Pages

Friday, March 8, 2013

‘බුදු දහම බටහිර විද්‍යාවෙන් මනිනු බෑ’ – නලින්.. ‘මම අතරමං වෙලා’ – කාලෝ පසු බසී

බුදු දහම බටහිර විද්‍යාව මගින් සත්‍ය යැයි තහවුරු කරන්නට උත්සාහ කිරීම අඥ්ඥාන ක්‍රියාවක් බවත් බුදු දහම සහ බරහිර විද්‍යාව යන දෙක එක මග නොයන සම්පූර්ණයෙන් එකිනෙකට පටහැනි බවත් ආචාර්‍ය නලින් ද සිල්වා මහතා පවසයි. බුදු දහමේ කාලාම සූත්‍රයෙහි විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයිද ’බටහිර විද්‍යාත්මක ක්‍රිමවේදය’ කාලාම සූත්‍රය සමග හොඳින් එකඟ වන බවටද මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනා කලක සිට පවසන මතය පදනමක් නොමැති බව තමන් දිගු කලක සිට පෙන්වාදෙන බව පවසන නලින් ද සිල්වා මහතා බටහිර විද්‍යාව සහ බුදු දහම එකිනෙක පටහැනි බවට ඇති හොඳම සහතිකය බටහිර විද්‍යාව ප්‍රවාද මත පදනම් වුවත් බුදු දහම තුල ප්‍රවාද නොමැති බවයි.තමා ‘බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ ග්‍රන්ථයේ’ සඳහන් කල ආකාරයටම ‘බටහිර විද්‍යාව සහ බුදු දහම එකිනෙකට පටහැනියි ‘ යන කරුණ සත්‍ය බව ඔහු පෙන්වා දෙයි.

දැනුම නිර්මාණය කිරීම පිළිබඳ වටිනා ලිපි රාශියක එකතුවක් ලෙස ආචාර්‍ය නලින් ද සිල්වා මහතා විසින් රචිත “බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ” නම් වූ ග්‍රන්ථය මූලික කරගනිමින් පසුගියදා කොලඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවති සම්මන්ත්‍රණයකදී මේ අදහස් පළවිය.

මෙම සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය සිදු කල කාලෝ ෆොන්සේකා මහතා,  කලක් උග්‍ර භෞතිකවාදියෙකු ලෙස පෙනී සිටි තමාට අද වන විට සැබෑ ලෙසම පැවසුවහොත් මතවාදීව යන එන් මන් නැති වී ඇති බව පවසයි.තමාට මීට බොහෝ කලකට පෙර නොපෙනුන බොහෝ දේ දැන් පෙනෙන්නට පටන්ගෙන ඇති බව පවසන ඔහු තමන් දැන් මතවාදීව ගත යුතු මග පිලිබඳ පැහැදිලි නොමැති තත්වයකට පත්ව ඇතැයිද පවසයි.

එසේ වුවත් ඔහු මීට කලකට පෙරදී අවධාරණය කල පමණ ශක්තියකින් නොවුවත් බුදු දහමේ කරුණු බටහිර විද්‍යාව මගින් ඔප්පු කර ගත හැකි බව පෙන්වීමට කාලෝ ෆොන්සේකා මහතා මෙම දේශනය තුලද උත්සාහ කල අතර සමාලෝචන දේශනය තුලදී එම කරුණු ඉතා පැහැදිලි ලෙස අබියෝගයට ලක් කිරීමට නලින්ද සිල්වා මහතා කටයුතු කලේය.

කාලෝ ෆොන්සේකා මහතා කලකට පෙර සිටම හේතුවාදී මතවාද දැරූවෙකු ලෙස ප්‍රකට අතර එම මතවාදයේ මෙරට ප්‍රමුඛයකු වූ ඒබ්‍රහම් කොවුර් අනුව යමින් මෙරට පැවති සංස්කෘතිකාංග “විද්‍යාත්මක” නොවන බව ‘බටහිර විද්‍යාත්මක ක්‍රමය’ මගින්  තහවුරු කිරීමට  උත්සාහ කල අයෙකි.එකල භෞතිකවාදීන්ගේ මහත් ප්‍රසංශාවට භාජනය වී වීරයකු ලෙස සැලකූ ඔහු අද වන විට ඔවුන්ගේ විවේචනයටත් මතවාදී සතුරෙකු බවටත් පත් වීමට හේතු වී ඇත්තේ ඔහු අද  පවසන මේ ‘මතවාදී අතරමංවීම’ විය හැක.

මෙම සම්මන්ත්‍රණය තුලදී රජරට වකුගඩු රෝගය පිලිබඳවද එයට හේතු නව කෘමිනාෂක සහ පොහොර පිලිබඳවද කෘෂි රසායන ආනයනය කරන  සමාගම් සහ එයට සම්බන්ධ රජයේ නිලධාරීන් – බලධාරීන් මෙම හෙළිදරව්ව යටපත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳවද බොහෝ කරුණු නිරාවරනය විය.

දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්  බෙංගමුවේ නාලක හිමියන්ගේ මූලිකත්වයෙන් චින්තන පර්ෂදය විසින් සංවිධානය කර තිබූ මෙහි ප්‍රධාන දේශනයට ආරාධනා ලැබ සිටියේ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මහතාය.සමාලෝචන දේශනය නලින්ද සිල්වා මහතා විසින් සිදු කල අතර අතර කොලඹ විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය  පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි, ආසනික් පර්යේෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්‍ය  ප්‍රියානි පරණගම මහත්මිය සහ ප්‍රවීන මාධ්‍යවේදී මාලින්ද සෙනවිරත්න මහතාද කෙටි දේශන පැවැත්වීය.

- යටියන ප්‍රදීප් කුමාර
March 7, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91398/

1 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//“බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ//

පොතේ නම ඇහුවාමත් හිනා යනව ඕයි !