Pages

Wednesday, July 31, 2013

2/3ක බලයක් තියෙන මේ ආණ්ඩුවට පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුවත් එය කරන්නේ නෑ - මල්වතු මහ නාහිමියෝ

තුනෙන් දෙකක බලයක් තිබෙන මේ ආණ්ඩුවට ඒ බලය යොදවා පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුණත් එසේ කරන්නේ නැතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති. ජනාධිපතිතුමාට විධායක බලය තිබුණාට අවශ්‍ය දේට ඒ බලය යොදවන්නේ නැතැයි සඳහන් කරන මහ නාහිමියෝ, හැබැයි අනවශ්‍ය දෙයට විධායක බලය යොදවන බව අපට පේනවායි ද පවසති.

මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් මේ බව සඳහන් කෙළේ 13 වැනි ව්‍යවස්ථාව හා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි තෛ්‍ර නිකායික මහ නාහිමිවරුන් වහන්සේ එක්ව රජයට සංඝ ආඥාවක් නිකුත් කිරීමට පියවර ගන්නැයි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මල්වතු මහ නාහිමියන් හමුවී කළ ඉල්ලීමකදීය.

තෛ්‍ර නිකායික මහ නාහිමියන්ගේ කැමැත්තට අනුව ඒකාබද්ධ සංඝ ආඥාවක් නිකුත් කිරීමට මල්වතු මහ නාහිමියන් එකඟ වූ බව ඥානසාර හිමියෝ මාධ්‍යයට පැවැසූහ.

රජය රටට ජනතාවට හිතකර තීරණ සැමවිටම ගතයුතු බව අනුශාසනා කළ මල්වතු නාහිමිපාණන් පැවැසුවේ බොහෝ අවස්ථාවල තමන් වහන්සේ ප්‍රකාශ නිකුත් කළත්, ඒවාට අවධානයක් යොමු නොකරන බවයි. 
පළාත් සභා පමණක් නොව රටට අහිතකර සියලු දේ සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. පළාත් සභා තිබුණාට රටට සිදුවන යහපතක් නෑ. සිදුවන්නේ මහා මුදල් විනාශයක් බව පැවැසූ මල්වතු මහ නාහිමියෝ මෙසේද කීහ.

පළාත් සභාවලට තේරී පත්වන බොහෝ මන්ත්‍රිවරුන් කරන එකම දෙය නම් තවත් වසර හතරකින් එළැඹෙන මැතිවරණ සඳහා වියදම් කිරීමට මුදල් හොයන එකයි. මුදල් සොයන්නේ සාධාරණ විදියටද, අසාධාරණ විදියටද කියන එක ඒ මන්ත්‍රිවරුන්ට වැඩක් නැහැ. මොන ක්‍රමයෙන් හරි මනාප සටන සඳහා මුදල් හම්බ කිරීම මේ අයගේ එකම බලාපොරොත්තුවයි. ජනතාවගේ හෝ රටේ ප්‍රශ්න ඒ අයට වැඩක් නැහැ.

මල්වතු මහා නාහිමියන් හමුවේ අදහස් පළ කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.
ඉන්දියාවේ අවශ්‍යතාව මත පැන නැඟුණු පළාත් සභා රටට මහා විනාශයක්. මේවාගෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. දේශපාලනඥයන් හා ඔවුන්ගේ පවුල්වල හා හිත මිතුරන් පෝෂණය වීම පමණයි මේ මඟින් සිදු වෙලා තියෙන්නෙ. සබරගමුවේ මහ ඇමැති මහීපාල හේරත්ට පමණක් වාහන 32ක් තියෙනවා.

මේකයි පළාත් සභාවල සැබෑ තත්ත්වය. රටේ අනෙක් පළාත් සභා මධ්‍යම රජය කියන දෙයකට හිස නමාගෙන සිටියත් උතුර හා නැඟෙනහිර පළාත් සභා කොහොමටවත් ඒ විදියට ඉන්නේ නැහැ. මහ ඇමැතිකම ලැබෙන්නත් ඉස්සරවෙලා හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු විග්නේශ්වර්න් ප්‍රකාශ කරනා දේවල්වලින් ඒ බව හොඳටම පැහැදිලි වෙනවා. එයා මධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා පළාත් සභාවලට දැන් තිබෙනා බලය කිසිසේත්ම නොසෑහෙන බව. ඉඩම්, පොලිස් බලතලවලටත් එහා ගිය බලය එයා ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වෙනවාලු. ශ්‍රී ලංකා රජයෙන් නොලැබුණොත් ඉන්දියාව හරහා ලබා ගන්න උත්සාහ කරනවාලු.

මහනුවර - කමල් සුරවීර
http://www.mawbima.lk/86-31256-news-detail.html

0 comments: