Pages

Tuesday, July 30, 2013

‘දැක්ම’ එළිදකී. නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ!

‘දැක්ම’ එළිදකී… නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ…මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා පසුගිය දශක කිහිපය පුරාවට රට දැය සමය වෙනුවෙන්  සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් උපහාර පිදීමේ සහ එතුමාගේ නවතම ග්‍රන්ථය ‘දැක්ම 1′  එළි දැක්වීමේ උළෙලක්  නිදහස් චතුරස්‍රයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්විණ.

නලින් ද සිල්වා මහතා දිවයින පුවත්පතට සම්පාදනය කල ලිපි 79 ක් ඇතුලත් කර සකස් කල ‘දැක්ම 1’ ග්‍රන්ථය ගොඩගේ පොත් ප්‍රකාශකයන්ගේ නිර්මාණයකි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් යුත් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින්  මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.මෙහිදී නලින් ද සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද දැක්ම 1 ග්‍රන්ථයේ මුල් පිටපත් මුලසුන හෙබවූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්  පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වෙත පිළිගැන්විණ.

දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භක දේශනය සිදුකල අතර සාහිත්‍යශූරී දොස්තර ගුණදාස අමරසේකර මහතා, මහාචාර්‍ය ඉන්දරතන මහතා මෙන්ම ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන්  ආදීන් කෙටි දෙසුම් පැවැත්වීය.මෙහිදී නලින්ද සිල්වා මහතා දශක තුනක් පමණ තිස්සේ සිදුකරන ජාතික මෙහෙවර සියලු දෙනාගේ ඇගයීමට ලක්විය.විශේෂයෙන් කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි  යැයි මුල සිටම පැවසූ ප්‍රාඥ්ඥයන් අතරින් ඒ මහතාට සුවිශේෂී තැනක් හිමිවන බව දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.නලින්ද සිල්වා මහතා ජාතික වස්තුවක් ලෙස හඳුන්වා දුන් ගුණවර්ධන මහතා ඉදිරි කාලයේදී එතුමාගේ මෙහෙවර තව තවත් ජාතිය විසින් ඉල්ලා සිටිනු ඇතැයිද පැවසීය.

දොස්තර ගුණදාස අමරසේකර මහතා අදහස් දක්වමින් පැවසුවේ පසුගිය වකවානුවේ ජාතියක් වශයෙන් අප ලබාගත් ජයග්‍රහණවලට මතවාදී ශක්තිය සැපැයූවන් අතරින් ප්‍රමුඛස්ථානය නලින්ද සිල්වා මහතාට හිමි වන බවයි.එමෙන්ම ජාතිය ඉල්ලාසිටින ඉදිරි ජාතික දර්ශනය නිර්මාණය කිරීමේ කාර්‍යටද නලිද සිල්වා මහතාගෙන් සුවිශේෂී දායකත්වයක් ඉදිරියේදී ලබාදෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කලේය.

උත්සව සභාවේ මුඛ්‍ය දේශනය මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා විසින් සිදු කල අතර අවසානයේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පිරිනැමූ උපහාර සිහිවටනය ආරාධිත අමුත්තකු වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පිළිගැන්විය.

මේ අවස්ථාවට ප්‍රධාන දේශපාලන  පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලනිප ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය  විමල් වීරවංශ , ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය  පාඨලී චම්පික රණවක සහ මහජන එක්සත් පෙරමුනේ නායක  අමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගි විය.

- යටියන ප්‍රදීප් කුමාර
July 30, 2013 at 9:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98351/

බටහිර විද්‍යාව ගැන දොරමඬලාව වැටසටහනකදී ඔහු දැක්වූ අදහස්
https://www.facebook.com/photo.php?v=281982945272730

0 comments: