Pages

Thursday, July 18, 2013

අගමැතිගෙන් ශාසනයට සෙතක් නෑ. මහ නා හිමිවරු සැදූ පනත වසර 10ක් තිස්සේ සම්මත කරගන්න බැරිඋනා. දූෂිත වංචනික දේශපාලනඥයන්ට භික්ෂුන් ගැන තීරණ ගන්න බෑ - සුමංගල නාහිමි

බුද්ධ ශාසන ඇමැති ධුරය දරන අගමැතිවරයා කළ යුතු දේ හරි හැටි නොකර වේදිකාවල කටමැත දෙඩූ පමණින් ශාසනයට සෙතක් වන්නේ නැතැයි රංගිරි දඹුළු පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති. භික්ෂුන් වහන්සේ පිළිබඳ පොදු ප්‍රඥප්තියක් ඇතිකිරීම පිණිස ප්‍රධාන නිකායවලින් හා එම අනුබද්ධ පාර්ශ්වවලින් පාලකයන්ට භාර දුන් යෝජනා මාලාවට දැන් වසර 10කට වැඩි කාලයක් ගතවී ඇතත් බුද්ධ ශාසන ඇමැති ධුරය දරන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින බෞද්ධ මැති ඇමැතිවරුන් හා එක් වී එම පොදු ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නට තාමත් බැරි වුණැයි සුමංගල නාහිමියෝ දොෂාරෝපණයක්ද කරති.

"රෝද පුටුවලට වී පුටු රත්කරන අයටත් දූෂිත වංචනික දේශපාලනඥයන්ටත් මේ රටේ භික්ෂුන් වහන්සේ පිළිබඳ තීන්දු තීරණ ගන්න බෑ"යි නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.

දේශපාලනඥයන් තමන්ගේ වැඩකටයුතු බලාගතහොත් හොඳ යැයි අවවාදයක්ද කරන සුමංගල නාහිමියෝ භික්ෂුන් වහන්සේ පිළිබඳ කටයුතු කිරීමට මේ රටේ සංඝ සභා තිබෙනවායි දැනුම්වත් කිරීමක්ද කරති.
නාහිමියන් මෙසේ සඳහන් කෙළේ වැරැදි කරන භික්ෂුන් සිවුරු හරවා නීතිය ඉදිරියට ගෙන එන බවට අගමැතිවරයා විසින් කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් පිළිබඳව 'මව්බිම' කළ විමසීමකට පිළිතුරක් දෙමිනි.

සුමංගල නාහිමියෝ මෙසේද කීහ. රටේ ඉහළම තනතුරක් වූ අගමැති ධුරය දරන අය කියනවා වැරැදි කරන භික්ෂුන් සිවුරු හරවා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි කියා. පැවිදි වූ කෙනකු තමන්ගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යාචාර්යත්වයෙන් ඉවත් කිරීමට හැකියාව තිබුණත් සිවුරු ඉවත් කිරීමට ඒ කිසිම කෙනකුට අයිතියක් නෑ. එහෙම කරන්නට දේශපාලනඥයන්ට පුළුවන්කමක් නැහැ. ඔවුන් භික්ෂුන්ගේ ගුරුවරු නොවේ.

භික්ෂු සමාජයේ විනයගරුක නොවෙන විට ඒ අයට නිසි තැන සමාජයේ ලැබෙන්නේ නෑ. ඒ බවත් අපි අමතක නොකළ යුතුයි.
මේ රටේ නිකායවල අධිකරණ සංඝ නායකවරු සිටිනවා. ඒත් තමාගේ ගෝල හිමිනමක් ගැනවත් අත්‍යවශ්‍ය ඍජු තීරණ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. පදවි තානාන්තර තිබුණට වැඩක් නැහැ. ඒවා සවිබල ගැන්වීමට අදාළ නීති - රීති පද්ධතියක් නැත්නම්.

රජ කාලේ පවා භික්ෂු කතිකාවක් හැදුණේ රාජ්‍ය අනුග්‍රහයෙන්. මේ බෞද්ධ රටේ බෞද්ධ බලධාරීන් මහ පුටුවල හිටියත් කාටත් බැරි වුණා පොදු සංඝ ප්‍රඥප්තියක් නීතිගත කරන්න. සිවුරු දාගෙන නොගැළපෙන වැඩ කරන අයට නිකායවලින් ඉවත් කරන්න පුළුවන්. ඒත් සිවුරු ගලවන්න අපටවත් බැරි නම් ඒක දේශපාලනඥයන් කරන්නේ කොහොමද?

ඔය ඔක්කොම කතා විහිළු. විහිළු චරිත, විහිළු කතා කියනවා. ඒවායින් ශාසනයට වෙන සෙතක් නැහැ. හැමදේටම නීතියක් රීතියක් තිබිය යුතුයි. මේ නිසා අද අපට ඕන කරන්නේ පොදු භික්ෂු ප්‍රඥප්තියක් බලගන්වන එකයි. එය භික්ෂු විනය නීතියටත්, රටේ පොදු නීතියටත් ගැළපෙන්නක් විය යුතුයි.
තවත් කරුණක් කියන්නට ඕනෑ. රට කරවන අයට අනුව තමයි ජනතාව සකස් වෙන්නේ. ඒ අනුව දේශපාලනඥයන්ටත් ආචාර ධර්ම ආදිය ගැන පොදු ප්‍රඥප්තියක් ඕනෑ.

නාඋල - අමා පතිරාජ
http://www.mawbima.lk/35-30070-news-detail.html

0 comments: