Pages

Monday, July 29, 2013

ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම‍ලේඛනය වහා හෙළිදරව් කරන්න - බොදු බල සේනා

යුද්ධයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අවසන් කිරීමට නොහැකි වීමට හේතුව දේශපාලනඥයන් බවත් ලංකාවට කුඩු ගෙන්වන්නන්ගේ නාම ‍ලේඛනය වහාම හෙළිදරව් කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ඥානසාර හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (28) කොලොන්නාව මංසන්ධියේ පැවැති බොදු බල සේනා සමුළුව අමතමිනි.
කොලොන්නාව රජමහා විහාරයේ සිට සමුළුව දක්වා පෙරහරකින් පැමිණීමෙන් අනතුරුව සමුළුවේ කටයුතු ආරම්භ කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඥානසාර හිමියන් මෙසේද පැවැසීය.
මත් කුඩුවලට ඇබ්බැහි වී අඬන දරුවන්ට ජීවිත දානය ලබාදෙන්න කුප්පියාවත්ත බෝධානන්ද හිමියන් කටයුතු කරනවා. අද කොලොන්නාවට ඓතිහාසික දවසක්. කොලොන්නාව ගැන කියද්දී එක්කෝ කුණු නැත්නම් කුඩු කියන කාරණය මුළු රටම දන්නවා. කැලණි මිටියාවතේ ජීවත්වන්න මේ භූමිය කුණු ගඳ ගහන කුඩු පුරවරයක් කියන අරුමය දේශපාලනඥයන් උරුම කළා.

දස දහස් ගණන් කැඳවා බොදු සමුළු පවත්වමින් අරමුණක් නැතිව නිර්වින්දනය වූ ජාතියට යන එන මං කියාදි ජාතිකවාදය කියන එන්නත ලබාදුන්නා. අද දිනයක් දීමට නොහැකි තරමට බොදු සමුළු පවත්වන්නයි ආරාධනා පැමිණෙනවා. කොලොන්නාවෙන් අපිට ආරාධනා ලැබුණා. මානව සම්පත පමණයි තිබෙන්නේ. සමුළුව සූදානම් කර ගන්නයි කිව්වාම ඒ පිරිස විසින් අද මේ සමුළුව සංවිධානය කර තිබෙනවා.

කොලොන්නාව බොදු සමුළුව කඩා කප්පල් කරන්න බොහෝ දේ සිදුවුණා. කොලොන්නාවේ මුස්ලිම් මිනිස්සු බයවෙලා. කඩවල් වසන්න. එන්න දෙන්නේ නැහැ ආදි විවිධ ප්‍රචාර සිදුවුණා. විද්වත් සභාවලදී පමණක් සාකච්ඡා වන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ බල පුළුවන්කාරයන් කවුරු වුණත් රට ගිල ගෙන ඇති කුඩු ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නා බව අපි කිව්වාම කඩි ගුලක් සේ ඇවිස්සුණු අය මුස්ලිම් පල්ලියට ගිහින් එළියට බහින්න එපා කිව්වා. බොදු බල සේනා යකෙක් කියන භීතිකාව මැව්වා.

මුස්ලිම් සමාජයේත් බිල්ලො ඉන්නවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කරන මතවාදී පෙන්නුම අන්තවාදී මතවාද ගෙන ගොස් බොදු බල සේනාව මුස්ලිම් මිනිසා අපහසුතාවයට පත් කරන මහසෝනෙක් බව කියනවා.
කොලොන්නාවේ ඇතැම් දේශපාලනඥයන් පන්සල්වලට කතා කර මේ සමුළුවට සහභාගි වෙන්න එපා කිව්වා. ආරක්ෂක අංශ පවා අපට කතා කරලා පරෙස්සම් වෙන්න කිව්වා. ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි කුඩු කාරයන්ට හෝ මැරයන්ට බිය නෑ. හෙට අනිද්දාට වාහන අනතුරක් වෙලා අපි මැරෙන්න පුළුවන්. මහ නායක හිමිවරුන් හෝ දේශපාලනඥයන් මේ ප්‍රශ්නය ඉවර කරන්න මැදිහත් වෙන්නෙ නෑ.

ඕනෑ නම් අවුරුදු 60ක් 70ක් ජීවත් වෙයි. ඒ කා‍ලේ පන්සල්වල පඩික්කම් පුරවනවාට වඩා ඊළඟ පරම්පරාව නිර්මාණය කරන දරුවෝ වෙනුවෙන් පෙනී සිටින්න අපි තීරණය කළා.
දුර්වල පුරුෂයෙක් සමාජයට බිහිවෙලා. මේ මත් ජාවාරමෙන් විනාශ වන දරුවන් ඒවායේ ගොදුරු පමණයි. මහ පරිමාණ ගොදුරු අල්ලන්නන් හොයා ගත යුතුයි.

මේ ව්‍යාපාරය නතර කර ගත්ත නම් කුඩු ගෙන එන මහ වෙළෙන්දෝ ගම් මට්ටමින් හා වතු මට්ටමින් බෙදා හරින්නන් ගැන සොයා බැලිය යුතුයි. කරුණාකර ‍පොලිස්තුමනි කුඩු ගෙන් කුඩු ගෙන්වන්නන්ගේ නාම‍ලේඛනය හෙළි කරන්න. නිල භාවය ලබපු චණ්ඩි ඉන්නවා නම් ඒ ‍පොලීසිය විතරයි.

කේරළ ගංජා ගැන තොරතුරු රැස්කළා. මෙහේ ගංජා හේන් ගිනි තියනවා. සුවිශේෂි ඔසුවක් වන දේශීය ගංජා නොමැතිවීම නිසා ආයුර්වේද වෛද්‍යවරුන් හූල්ලනවා. විෂ සහිත දේ ආහාරයට ගත් විට ජාතිය වැනසෙනවා. සමාජය අතුගා විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ජාතියක් ඉදිරියට යන්න නම් ආයුර්වේදය, නක්ෂත්‍රය, කෘෂිකර්මය රැකගත යුතුයි. අපි මේ කාරනා තුනෙන්ම ලොස්ට් වෙලා. ඒ අතරේ ඉන්දියාවේ රෝ සංවිධානය හරහා මෙරට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනුයේ සද්භාවයට පත් කරන්නයි කේරළ ගංජා බෙදා හරින්නේ. අවුරුදු 5ක් පමණ කේරළ ගංජා භාවිතා කළොත් වඳභාවයට පත් වෙනවා. ඉන්දියාවේ අරමුණ දැන් පැහැදිලියි.

බන්ධනාගාරයේ ඉන්න සියයට පනහක් මත්ද්‍රව්‍ය නිසා සිරගත වෙලා. මේ ව්‍යසනයෙන් රට බේරා ගන්න බැරිවෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය දේශපාලනඥයන් හා අපරාධකරුවන් නිසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් අද අපිට ප්‍රශ්නයක් වෙලා.

කුරුණෑගල දේශපාලනඥයකුට බාර් 65ක් හිමියි. තව කෙනෙකුට 55යි. බණ කිය කියා නොහිට ජාතිය නැගිට්ටවීම නොකළොත් අපේ සොහොන් කොත්වලටත් අනාගත පරපුර හෙණ ඉල්ලයි.
හලාල් ගේන්න උනන්දුවන උලමා සභාවේ අය හැබෑටම රටට ආදරෙයි නම් මත් උවදුරින් රට බේරා ගැනීමට ඉදිරියට ආ යුතුයි. ක්‍රිස්තියානි සභාවේ පියතුමන්ටත් අපි ආරාධනා කරනවා.

කොළොන්නාව භාරව සිටින දේශපාලනඥ දුමින්ද සිල්වා, නගරාධිපති කුඩු ප්‍රශ්නය විසඳන්න එකතුවෙලා. දැන් කරුණාකර වැඩ පෙන්වන්න. තමුන්නාන්සේලා දන්නවා කොහොන්ද එන්නේ කවුද බෙදන්නේ කියලා.
කොළොන්නාවෙන් කුඩු අතුගාලා මුළු ලෝකෙටම ආදර්ශනය පෙන්වමු.

කිරුළපන බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි,

වර්තමානයේ පවතින අභියෝග සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න පවත්වන මේ සමුළුවට පෙර බොදු බල සේනා සංවිධානය ගැන අසත්‍ය ප්‍රචාර යවමින් සමුළුව කඩාකප්පල් කරන්න උත්සාහ කළා.

නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ කඩ වාහන ලෙසත් අපි ඔවුන්ට පහරදෙන බවටත් ප්‍රචාරයක් කෙරුණා. බොදුබල සේනා සංවිධානය කිසිවිටෙක සහෝදරත්වයෙන් ජීවත් වන අනෙකුත් ජාතීන්ට හිරිහැර කරන්නේ නැහැ. බොදුබල සේනාව ආරම්භ කළේ ශාසනික අර්බුද විසඳා ගැනීමටයි. ඒ සඳහා රට ආරක්ෂා කළ යුතු නිසා කවුරු හෝ රට විනාශ කරන්න කටයුතු කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න වෙනවා. 
ශාසනය කියන්නේ පිරිසිදු මල් උයනක් වැනි දෙයක් වූවත් එය පරිහානිය කරා ගෙන යන වැඩපිළිවෙළ  ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලය තුළ අපි දුටුවා ශාසනය තුළ බොරුවට සිවුරු ‍පොරවාගෙන ශාසනයේ රැකවරණය ගෙන සිටින හොර තක්කඩි කුඩුකාරයින්ව. එවැනි 40කගේ පමණ සිවුරු ගැලෙව්වා.

කොටිකාවත්ත නාගරුක්ඛාරාමාධිපති බදුල්‍ලේ මහනාම හිමි,

සිංහල බෞද්ධයන් වශයෙන් පෙරට එන්න මහා ශක්තියක් බොදු බල සේනා සංවිධානය නිසා අපට ඇති වී තිබෙනවා. භික්ෂුන් වහන්සේලා සමගිව මෙවැනි වැඩසටහන් සඳහා  එක්වී රට ජාතිය හා ආගම ආරක්ෂා කරගතයුතුයි. මේ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සාහ කළා. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් ප්‍රදේශය හැරයන තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ නිසා එක් සිත්ව බොදු බල සේනාව සමග කටයුතු කළ යුතුයි.
අතුරුගිරිය සීවලී අසපුවේ විහාරාධිපති පදලංගල ධම්මදේව හිමි
කොළොන්නාවේ බොදු බල සේනා රැස්වීමට තරම් බාධක හිරිහැර වෙනත් සමුළුවකට වුණේ නැහැ. මුස්ලිම් ජනතාවගෙන් නමෛයි අපට හිරිහැර වුණේ. අපේම අයගෙන් පක්ෂ පාට බේදයකින් තොරව අප එකතු විය යුතු අවස්ථාවක කොළොන්නාව නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා මෙතැනට සහභාගිවෙලා නැහැ. මුස්ලිම් ජාතිකයින් මේ සමුළුවට සහභාගි වී සිටිනවා. මුස්ලිම් ජාතිකයන් සමග ප්‍රශ්නයක් අපට නැහැ.

දැන් කළ යුතුව තිබෙන්නේ ඇඟට ඇතුළු වී තිබෙන විෂබිජ ඉවත් කිරීමයි. අපි ශක්තිවන්ත නම් විෂබිජවලට ඇතුළු වෙන්න බැහැ. සිංහලයන් දුර්වල වෙන්න එපා. අපි ළඟ තිබෙන තුවා‍ලේ ඉක්මණින් සනීප කර නොගත්තොත් ඇඟපුරා විෂබිජය දුවයි.

කුප්පියාවත්තේ බෝධානන්ද හිමි,

නැතිවී ගිය සිංහල බෞද්ධකමට නැවත පණ දෙන්න මේ දරන උත්සාහය අපි අගය කරනවා. තිස් වසරක් යුද්ධය ගැන කියමින් සිටියත් අද අපේ තරුණ දරුවන් වෙත හේතුවක් නිසා විනාශ වෙනවා.
සුද්දෝ සිගරැට් බොන්න පුරුදු කළා. ඒ වගේම 1970 දශකයේ සිට හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වුණ අපේ තරුණ පරපුර ඇවිදින මළමිනී බවට පත්වෙලා. සල්ලිකාරයින්ගේ දරුවන් විතරයි හෙරොයින් බොන්නේ කිව්වත් අද අස්සක් මුල්ලක් නෑර හැමතැනම මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා. සිගරට් අරක්කු භාවිතය අඩුවෙලා කීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

වැල්ලම්පිටිය විහාරස්ථානයේ විහාරාමාධිපති විටියල කවිධජ හිමි සහ හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ චමිල ලියනගේ මහතාද එහිදී කතා කළහ.
බොදු බල සේනා සංවිධානයේ මූල්‍ය ‍ලේකම් හපුත‍ලේ පඤ්ඤාසාර හිමියන්, පදනංගල ධම්මදේව හිමියන්, හැඩිගල්‍ලේ විමලසාර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා, දසසිල් මාතාවන් හා විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

රන්මලී සෝමසිරි / අයිරංගනි එදිරිසිංහ - කඩුවෙල | ඡායාරූප - මලිත් ගමගේ
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14776:2013-07-26-04-25-14&catid=62:2012-08-14-03-41-39&Itemid=84

0 comments: