Pages

Monday, July 22, 2013

තේරීම් කාරක සභාවට විපක්‍ෂය නොපැමිණීම නිසා පොදු රාජ්‍ය සමුළුවෙන් පසු ඉඩම් පොලිස්‌ බලතල ඉවතට???

ලබන නොවැම්බර් මස පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවෙන් පසු 13 වැනි සංශෝධනයට අදාළ ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග "දිවයින" ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම 13 වැනි සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රජය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කර ඇතත් ඊට සහභාගිවීම එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී එහි බලතල සම්බන්ධව ප්‍රති සමාලෝචනයක්‌ කෙරෙන බව එම ආරංචි මාර්ග කියයි.

ඉඩම් හා පොලිස්‌ බලතල ඉවත් කිරීම සඳහා වන යෝජනාව පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව අවසන් වූ වහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති ලෙස නම් කර ඇති සී. විග්නේෂ්වරන් යටතේ මෙම බලතල ලබාගැනීම ජිනිවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත යොමු කිරීමට ද්‍රවිඩ සන්ධානය සැලසුම් කර ඇතැයි රජයට වාර්තා වී තිබේ.

මෙකී බලතල පූර්ණ ලෙස අවශ්‍ය බවත් ඉන් උතුරු ප්‍රදේශයේ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි බවත් දන්වමින් විග්නේෂ්වරන් කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ යුරෝපා ගුවන්විදුලි සේවාවක්‌ අමතමින් කළ ප්‍රකාශය ගැන රජයේ දැඩි අවධානය යොමු වී ඇත.

උතුරු පළාත් සභාවට මෙකී බලතල ප්‍රදානය කරනු ලැබුවොත් පොලිස්‌පති ධුරය අහෝසි වන බවද නීති විශාරදයන් විසින් පෙන්නුම් කර තිබේ.

මේ අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ කොටි තර්ජනය පැවැති අවස්‌ථාවක බවත් එම ගිවිසුමේ 2.14 වගන්තිය ප්‍රකාර ඉන්දීය රජයට කොටින්ව නිරායුධ කිරීමට නොහැකි වීමෙන් ගිවිසුම බිඳ වැටී ඇතැයි විදෙස්‌ නීති විශාරදයන් පිරිසක්‌ ද ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

කොටි සංවිධානය දැන් විනාශ වී ඇති නිසා එකී ගිවිසුම හා ඊට අදාළ කොන්දේසි ද බල රහිත යෑයි ඔව්හු තවදුරටත් පෙන්නුම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/21/news01.html

0 comments: