Pages

Friday, March 8, 2013

මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මන්නාරම, මුලතිව්, වවුනියාව දිස්ත‍්‍රික්ක තුනේ පිහිටි රක්ෂිත කැලෑ අක්කර 2388 ක පමන ප‍්‍රමාණයක් යුද්ධය නිසා අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට බව පවසමින් වන සංහාරයක් සිදුකිරීම කටයුතු කරමින් සිටින බව පරිසර සංවිධාන එකමුතුව සඳහන් කරයි.

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික ශ‍්‍රී ලංකා ස්වභා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා සඳහන් කළේ, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ අවශ්‍යතාවයක් මත මෙය සිදුවන බවයි. මෙලෙස රක්ෂිත කැලෑ ප‍්‍රදේශ අක්කර 2388 ක් මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට බව පවසමින් වෙන්කර තිබෙන බවත් හෙතෙම පැවැසීය.

මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප‍්‍රදේශයේ පිහිටි රක්ෂිත ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර 983 ක ප‍්‍රමාණයක් ලබාගැනීමට කටයුතු කර තිබෙන බව ද පවසා සිටියේය.

මීට අමතරව මන්නාරම මුසාල් සහ වෙඩිතලතිව් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි රක්ෂිත ප‍්‍රදේශවලින් අක්කර 1080 ක ප‍්‍රමාණයකුත්, වවුනියාව දිස්ත‍්‍රික්කයේ වවුනියාව උතුර ප‍්‍රාදේශීය කොට්ඨාසයේ පිහිටි රක්ෂිත ප‍්‍රදේශයෙන් අක්කර 325ක ප‍්‍රමාණයක් ද ලබාගැනීමට ද සැලසුම් කර තිබෙන බව ද කියා සිටියේ ය.

අමාත්‍යවරයාගේ හිතුමතේට සිදුකරන මෙම ක‍්‍රියාව නිසා ගැටලූ රාශියක් ඇතිවන බව ද තිලක් කාරියවසම් මහතා සඳහන් කළේ ය.

එනම් අවතැන් වූ ජනතාව පදිංචි ඉඩම් යුද්ධය නිසා කිසිදු ආකාරයකින් හානියකට පත් නො වී එලෙස ම තිබිය දී අවතැන් වූ මුස්ලිම් ජනතාවට ලබාදීමට බව පවසමින් රක්ෂිත කැලෑ ප‍්‍රදේශ ලබාගන්නේ කුමන හේතුවකට ද යන්න ගැටලූවක් බව යි.

මීට අමතරව එක් ප‍්‍රදේශයක් මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙන් කිරීමත්, යුද්ධය නිසා සියලූ ම ජාතීන්ට ගැටලූ ඇති වී තිබිය දී එක් ජන කොට්ඨාසයකට පමණක් විශේෂත්වයක් දැක්වීම ද ගැටලූවක් බව ද ඔහු පවසා සිටියේ ය.

මීට අමතර ව රක්ෂිත ප‍්‍රදේශ ලෙස නම් වී ඇති ප‍්‍රදේශවල මිනිස් ක‍්‍රියාකාරකම් සිදුකිරීම  නීති විරෝධී ලෙස පෙන්වා දී තිබියදීත්, එම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමක් ගැටලූවක් බව ද තිලක් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ය.

මේ නිසා සිදුකරනා මෙම ක‍්‍රියාව නවතා දැමීමට කටයුතු නොකළහොත් මෙයට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව ද පරිසර සංවිධාන එකමුතුව සඳහන් කළේ ය.


රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
March 8, 2013 at 5:05 pm | lanka C news

0 comments: