Pages

Thursday, July 25, 2013

ආසියාවේ ආලෝකය බුදුදහම යි - ජෝන් වෝල්ටර්ස්

බුදුදහමේ තිබෙන බුද්ධිමය නිදහස ගැන මගේ සිත් ගත්තකි. ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වෙන පරිදි ලොව සියල්ල මවන ලද්දේ සර්වබලධාරි දෙවියන් වහන්සේ විසිනි. ඔහු ආදරයේ හා කරුණාවේ දෙවියෙකි. ඔහු කෙරහි විශ්වාසය තැබීමෙන් ඒවා ලබාගත හැක. ඔහු තම එකම පුතා බිලි දුන්නේ මිනිසුන් දුකින් මුදාලීම සඳහා යි. එම ඉගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කිසිවකුට අයිතියක් නොමැත. අප අතර මිලියන ගණනක් ජනයා එය විශ්වාස කර ක්‍රිස්තියානි ආගම අදහති. එය කොපමණ දෙනකුට සැබෑවක් වී තිබේ ද? ජීවිතයේ දුක්වේදනා විඳින කොපමණ පිරිසක් එම දෙවියන් වහන්සේගේ කරුණාව අත් විඳින්නේ ද? බොහෝ දෙනකු අදහන කිතුනු ආගම විවේචනය කරන්නට මම අකැමැති වෙමි.

බුදුරජාණන් වහන්නේ යනු උසස් තත්ත්වයකට පත් වූ මිනිසකු මිස දෙවියෙක් නොවේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් දොම්නස් ආදී අනේක විධ දුක්පීඩාවලින් මිනිසුන් නිදහස් කරන්නට තමන්ට පුළුවන් යැයි බුදුරදුන් කිසිවිටෙක චාටු බස් පැවසුවේ නැත. බුදුදහමෙහි දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේ යනු අනුන්ගේ පව් සමා කරන කෙනෙක් හෝ ගැලවුම්කරුවෙක් ද නොවූහ. කිසිවකුටත් එසේ කළ නොහැකි බව උන්වහන්සේ පැවසූහ. කර්ම නියාමය අනුව පුද්ගලයකු කරන අකුසල කර්මයක විපාකය මෙලොව දී හෝ මතු ජීවිතයක දී හෝ ඔහුට අත් විඳින්නට සිදුවෙයි. තමන් කළ පාප කර්මවල නපුරු විපාකවලින් අහසෙහි හෝ සමුදුරෙහි හෝ ගල්ලෙනක හෝ සැඟ වී මිදෙන්නට නොහැකි යැයි ධම්මපදයේ සඳහන් වෙයි.

නිර්මල වූ ථේරවාදීි බුදුදහම ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය හා කම්පුචියාව යන රටවල වෙසෙන මිලියන ගණනක් පී‍්‍රතිමත් මිනිසුන්ගේ ජීවමාන ආගම යි. මානව වර්ගයාගේ ජීවිතයට යහපත සලසන එකම ආගම කිතුනු දහම යැයි මම සිතාගෙන සිටියෙමි. 


යොවුන් සිසුවකු වශයෙන් මා ආගම් ගැන තුලනාත්මකව හදාරන විට බුදුදහම ගැන සැලකුවේ ඇදහිය නොහැකි හාස්කම්වලින් පිරුන මායාකාරි ආගමක් වශයෙනි. එහෙත් මාධ්‍යවේදියකු වශයෙන් තායිලන්තයේ බැංකොක් නගරයට ගිය විට බුදුදහමේ පණිවුඩයෙන් මගේ මනස ආලෝකවත් විය. ආසියාවේ බොදු මිතුරන් සමඟ සාකච්ඡා කිරීමෙන් ද, කලක් තිස්සේ බුදුදහම ගැන හැදෑරීමෙන් ද,, බුදුදහම යනු ජීවිතයේ සැබෑ ස්වරූපය පෙන්වාදෙමින් මිනිසුන් මුහුණ දෙන දුක් පීඩාවලින් ඔවුන් මුදා ලන ජීවන දර්ශනයක් බව මම අවබෝධ කරගත්තෙමි.

1. දුක්ඛ සත්‍යය 
2. දුක්ඛ සමුදය සත්‍යය 
3. දුක්ඛ නිරෝධ සත්‍යය 
4 දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යය 

යනු බුදුරදුන්ගේ ඉගැන්වීම්වල පදනම යි. මම මුල දී ඒ ගැන සිතුවේ මිනිස් දිවියේ දිරිමත් බව නැතිකරන උදාසීන ඉගැන්වීමක් වශයෙනි. මනුෂ්‍ය ජීවිතය පමණක් නොව සෑම සත්ත්ව ජීවිතයක් ම දුක පදනම් කරගෙන පවතින අයුරු චතුරාර්ය සත්‍යයෙහි පැහැදිලි කර ඇත. එයට මූලික වන්නේ තණ්හාව, බැඳීම හෙවත් නොසන්සිඳෙන ආශාව යි. ජීවිතයේ දුක්වලින් නිදහස් වියහැක්කේ තණ්හාව මුළුමනින් නැති කිරීමෙනි. එය කළහැකි වන්නේ බුදුරදුන් පෙන්වා දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙනි. එවිට සියලු දුක්වලින් නිදහස් වන්නට පුළුවන. මනසෙහි ඇතිවන එම නිදහස් ස්වභාවය හැඳින්වෙන්නේ නිරෝධය හෙවත් නිවන යනුවෙනි. එය පැහැදිලි කිරීමට අමාරු මානසික ස්වභාවයකි. තණ්හාව එලෙස නැති නොකිරීම නිසා මනුෂ්‍යයා නැවත නැවත සසර ඉපිදෙමින් අනේක විධ දුක් පීඩාවලට මුහුණ දෙයි.

ක්‍රිස්තියානිය අත්හැර බුදුදහම පිළිගැනීමට ඔබ සිතුවේ ඇයි ද? යන්න මගෙන් නිතර අසන ප්‍රශ්නයකි. එය වැකි කීපයකින් පැහැදිලි කිරීම අමාරු ය. බුදුදහමේ තිබෙන බුද්ධිමය නිදහස ගැන මගේ සිත් ගත්තකි. ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වෙන පරිදි ලොව සියල්ල මවන ලද්දේ සර්වබලධාරි දෙවියන් වහන්සේ විසිනි. ඔහු ආදරයේ හා කරුණාවේ දෙවියෙකි. ඔහු කෙරහි විශ්වාසය තැබීමෙන් ඒවා ලබාගත හැක. ඔහු තම එකම පුතා බිලි දුන්නේ මිනිසුන් දුකින් මුදාලීම සඳහා යි. එම ඉගැන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කිසිවකුට අයිතියක් නොමැත. අප අතර මිලියන ගණනක් ජනයා එය විශ්වාස කර ක්‍රිස්තියානි ආගම අදහති. එය කොපමණ දෙනකුට සැබෑවක් වී තිබේ ද? ජීවිතයේ දුක්වේදනා විඳින කොපමණ පිරිසක් එම දෙවියන් වහන්සේගේ කරුණාව අත් විඳින්නේ ද? බොහෝ දෙනකු අදහන කිතුනු ආගම විවේචනය කරන්නට මම අකැමැති වෙමි.

බුදුරජාණන් වහන්නේ යනු උසස් තත්ත්වයකට පත් වූ මිනිසකු මිස දෙවියෙක් නොවේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් දොම්නස් ආදී අනේක විධ දුක්පීඩාවලින් මිනිසුන් නිදහස් කරන්නට තමන්ට පුළුවන් යැයි බුදුරදුන් කිසිවිටෙක චාටු බස් පැවසුවේ නැත. බුදුදහමෙහි දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේ යනු අනුන්ගේ පව් සමා කරන කෙනෙක් හෝ ගැලවුම්කරුවෙක් ද නොවූහ. කිසිවකුටත් එසේ කළ නොහැකි බව උන්වහන්සේ පැවසූහ. කර්ම නියාමය අනුව පුද්ගලයකු කරන අකුසල කර්මයක විපාකය මෙලොව දී හෝ මතු ජීවිතයක දී හෝ ඔහුට අත් විඳින්නට සිදුවෙයි. තමන් කළ පාප කර්මවල නපුරු විපාකවලින් අහසෙහි හෝ සමුදුරෙහි හෝ ගල්ලෙනක හෝ සැඟ වී මිදෙන්නට නොහැකි යැයි ධම්මපදයේ සඳහන් වෙයි.

මිනිසා සෑම සත්ත්වයකු කෙරෙහි ම මිතුරකු මෙන් කටයුතු කළයුතු ය. තමන්ගේ සතුරා කෙරෙහිත් මෙත් සිත පැතිර විය යුතු ය. වෛරය ජයගත හැක්කේ වෛර නොකිරීමෙනි. එය බුදුරදුන්ගේ ඉගැන්වීම යි. තමන්ගේ අසල් වැසියාට ප්‍රේම කරන ලෙසත්, තමන්ගේ කම්මුලට ගැසූ තැනැත්තාට අනික් කම්මුලත් හරවන්නැ යි පැවසූ ජේසුතුමා ද කන්ද උඩ දේශනාවෙන් වෛරයෙන් තොර මනුෂ්‍ය ජීවිතය අගය කළේය. එහෙත් එතුමාගේ අනුගාමිකයෝ එම ඉගැන්වීමට පටහැනිව සංවිධානාත්මකව නපුරු රුහිරු වැගිරවීම් සිදුකළ හැටි ලෝක ඉතිහාසයෙන් පෙනෙයි.

බුදුරජාණන් වහන්සේ මිනිසකු ලෙස ඉපිද මිනිසකු ලෙස මියගිය කෙනෙකි. පසුකාලයේ උන්වහන්සේගේ චරිතය වටා නොයෙකුත් විශ්මිත කතන්දර ගොතා ඇති බව පෙනේ. මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහි ඒවා බහුල ය. කෙසේ වුව ද, මනුෂ්‍ය ජීවිතයේ මුහුණ දීමට සිදුවන දුක් කම්කටොලු පිළිබඳව උන්වහන්සේගේ පැහැදිලි කිරීම් හා ඒවාට ලබාදුන් විසඳුම් ඇතුළත් දේශනා වසර දහස් ගණනක් මුළුල්ලේ මිනිසුන්ට යහපත් ජීවිතයකට මග පෙන්වා දෙමින් අද දක්වා ම ආසියාවේ නොනැසී පවතියි. ලෝකය පිළිබඳ බුදුදහමේ සඳහන් පැහැදිලි කිරීම් නූතන භෞතික විද්‍යාව දරන මතයට ද සමාන වූවකි. ද්‍රව්‍යයන් කෙරෙහි මනසෙහි උපදින ඇලීම බැඳීම පදනම් කරගෙන ඇතිකර ගනු ලබන අදහස්, නිගමන වැරැදි ය. ඒවා සත්‍ය හා නිත්‍ය දේවල් නොවේ. මනසෙහි ගොඩනැෙඟන දේවල් පමණි. බුදුදහමේ සඳහන් මෙම ඉගැන්වීම භෞතික විද්‍යාව ද පිළිගනියි.

සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අත්හැර යාම පහත් ක්‍රියාවක් ලෙස සච්චකයෝ සඳහන් කරති. එක් කිතුනු බැතිමතකු මා සමඟ පැවසුවේ භාර්යාව හා දරුවා අත්හැර යාම ඉතා දුෂ්ට ක්‍රියාවක් වශයෙනි. සිදුහත් කුමරු එසේ රහසින් නොගොස් තම ආදරවන්ත පිරිසගෙන් සාමාන්‍ය ආකාරයට ප්‍රසිද්ධ සමුගැනීමක් සිදුකරන්නට ගියා නම් කුමක් සිදුවේවි ද? ඔහුගේ සිත වෙනස් කිරීමට ඔවුන් බලකරනවා නිසැක ය. එවිට විශාල කලබලයක් සිදුවනු ඇත. සුදොවුන් රජුගේ රජය අවුලකට පත්වනු ඇත. කුමරු තම අදහස කීවා නම්, පියා සහ බිරිඳ ඔහුගේ ගමන වළක්වන්නට ඉඩ තිබුණි. සිදුහත් කුමරු වැනි ජව සම්පන්න නිරෝගී තරුණයකු සෙනෙහෙබර බිරිඳ, දරුවා, රජමැදුරෙහි සිරි සම්පත්, රසමසවුළු පිරි අහර ආදිය අත්හැර සත්‍යාවබෝධය සඳහා නික්ම යාම අසාමාන්‍ය සිද්ධියකි. බ්‍රිතාන්‍යයේ රජකිරුළ හිමි කුමරා තරුණ වියේ දී ඇංගලිකානු පූජකවරයෙකු වන බව කීවොත් කොපමණ කැළඹීමක් සිදුවේවි ද? මාලිගයෙන් පිටවන බව කීවා නම්, සිදුහත් කුමරුටත් සිදුවන්නේ එවැනි කලබැගෑනියට මුහුණදීමට යි. ඔහු එඩිතරව නිවැරැදි ක්‍රමය අනුගමනය කළේය. කුමරු රහසිගතව නික්ම ගොස් තවුස් වෙස් ගත්තේය. සියලු සම්පත් අත්හැර කෙනකුට පැවිදි විය හැකි නම්, එය උතුම් ක්‍රියාවකි. එය එකල භාරත සමාජයේ පිළිගැනීමයි.

සිදුහත් තවුසා සමඟ එක්ව දිගු කලක් දුෂ්කර ක්‍රියා කරමින් සත්‍ය ගවේෂණයේ යෙදුණ පස්වග තවුසන් වෙන්ව ගිය පසු හුදෙකලා වූ සිදුහත් තවුසා නේරංජනා නදී තීරයේ උරුවෙල් දනව්වේ බෝමැඩ වාඩිවුණි. කුමාර ජීවිතයේ සැප සම්පත්, භාර්යාව, අත්හැර දැමූ යොවුන් විය, තමන් සතු බලය ආදිය පිළිබඳ සිතිවිලි සිදුහත් තවුසාගේ සිතට ගලා එන්නට විය. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය වටහාගැනීමට බාධා කරන එම මනෝභාවයන් මාර සේනාවක් ලෙස එතුමාට පෙනුණි. ඒ සියල්ල යටපත් කරමින් දැඩි තීරණයකට එතුමා එළඹුණී, මගේ සිරුරෙහි හම, නහර දියවේවා. ලේ , මස් වියලේවා, ඒ සියල්ල සිදුවූවත්, බුදුබව ලබා නොගෙන මම මෙතැනින් නොනැගිටිමි යනුවෙන් එතුමා අදිටන් කරගති.

අතීත ජීවිතය සම්බන්ධයෙන් පැවැති බැඳීම් මුළුමනින් නැතිකර දමන්නට සිදුහත් තවුසා සමත් විය. ඔහු චිත්ත ඒකාග්‍රතාවය තවත් තියුණු විය. සසර පෙර ජීවිත ගැන මෙනෙහි කළේය. කසාවත් හැඳ වැහැරුණ සිරුරකින් බෝමැඩ වාඩි වී සිටි ඒ උතුම් මිනිසා හේතු ප්‍රත්‍ය න්‍යාය අනුව ලෝකය ඇතිවන නැතිවන ආකාරය හා ජීවිතයේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගැනීමෙන් බුද්ධත්වයට පත්විය.

ජීවිතයේ සියලු දුක් දොම්නස්වලින් මිදීම හෙවත් නිවන් සුවය ළඟා කරදෙන දහම ඉතා ගැඹුරු ය. පටිච්ඡසමුප්පාද නියාමය සරල වූවත්, එහි අඩංගු කරුණු සංකීර්ණ ය. පස්කම් සැපයෙහි ගැලී සිටින, කලබලකාරී මනසකින් යුත් මිනිස්සුනට එය තේරුම් කරදීම අමාරු යැ යි බුදුහු කල්පනා කළහ. මෙම ධර්මයෙහි පරිත්‍යාගශීලි දෙවියකු නොමැත. හාස්කම් දක්වන පූජකයන් නොමැත. සැප සම්පත් ලබාගැනීම සඳහා වූ බිලි පූජා හා යාඤා නොමැත. සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීමෙන් කිඹුල්වත්පුරයෙන් නික්මුණේ සත්‍යාවබෝධය ලබාගෙන ලෝක සත්ත්වයන් සුවපත් කිරීමට යි.

එතුමා තමන්ගේ විමුක්තිය පමණක් සලසා ගෙන අන් අය ගැන නොසලකා සිටින්නේ කෙසේ ද? එසේ කළ නොහැක.

එතුමා මෛත්‍රියෙන් පිරුණු කෙනෙකි. එමනිසා, කවුරු හෝ කෙනෙකු දුකින් නිදහස් වීම සඳහා වූ මෙම ධර්මය පිළිගෙන එයින් ප්‍රතිඵල ලබනු ඇතැයි සිතු බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් සොයා බරණැසට වැඩම කළහ.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ බරණැස ඉසිපතන මිගදායෙහි දී බුදුහු තම ප්‍රථම ධර්මදේශනය පැවැත්වූහ. එය ශ්‍රවණය කළේ උන්වහන්සේ සමඟ එක්ව සත්‍ය ගවේෂණයේ යෙදුණ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම හා අස්සජි යන පස්වග තවුසන් ය. මධ්‍යම ප්‍රතිපදාව, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් එම දේශනාව හැඳින්වෙයි. කම්සැපයෙහි ඇලී ගැලීමේ කාමසුඛල්ලිකානුයෝගයෙන් හා සිරුරට දුක් දීමේ අත්තකිලමථානුයෝගයෙන් වෙන්ව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් පාරිශුද්ධ භාවය හා ප්‍රඥාව ලබාගත හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ. පස්වග තවුසන් අතරින් කොණ්ඩඤ්ඤ පළමුවෙන් ම එම ඉගැන්වීම අවබෝධ කරගත්තේය. පසුව සෙසු අයට ද දහම වැටහුණි. කලක් ගතවන විට බුදුරදුන්ගේ ශ්‍රාවක සංඛ්‍යාව හැටක් දක්වා වර්ධනය වුණි. ධර්මය ප්‍රචාරය කිරීම සඳහා එම පිරිස සිව් දිසාවට පිටත් වූහ. පිවිතුරු වූ, නිවැරැදි වූ සරල දිවි පෙවෙතක් ගත කරන්නට යනු බුදුරදුන් තම ශ්‍රාවකයන්ට දුන් උපදේශය යි. බුදුසමය වැලඳගැනීම ඉතා සරල ලෙස කළ හැක. ඒ සඳහා කියවන වාක්‍ය තුනක් තිබේ. මම බුදුරදුන් සරණ යමි. මම ධර්මය සරණ යමි. මම සංඝයා සරණ යමි යන එම වැකි සියලු බෞද්ධයෝ නිතර කියති.

සිදුහත් කුමරු බෝමැඩ දී බුද්ධත්වයට පත් නොවූවා නම්, ආසියා මහාද්වීපයේ ඉතිහාසය අද තිබෙනවාට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. පාලනය කළ නොහැකි ද්වේෂය, වෛරය, කෲරත්වය, ආත්මාර්ථය විශාල ප්‍රදේශයක බලපවත්වනු නිසැක ය. මේවා මැඬලීම අමාරු ය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැනවීම්වලින් මිනිසුන්ගේ සිත්සතන් පවිත්‍රත්වයට හා මෘදුභාවයට පත්වූ නිසා ආසියාව ආලෝකවත් වූයේය.

(ජොන් වෝල්ටර්ගේ Mind Unshaken පොත ඇසුරෙනි. මෙම පොත - නොසැලෙන මනස - නමින් පූජ්‍ය බෙල්ලනවිල විමලරතන නාහිමි, සිංහලට පරිවර්තනය කර ඇත.)

මැදගම ධම්මානන්ද හිමි - මහනුවර අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
http://www.lakehouse.lk/alokoudapadi/2013/07/24/_art.asp?fn=a13072410

0 comments: