Pages

Monday, July 29, 2013

‘රට හිර කල මර උගුල’ JR – රජීව් ද්‍රෝහී පාවා දීමේ ගිවිසුමට වසර 26යි

උතුරේ යුද්ධයට  දේශපාලන විසඳුමක් යැයි පවසා දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන බිහිකරමින්  ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජීව් ගාන්ධි අගමැතිවරයා අතර අත්සන් කල ගිවිසුමට අදට වසර 26ක් සපිරේ. 1987 ජුලි 29 වැනිදා කොළඹදී අත්සන් කල මෙම ගිවිසුම මෑත කාලින ඉතිහාසයේ වැදගත්ම දේශපාලන සිදුවීමක් විය.

එවකට ජෙනරාල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ මෙහෙයවීමෙන් වඩමාරච්චි මෙහෙයුම හමුවේ පසුබා සිටි දෙමළ කොටි සංවිධානයට එරෙහි මෙහෙයුම් ඉන්දීය මැදිහත්වීම හමුවේ නවතා දමන්නට එවකට ජනාධිපතිවරයාට සිදුවිය.පසුව බලහත්කාරයේන් ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කර යාපනයට ආහාර ද්‍රව්‍ය හෙළමින් ඉන්දියාව ශ්‍රී ලංකාව ගුවිසුම අත්සන් කරගැනීමට නම්මවා ගත්තේය. මේ ක්‍රියාවලිය පිටිපස ඉන්දීය ‘රෝ’ සංවිධානය මූලිකව ක්‍රියාකල අතර ඒ පිළිබඳ එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේඑන් ඩික්සිත් විසින් රචනා කල ‘කොළඹ භූමිකාව’ නැමති ග්‍රන්ථයේ මැනවින් විස්තර වේ.

ජුලි 29 වන දා කොළඹදී අත්සන් කල ගිවිසුමට අනුව පැය 48ක් ඇතුලත අවි නිහඬ කර කොටි සංවිධානය සතු ආයුධ බිම හෙළන බවට වගන්තියක්ද ගිවිසුමෙහි අන්තර්ගත විය.නමුත් එය ඉටු කිරීමට ඉන්දීය රජය අපොහොසත් විය.කෙසේ නමුත් ගිවිසුමෙන් පසු මෙරටට ගොඩ බැසි ඉන්දියන් හමුදාවටද ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පරාජය කිරීමට නොහැකි විය.ඒ සටන් වලදී ඉන්දීය හමුදා සෙබලු 1300ක් පමණ එල්ල්ටීටීඊයෙන් ඝාතනය විය.අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉන්දියන් හමුදාව මෙරටින් පිට කෙරිණ.

ගිවිසුමට එරෙහිව එකල සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ,දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල විරොධයක් එල්ල කෙරිණ.එවකට ජේආර් ජයවර්ධන ජනධිපතිවරයා විසින් තහනම් කර තිබූ ජවිපෙ ගිවිසුමට එරෙහිව දියත් කල විරෝධතාවය අවසානයේ භීෂණයක් දක්වා වර්ධනය වී එජාප පාලනය විසින් එහි නායක රෝහණ විජේවීරයන් පවා ඝාතනයට කෙරිණ.

කෙසේ වෙතත් රජීව් ජේආර් ගිවිසුමෙන් පසු ඇති කල පලාත් සභා ක්‍රමය හරහා මධ්‍යම රජය සතු ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල රාශියක් පළාත් සභා වෙත පවරා දුන් අතර ඒ මගින් රටේ ඒකීය භාවය අහෝසි වන බව මේ පිළිබඳ සෙවීමට  ජේ ආර් ජනාධිපතිවරයා පත් කල නව දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් සිව් දෙනෙකු පැහැදිළිව පෙන්වා දුනි. කෙසේ නමුත් මෙතෙක් කිසිඳු පළාත් සභාවක් ඉඩම් හා පොලිස් බලතල භාවිතා නොකර මධ්‍යම රජය සමග ඒකාබද්ධව කටයුතු කරගෙන යමින් තිබේ. නමුත් ඉදිරි කාලයේ බිහිවන උතුරු පළාත් සභාව තුලදී එය අභියෝගයට ලක්වීමට ඇති ඉඩ කඩ වැඩිය.

- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/news/98287/

0 comments: