපාලනය හෙවත් පළාත් පාලන සේවය ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපෘතියක්‌ නොවේ. එය පුරාණයේ සිටම පැවත එන්නකි. පණ්‌ඩුකාභය රජ දවස සිට මෙය පැවත එයි. ගම්සභා සහ රට සභා යනුවෙන් මේවා මුලින් ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්‌ටමින් හැඳින්විය. එදා මේවායේ සේවාවන් සඳහා නිරත වූවෝ අද මෙන් මහජන ඡන්දයෙන් පත්වූවන් හෝ දීමනා වැටුප් ලබන්නන් හෝ නොවූහ. ප්‍රදේශයේ වැදගත් ප්‍රභූ පිරිසක්‌ මෙම අගනා සමාජ සේවයේ නිරත වූහ. ජල සම්පාදනය, වැව් අමුණුවලට ජලය සැපයීම හා රැස්‌කිරීම, ඇලවේලි ඉදිකිරීම මංමාවත් ඉදිකිරීම හා ඒවායේ නඩත්තුව වැනි කාර්යයන් මෙම අයගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

පැරණි ගම්සභා ක්‍රමය පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණයන්ගෙන් විනාශයට පත්ව තිබුණු අතර, බ්‍රිතාන්‍ය යුගයේ දී (සුදු පාලනයේ) යළි ගම්සභා ක්‍රමයට නව මුහුණුවරක්‌ ලැබුණි. බ්‍රිතාන්‍යයින් කලින් පැවැති සම්සභා ක්‍රමය කෘෂිකර්මාන්තයට යෝග්‍ය වන පරිදි 1856 දී නැවත ක්‍රියාත්මක කිරීම නිසා ජල කළමනාකරණ කටයුතුවලදී කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ පුනරුදයක්‌ යළි ඇතිවිය. ඔවුහු 1861 වර්ෂයේ දී මංමාවත් ආඥ පනත් මගින් මාර්ග තැනීමේ වැඩපිළිවෙලක්‌ සඳහා මාර්ග කාරක සභා ක්‍රමයක්‌ද ඇති කළහ. කොළඹ සහ මහනුවර නගර වෙනුවෙන් 1865 දී නගර සභා දෙකක්‌ද ස්‌ථාපිත කරන ලදී. කලින් ඡන්ද රහිතව පැවැති ක්‍රමය වෙනස්‌කර මහ නගර සභා පිහිටුවීමේ දී මහජන ඡන්දයෙන් සභිකයින් තෝරා පත්කරගනු ලබන අලුත් ක්‍රමයක්‌ හැඳින්වීය. ගම්සභා සඳහා මහජන ඡන්දයෙන් සභිකයින් තෝරා පත්කර ගැනීම ආරම්භ වූයේ 1924 වර්ෂයේ සිටය. පසුව පළාත් පාලන සේවය තවදුරටත් පුළුල් කරනු වස්‌ අර්ධ නාගරික ප්‍රදේශවල 1946 දී සුළු නගර සභා 24 ක්‌ පිහිටුවන ලදී. 1948 වන විට ප. පා. ආයතනවල විවිධ වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය. ඒ වනවිට මහනගර සභා 07 ක්‌ද නගර සභා 36 ක්‌ද සුළු නගර සභා 34 ක්‌ද ගම්සභා 401 ක්‌ද බිහිවී තිබිණි.

1970 දශකය තෙක්‌ පැවැති ගම්සභා, සුළු නගර සභා, නගර සභා සහ මහ නගර සභා 1980 දශකයේ දී දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා පනත යටතේ සංශෝධනයන්ට භාජන විය. මේ අනුව ගම් සභා සහ සුළු නගර සභා දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා යටතට ගෙන ඒවා උප කාර්යාල ලෙස හඳුන්වාදී සංවර්ධන සභා යටතේ පාලනය විය. 1988 දී දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා ක්‍රමය අහෝසිකර සුළු නගර සභා සහ ගම්සභා වෙනුවට ප්‍රාදේශීය සභා ක්‍රමයක්‌ බිහිකරන ලද්දේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව ප්‍රාදේශීය සභා පළාත් සභා යටතට පත්විය. එහෙත් මධ්‍යම ආණ්‌ඩුව මගින්ද මෙම ආයතන සඳහා ක්‍රියාකාරිත්වයේ අඩුවක්‌ නොකළේය.

මේ වනවිට දිවයින තුළ පළාත් පාලන ආයතන වර්ග 03 ක්‌ ක්‍රියාත්මක වෙයි. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ඒවා හැඳින්වෙයි.

2015 මාර්තු 15 දා සිට පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අවසන්වීම නිසා යළි මැතිවරණයක්‌ මගින් නියෝජිතයන් පත්කරන තෙක්‌ විශේෂ කොමසාරිස්‌ හා නිලධාරි පාලනයට යටත්කර තිබේ. නගර සභා, මහ නගර සභා වලට නාගරික කොමසාරිස්‌ / ලේකම්වරුන්ද ප්‍රාදේශීය සභාවලට ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ද බලධාරීන් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

කිසියම් ප. පා. ආයතනයක්‌ බලතල අනිසි ලෙස යොදවමින් සභාවේ කාර්ය කටයුතු ඉටුකිරීම පැහැර හරිමින් විෂමාචාර ලෙස ක්‍රියා කරන විට එවැනි අවස්‌ථාවන් පාලනය කිරීමට හා විරුද්ධව පියවර ගැනීමට පළාත් සභාවේ පළාත් පාලන විෂය දරණ අමාත්‍යවරයාට බලතල පැවරී තිබේ. රජයේ බලතල හා කාර්යයන් පළාත් පාලන විෂය දරණ අමාත්‍යවරයාද ලේකම්වරයාද ප. පා. කොමසාරිස්‌වරයාද වෙත වගකීම් පැවරෙන අයුරින් 1989 අංක 12 දරණ පළාත් සභා ආනුශංගික ප්‍රතිපාදන පනතින් පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන වල ප්‍රතිසංස්‌කරණයන් සඳහා මේ වනවිට කොමිසන් සභා දෙකක්‌ පත්කර තිබිණි. පළමු කොමිසම පත්කරන ලද්දේ 1955 වර්ෂයේ ය. ඒ චොක්‌සි කොමිසමයි. දෙවැනිව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසිsන් 1997 පැවැති ප. පා. මැතිවරණයෙන් පසු තවත් කොමිසමක්‌ පත් කළාය. ඒ ආචාර්ය එච්. ඒ. ජී. අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම කොමිෂන් සභා වාර්තාව 1999 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිනිය වෙත බාරදුනි. එහෙත් වාර්තාවේ සඳහන් කරුනු මේ දක්‌වා ඉටු වී නැත.

ප. පා. ආයතන මගින් ජනතාව අපේක්‍ෂා කරන්නේ, මාර්ග සංවර්ධනය, නව මංමාවත් ඉදිකිරීම්, නාන ළිං, බොන ළිං, පාලම්, බෝක්‌කු ඉදිකිරීම්, කාණු පද්ධති ඇතිකිරීම් හා ඒවා නඩත්තු කිරීම්, සෞඛ්‍ය සේවා, නිවාස යෝජනා ක්‍රම, පුස්‌තකාල සේවා, ක්‍රීඩා පහසුකම්, සුබ සාධන කටයුතු, වීදි පහන් ආලෝකය, කැළි කසල බැහැරලීම, පරිසර සංරක්‍ෂණය, සෞඛ්‍ය සංරක්‍ෂණය ආදී සේවාවන්ය. මීට අමතරව මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම, පිස්‌සු බලු උවදුර, වඳුරු උවදුර, ආහාර හා ඖෂධ පනත ක්‍රියාත්මක කිරීම, පෝෂණ කාර්යයන්ද ඇතුළත්ය.

ඉහතින් සඳහන් කළ සේවාවන් ඇත්තටම ජනතාවට හරිහැටි සැපයෙන්නේද යන්න සොයා බැලීම වටී. මෙම සේවාවන්ගෙන් 10% ක්‌ වත් ඉටුකර ගැනීමට ජනතාවට සභිකයින් (මන්ත්‍රීවරුන්) පසු පස යැමට සිදුවේ. ඉහත සඳහන් සේවාවන් සැපයීම සඳහා අදාළ ප. පා. ආයතනය ජනතාවගෙන් බදු මුදල් අයකරගනී. වරිපනම් බදු, අක්‌කර බදු, බල පත්‍ර ගාස්‌තු, වාහන හා සත්ව බදු, බදු කුලී, කඩ කුලී, ඉඩම් විකිණීමෙන් බදු මුදල්, විනෝද බදු මුදල්, ක්‍රීඩා පිට්‌ටනි කුලියට දීම්, වැනි දේවල් ඊට අදාළවේ. මෙම ආදායම්වලට අමතරව පොළ ගාස්‌තු, සභාව සතු දේපළ කඩ කාමර, නිවාස කුලියට/ බද්දට දීමෙන්ද ආදායම් ලබාගනී. මීට තවත් අමතරව මධ්‍යම රජයෙන් සහ පළාත් සභාවෙන්ද නොයෙකුත් ව්‍යාපෘති සඳහා මූල්‍යමය ආධාර සහ යන්ත්‍ර උපකරණ ලබාදෙයි. මේ අනුව බලනවිට ප. පා. ආයතන දුප්පත් ආයතන නොවිය හැකිය.

ප. පා. පාලන ආයතන මගින් සිදුකරන පාලම්, බෝක්‌කු, පාරවල්, ළිං, ප්‍රජා ශාලා, නිවාස ව්‍යාපෘති, ආදිය කොන්ත්‍රාත් ක්‍රමයට සිදුවන්නේ බොහෝ දුරට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් හරහාය. කොන්ත්‍රාත්තුව කරවන්නේ ඔවුන්ය. එනිසා ඇස්‌තමේන්තු ගත මුදලට හෝ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුවන අවස්‌ථාද ඇතිවිය හැකිය. ඔවුන් උප කොන්ත්‍රාත්කරුවන් ලෙස යටින් පෙනී සිට තම සාක්‌කු පුරවා ගනී.

මේ වනවිට ප. පා. ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන් නොසිටින නිසා පරිපාලන හා සේවා කටයුතු නිලධාරීන් වෙත පැවරී තිබේ. මහජන සේවාවන් වලදී ටෙන්ඩර් පටිපාටි ක්‍රමය නිසි පරිදි අනුගමනය කිරීම අදාළ නිලධාරින් සතු කාර්ය භාරයකි.

පළාත් පාලන ආයතන මගින් සිදුවන කාර්යභාරය නිලධාරීන් මගින් සිදු කිරීමේ දී ඔවුන් තම සේවාවන් හරිහැටි හඳුනාගෙන එකී සේවාවන් විධිමත් අයුරින් ඉටුකිරීමට වගබලා ගත යුතු වන්නේය. මෙම ආයතනවල කාර්යභාරයන් ගැන සොයා බැලීමට පළාත් සභාවලට බලතළ පැවරී තිබේ. මේ බලතළ අතර නිසි උපදෙස්‌ දීම්, මඟ පෙන්වීම්, තාක්‍ෂණය හා මූල්‍ය සහායදීම් අධිකරණ කටයුතු වඩාත් වැදගත්වේ. පළාත් පාලන ආයතන ප්‍රධානීන් බලතල අනිසි ලෙස යොදවා පැවරී ඇති වැඩකටයුතු අවිධිමත්ව පැහැර හරිමින් විෂමාචාරව කටයුතු කරන්නේ නම් ඒ ගැන සුදුසු පරිදි ක්‍රියා කිරීම වැදගත්ය. විෂමාචාරව නිලධාරින් කටයුතු කරන්නේ නම් ඒ ගැන විරුද්ධව පියවර ගැනීමට ප. පාලන විෂය භාර ඇමැතිවරයාට 1989 අංක 12 දරණ, ආනුශංශික ප්‍රතිපාදන පනතින් ඉඩකඩ තිබේ.

පළාත් සභා සහ ප. පා. ආයතනවල බලතළ වගකීම්, කාර්ය පටිපාටි අෙන්‍යාන්‍ය වශයෙන් අවබෝධ කරගෙන එම කාර්යයන් ක්‍රමවත් අයුරින් ඉටුකිරීමට ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත්ය. හුදෙක්‌ ඒ දේශපාලනඥයින් මේ වනවිට ප. පා. ආයතනවල නොමැති නිසාය.

ආර්. එම්. ටී. බී. රත්නායක - විශ්‍රාමලත් ප්‍රාදේශීය සභා ලේකම්
http://www.divaina.com/2015/05/27/feature01.html

Pic Source

0 comments: