Pages

Thursday, July 18, 2013

උතුරට පොලිස්‌ හා ඉඩම් බලතල දුන්නොත් අනිත් පළාත් සභාවලටත් නොදී ඉන්න බැහැ - අස්‌ගිරි මහානාහිමි | පළාත් සභා රටට ගැළපෙන්නේ නැහැ - මල්වතු මහානාහිමි

උතුරට පොලිස්‌ හා ඉඩම් බලතල දෙන්ට ඕනෑ නැහැ. උතුරට ඒ බලතල දුන්නාම අනෙක්‌ පළාත් වලටත් නොදී ඉන්ට පුළුවන් කමක්‌ නැතැයි අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති හා ජාතික සංඝ සභාවේ නියෝජිත පිරිසකට ඊයේ (17 දා) පැවැසූහ.

පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

මේ විදියට රට කැබැලිවලට කඩන්ට ගියහොත් රටේ පාලන 9 ක්‌ ඇතිවීම වැළැක්‌වීමට පුළුවන් කමක්‌ නැතැයිද මහානායක හිමිපාණෝ පැවැසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ, කිසිම පොලිස්‌ ඉඩම් බලතලයක්‌ පළාත් සභාවලට නොදිය යුතුය. ඒ බලතල රජය අතේ තබාගත යුතුය. පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කර රාජ්‍ය බලය මධ්‍යම රජය යටතට පත් කළ යුතුයි. ඒකීය රාජ්‍ය පාලනයක්‌ සඳහා මධ්‍යම රජයට බලතල ලබාදීමට සියලු දේශපාලන පක්‍ෂ සහයෝගය දිය යුතුයි.

මේ ඡන්ද ක්‍රමයත් අහෝසි කළ යුතුයි. අද මන්ත්‍රීවරයකු සොයා ගැනීමට අපහසු තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. ඡන්දය ලබාගෙන බලයට පත්වූ පසු මන්ත්‍රීවරුන් සොයා ගන්ට බැහැ. මේ මනාප ක්‍රමය නිසයි එය සිදුවන්නේ.

අද ඡන්දයෙන් පත්වන්නට පුළුවන්කම තිබෙන්නේ තක්‌කඩින්ට. සාධාරණ, සංවර කෙනකුට ඡන්දයට ඉදිරිපත් වෙන්ට අද පුළුවන් කමක්‌ නැහැ. රටට වැඩක්‌ කිරීමට දැක්‌මක්‌ හැඟීමක්‌ තිබෙන කෙනෙකුට ඡන්දයෙන් ජයග්‍රහණය කරන්නට බැහැ.

අතිපූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අදහස්‌ දක්‌වමින් විධායක ජනාධිපති ක්‍රමයත් මනාප ඡන්ද ක්‍රමයත් අහෝසි කළ යුතුයි. මේ ක්‍රමවලින් රටේ ප්‍රශ්න ගැටලු උග්‍ර වෙනවා. එයට විසඳුමක්‌ ලැබෙන්නේ නැහැ.

පළාත් සභා ක්‍රමය රටට ගැළපෙන්නේ නැහැ. 13 වැනි සංශෝධනයේ අහිතකර කොන්දේසි ඉවත් කිරීමට පියවර ගත යුතු යෑයිද අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා අදහස්‌ දක්‌වමින් පළාත් සභා ක්‍රමය මේ රටට නොගැළපෙන නිසා ඒවා ඉවත් කළ යුතු බවට තීරණයක්‌ ගත් බව කීවේය.

පූජ්‍ය දොඩම්ගොඩ සාරානන්ද ස්‌වාමීන් වහන්සේද අදහස්‌ දැක්‌වූහ. මහනුවර ජයග්‍රහණය සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්. වීරසිංහ මහතා සහ රොෂාන් සම්පත් මැදගොඩ සහ මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ ප්‍රධාන විධායක උපාලි කරුණාරත්න යන මහත්වරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/07/18/news35.html

0 comments: