Pages

Saturday, June 15, 2013

13 වැනි සංශෝධනය රටේ ඒකීය භාවයට බාධාවක්‌ ද?

ශ්‍රී ලංකාවට උචිත වන ආකාරයේ පළාත් පාලන සේවයක්‌ රට තුළ පවතිද්දී, ඊට අමතරව අප තවත් පළාත් සභා ක්‍රමයක්‌ ඇතිකර ගත්තේ මොන හේතුවකටද යන්න පැහැදිලි කරගත යුතුව ඇත. එය ඇත්ත වශයෙන්ම බලනවානම් "හිසේ ඇම්මට කොට්‌ට මාරු කිරීම" වැනි අමන ක්‍රියාවකි. නිදහසෙන් පසු තට්‌ටුමාරු ක්‍රමයට රටේ පාලන බලය ලබාගත් එක්‌සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් විටින් විට ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් නිර්මාණයවූ ත්‍රස්‌තවාදී ව්‍යාපාරය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුකොටගෙන යථෝක්‌ත පළාත් සභා ක්‍රමය රට තුළට අකමැත්තෙන් හෝ වැද්දගැනීමට සිදුවීම කණගාටුදායකය. එවකට පැවැති ආණ්‌ඩුවල මෙම ත්‍රස්‌තවාදී ව්‍යාපාරයට මුහුණ දීමට නොහැකිවීමත් ඒ සඳහා පැහැදිලි සැලසුම් හෝ ප්‍රතිපත්තීන් නොතිබීමත් යන කරුණු නිසා එය ජාත්‍යන්තර මට්‌ටමට වර්ධනය විය. විශේෂයෙන්ම ඉන්දියාව සමඟ අප තිබූ හොඳ හිත ටික කලකට හෝ පලුදුවීම හා අප බටහිරට ගැති විදේශ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම හේතුවෙන් නිරායාසයෙන්ම ඉන්දියාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට රහසිගතව උපකාර කිරීමට පෙළඹිණි. පසුව එළිපිටම උපකාර කිරීමට පටන්ගැනීමත් සමඟ එම ත්‍රස්‌තවාදී ව්‍යාපාරය රට දෙකඩ කරවන මහා යුද්ධයක්‌ බවට පරිවර්තනය විය. 1983 පමණ වන විට ඉතා සුළු ත්‍රස්‌තවාදි සංවිධානයක්‌ව පැවැති එල්.ටී.ටී.ඊ.ය එවකට පැවැති රජය විසින් දියත් කරන ලද දකුණේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරය හා දෙමළ ජනතාව උතුරට පලවා හැරීමේ අසම්මත පිළිවෙත හේතුකොටගෙන එය මහා සංවිධානයක්‌ බවට පරිවර්තනය විය.

එමනිසා එවකට පැවැති ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවට මෙම ත්‍රස්‌තවාදයට විසඳුමක්‌ සෙවීම සඳහා ඉන්දියාව සමඟ එක්‌තරා දුරක එකඟතාවයකට පත්වීමට සිදුවිය. මෙම සිදුවීම මුල්කොටගෙන විශේෂයෙන්ම ඉන්දියන් ආණ්‌ඩුවේ වුවමනාව පරිදි පළාත් සභා ගිවිසුම ඇතිවිය. එම ගිවිසුම අනුව ලංකාවේ ත්‍රස්‌තවාදය විනාශ කිරීම සඳහා ඉන්දියානු රජය සහාය ලබාදීමට එකඟවීමත් ඒ සඳහා ඉන්දියන් හමුදාව ලංකාවට එවීමටත් පොරොන්දු විය. ඊට හිලව් වශයෙන් ඉන්දියාවට හිතකර ආකාරයට අපගේ විදේශ ප්‍රතිපත්තියේ වෙනස්‌වීමක්‌ද ඇතිවිය. එදා හදිසියේ ඡේ. ආර්. ජයවර්ධන මහතාත් ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතාත් අතර ඇතිවූ මෙම ගිවිසුම රටක්‌ වශයෙන් පිළිගැනුණද යන්න අවිනිශ්චිතය. එවකට පැවැති එම ආණ්‌ඩුවේම සමහරක්‌ ප්‍රධාන පෙලේ මැති ඇමැතිවරුන් පවා මෙම හදිසි ගිවිසුමට එකඟතාවය දැක්‌වූයේ නැත. එමෙන්ම විරුද්ධ පක්‍ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් මෙම ගිවිසුම පිළිනොගත් අතර, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක්‌ වශයෙන් යථෝක්‌ත ගිවිසුම තුළින් ඇති කරන ලද පළාත් සභා ක්‍රමයේ පළමු මැතිවරණයට එම පක්‍ෂ දෙක ඉදිරිපත් වූයේ ද නැත. එහෙත් ඉන් අනතුරුව පැවැත්වූ සියලු පළාත් සභා මැතිවරණයන්ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, ජනතා විමුක්‌ති පෙරමුණත් ඉදිරිපත් වීම එක්‌තරා දුරකට ඔවුන් කථා කරන ප්‍රතිපත්ති වශයෙන් බලන කල පරස්‌පර විරෝධීය.

එදා ඒ ගිවිසුම අනුව පළාත් සභා ක්‍රමය තුළින් ඉටුකිරීමට බලාපොරොත්තු වූ උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම සාර්ථක වූයේ නැත. එයින් බලාපොරොත්තු වූ පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය ආයුධ භාරදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමත් එමෙන්ම පළාත් සභාවක්‌ වශයෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් යන මේ කරුණු එකක්‌වත් ඉටුවූයේද නැත. එසේ නම් මේ පළාත් සභා ක්‍රමය රැකගැනීමට තවදුරටත් වෙහෙසෙන්නේ ඇයිද යන් ප්‍රශ්නය ආණ්‌ඩුවෙන් මෙන්ම විරුද්ධ පක්‍ෂයෙන්ද අප ඇසිය යුතුව තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූලික ප්‍රතිපත්තිය හා එකම අරමුණ වී තිබුණේ වෙන්වී යන ආකාරයේ වෙනම රාජ්‍යයකි. ඒ හැර ඔවුන් විටින් විට ආණ්‌ඩුව සමඟ නොයෙක්‌ සාකච්ඡාවලට පැමිණියේ ඒ තුළින් ඔවුන්ගේ වෙනම රාජ්‍යයක අරමුණ ජාත්‍යන්තරයට ගෙනයැමටය. එමෙන්ම ඔවුන්ගේ අනුකම්පාව දිනාගැනීමටත් හා අරගලය සඳහා අවශ්‍ය වන මුදල් හා යුධමය සම්පත් ලබාගැනීමයි. එය නිසියාකාරව තේරුම් නොගත් එවකට එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඇතිකරගත් රහස්‌ ගිවිසුම පසුව මහා භයානක තත්ත්වයකට මුලපිරුණි. ඒ තුළ වෙනම රාජ්‍යයක මායිම් වෙන්කර ඇත. හමුදාවක්‌, පොලිස්‌ සේවයක්‌, අධිකරණයක්‌, වෙනම පරිපාලනයක්‌ පිළිගෙන ඇත. ඉතිරිව තිබුණේ මෙය ජාත්‍යන්තරය තළ නීතිමය වශයෙන් පිළිගැනීම පමණි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ යනුවෙන් වෙන්කර තිබූ කොටස බැරිවීමකින් හෝ ජාත්‍යන්තර සාකච්ඡාවකදී සාම සාකච්ඡා වශයෙන් තීරණය වී තීන්දු වූවානම් යළි කිසි දිනෙක මෙම එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය විසඳීමට හෝ රට දෙකඩවීම වැළැක්‌වීමට හෝ හැකියාවක්‌ කිසිසේත් ඇති නොවන බව පැහැදිලිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍යවී තිබුණේද එය එයාකාරයෙන් සිදුකර ගැනීමටය.

කව්රු කොයි ආකාරයෙන් පිළිගත්තත් නොගත්තත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූලික අරමුණව තිබුණේ ලංකා සිතියමේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වශයෙන් සඳහන්ව තිබූ පුත්තලම සිට කතරගම දක්‌වා බිම් තීරය පමණක්‌ නොව, ඔවුනට අවශ්‍යව තිබුණේ මුළු ශ්‍රී ලංකාවමය. මෙතරම් ආයුධ තොග ගණන් ඔවුන් රැස්‌ කළේ නිකම්ම නොව උතුරු නැගෙනහිර දෙමළ රාජ්‍යය පළමුව නිල වශයෙන් පිහිටුවා ඉන්පසුව ක්‍රමානුකූලව නාමික මායිම් ගම්මානවලට පහරදී ඒවායේ පදිංචි අන්‍ය වාර්ගිකයන් පලවා හැර අවසානයේ කඳුරට දෙමළ ජනතාව සමඟ ඒකාබද්ධව මුළු ශ්‍රී ලංකාවම ඔවුන්ගේ අණසකට නතුකර ගැනීමයි. මෙය ඔවුන් සතුව තිබූ දීර්ඝකාලීන සැලසුම බව අපගේ හැඟීමයි. ඉන් අනතුරුව ඉන්දියාව සතු තමිල්නාඩුව ප්‍රදේශය ඉන්දියාවෙන් වෙන්කර ශ්‍රී ලංකාව හා ඒකාබද්ධ කර ලෝකයේ පළමු දෙමළ රාජ්‍යය බිහිකර ගැනීමයි. එය එසේ වූවානම් එම දෙමළ රාජ්‍යයේ සිංහලයා සමහරවිට තුන්වන ජාතිය බවට පත්වනු ඇත.

අද මේ රට භීෂණය හා යුද්ධය නොමැති සාමයෙන් පිරි එකක්‌ බව පෙන්නුම් කරන්නේ අවුරුදු තිහක පමණ උග්‍ර ත්‍රස්‌තවාදී යුද්ධයකට මුහුණ දී එය යුධමය වශයෙන් පරාජය කිරීම හේතුවෙන් රට තුළ ඇති වී තිබෙන නිහඬතාවයෙන් ජනතාව ලබා ඇති අස්‌වැසිල්ලයි. එහෙත් එහි යථාතත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්‌ය. යුද්ධයකින් පසුව ඕනෑම රටක ඇතිවන ආකාරයේ ආර්ථික ප්‍රශ්න, ආරක්‍ෂක ප්‍රශ්න එමෙන්ම යුද සිරකරුවන් හෝ ආණ්‌ඩුවේ භාරයට පත් රැඳවියන් ආරක්‍ෂා කිරීමට හා නඩත්තු කිරීම ඔවුනට ආහාර පාන, නැවතීම් මෙන්ම සනීපාරක්‍ෂක පහසුකම් යනාදිය ලබාදීම ආදී නොයෙකුත් දේ මෙන්ම ඔවුන්ට නැවත ස්‌ථිර පදිංචිය ලබාදීම වැනි නොයෙකුත් කරුණුද, ඊට අමතරව ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් වැනි දේට ද මුහුණ දීමට ආණ්‌ඩුවට සිදුවී ඇත. විරුද්ධ පක්‍ෂය හා ජාත්‍යන්තර ලෝකය මොනවා කීවත් මේවාට පිළිතුරු මොනම රජයකටවත් දවසින් දෙකින් සෙවිය නොහැක. ආණ්‌ඩුව බාරයේ ඇති රැඳවියන් ඔවුන්ට අදාළ ප්‍රදේශවල නැවත පදිංචි කිරීම සඳහා ත්‍රස්‌තවාදීන් විසින් වළලා දමා ඇති බිම් මොම්බ ඉවත් කළ යුතුව ඇත. පාරවල්, නිවාස, ගොඩනැඟිලි, ජලය, විදුලිය, ආරෝග්‍ය ශාලා යනාදී මූලික පහසුකම් නොඅඩුව සැපයිය යුතුව ඇත. මේ සඳහා විශාල ධනයක්‌ වැයවනවා මෙන්ම ඊට ජාත්‍යන්තර සහයෝගය ද අත්‍යවශ්‍යය. රාජ්‍ය තන්ත්‍රයේ පිට ඔපය ලස්‌සනට පෙනුණාට ඇතුළත භීෂණය, දූෂණය, නාස්‌තිය, වංචාව, මෙන්ම විදේශ ණය බර හා දේශීය වශයෙන් ආණ්‌ඩුවේ අස්‌ථාවර තත්ත්වය යන මේ කරුණු සාමාන්‍ය ජනතාවට නොපෙනෙන දේවල්ය. ඒ සෑම දෙයක්‌ම එකට කැටිකර ගත්කල මුළු මහත් සමාජ ව්‍යqහයම අකර්මණ්‍ය තත්ත්වයක පවතින බව බුද්ධිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි. ආණ්‌ඩුව හෝ කව්රුන් කෙසේ කීවද රටේ ආර්ථිකය පවතින්නේ විදේශීය හා දේශිය ණය බර මතය, මෙය රටක පැවැත්මේ ක්‍රියාදාමයට එතරම් සුවදායකයයි කිව නොහැකිය, එම නිසා යුදමය වශයෙන් එල්.ටී.ටී. ත්‍රස්‌තවාදය පරාජය කළා මෙන්ම රට තුළ අපනයන ක්‍ෂේත්‍රය ද දියුණු කළ යුතුව ඇත.

මේ නිසා විධිමත් වැඩපිළිවෙලක්‌ රටට හඳුන්වාදීම වැදගත්ය. එමෙන්ම ආනයනය අඩු කළ යුතුය, ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ පමණක්‌ ආනයනය කිරීමට කටයුතු කළ යුතුවා මෙන්ම ඒවා සාධාරණ මිලකට සමුපකාරය මගින් හෝ බෙදා දීමට පියවර ගත යුතුය. කොයිතරම් බාධක පැමිණියත් මේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ පමණක්‌වත් ආනයනය කිරීම හා බෙදාහැරීම පෞද්ගලික අංශයට නොදී ආණ්‌ඩුව බාරගත යුතුය. එසේ නොවන්නට එහි ප්‍රතිලාභය ද අතරමැදියා විසින් ගසාකනු ඇත. තවද දේශීය ස්‌වාධීනත්වයට බරක්‌ව ඇති දේශීය හා විදේශීය ධනේශ්වර ක්‍රියාකාරකම් මෙන්ම රටට හිසරදයක්‌ව පවතින විවෘත ආර්ථික ක්‍රමය ද පරාජය කළ යුතුය. ක්‍රමයෙන් හෝ අප ඒ වෙනුවට පාලනය කරන ලද ආර්ථික ක්‍රමයක්‌ කරා සිත යොමුකළ යුතු කාලය පැමිණ ඇත. ඒවාගේම අධිරාජ්‍යවාදී ආකල්පයන් තුනීකර දේශීය දේ පරිහරණය සඳහා ජනතාව දැනුවත් කළයුතුවා මෙන්ම, ඒ සඳහා කිසියම් බලපෑමක්‌ ද කළ යුතුව ඇත. මේ සියලුදේට විසඳුමක්‌ වශයෙන් ආදායම් හා වියදම් සීමාවක්‌ පැනවීම අත්‍යවශ්‍යය.

එම නිසා රටේ ඒකීය භාවය ආරක්‍ෂාකර සාමය උදාකිරීමට අවශ්‍ය නම් පවතින පළාත් සභා ක්‍රමය වෙනුවට දේශයේ අවශ්‍යතාවයන් ඉටුවන ආකාරයේ සමාජවාදී ආණ්‌ඩුක්‍රම පනතක්‌ ඉක්‌මණින් රටට හඳුන්වා දිය යුතුය.

ඒ සඳහා පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනුවට පැරණි තිබුණ ආකාරයේ මැතිවරණ කොට්‌ඨාස ක්‍රමය අනුව මන්ත්‍රීන් පත්කිරීම වඩා උචිත බව අපගේ හැඟීමයි. ඒ මන්ද මෙම මනාප ක්‍රමය අනුව කොට්‌ඨාසයකට මන්ත්‍රීවරයෙක්‌ නැත. සෑම මන්ත්‍රීවරයෙක්‌ ම දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙකි. ඒ හේතුව නිසා මන්ත්‍රීවරයාට කටයුතු කිරීමට නිසියාකාර මන්ත්‍රී කොට්‌ඨාසයක්‌ නැත. ඔහු කොට්‌ඨාසයකට සේවය කරනවා වෙනුවට වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නේ ඉදිරි මැතිවරණයේදී තමාට ලබාගත හැකි මනාප සංඛ්‍යාව සලකාගෙනය. යටකී මැතිවරණ කොට්‌ඨාස ක්‍රමය අනුව මන්ත්‍රීවරුන් තෝරාගැනීම පැවතුනානම් අවම වශයෙන් මන්ත්‍රීවරයා තම මැතිවරණ කොට්‌ඨාසයට හෝ සේවයක්‌ කිරීමට පෙළඹෙනු ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට උචිත වන ආකාරයේ ආණ්‌ඩු ක්‍රම පනතක්‌ හා සුදුසු ආර්ථික සැලැස්‌මක්‌ ඇතිකර ගැනීමේදී පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ද යන්න නැවතත් සිතා බැලිය යුතුව ඇත. රටේ අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් වන ආකාරයට පළාත් පාලන සේවයක්‌ දැනටමත් ක්‍රියාත්මක පවතිද්දී ඊට අමතරව තවත් පළාත් සභා ක්‍රමයක්‌ රටට අවශ්‍ය වේයෑයි සිතීම අනුවණකමකි. එමනිසා නව ආණ්‌ඩුක්‍රමය තුළට මෙම අසාර්ථක පළාත් සභා ක්‍රමය ඇතුළත් කිරීම කෙසේවත් අවශ්‍ය වන්නේ නැත. මෙම ක්‍රමය හේතුවෙන් උතුරු නැගෙනහිර සඳහා වෙනම රාජ්‍යයක සියලු¼ ලක්‍ෂණයන් ක්‍රමයෙන් වර්ධනය විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය වුවද වෙනම රාජ්‍යයක ආකල්පමය ලක්‍ෂණ තවදුරටත් වර්ධනය විය හැක. එමනිසා පළාත් පාලන ක්‍රමය ආණ්‌ඩුක්‍රම පනතට හොඳටම ප්‍රමාණවත්ය. එසේ නොවන්නට ඉදිරි අනාගතයේදී නැවතත් රට තුළ වෙන්වී යන රාජ්‍යයක ලක්‍ෂණ උදාවීමට ඉඩකඩ ඇති බව අපගේ විශ්වාසයයි.

රටකට ආණ්‌ඩුවක්‌ අවශ්‍ය වන්නේ නීතිය, සාමය, ආර්ථිකය හා ආරක්‍ෂාව ඒ රටේ මහජනතාවගේ අවශ්‍යතාවයන් මත ඔවුන්ගේ සුබ සාධනය සඳහාය. ඒ වෙනුවෙන් වෙනත් කිසියම් රටකින් ආදර්ශ උපදෙස්‌ ලබා ගැනීම හෝ නොගැනීම ඒ රටේ පවතින ආණ්‌ඩුව සතුය. ඒ හේතුව නිසා කිසියම් රටක්‌ විසින් වෙනත් රටකට නියෝග පැනවීම රටක ස්‌වෛරීභාවයට තර්ජනයකි. එම නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුව කටයුතු කළ යුතුය. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කළ යුතුය කියා නියෝග දීමට ඉන්දියාවට හෝ බටහිර බලවතුන්ට හා ඔවුන්ට ගැතිකම් කරන ඊනියා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිම රටකට අයිතියක්‌ නැත. එල්.ටී.ටී.ඊ. ය විසින් ලාංකික සිවිල් ජනතාව දහස්‌ ගණන් අමු අමුවේ ඝාතනය කළ අවස්‌ථාවන්හිදී ඔය කියන ලද කිසිම රටක්‌ හෝ නමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධාන්‍ය හෝ ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සිතා බැලුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් රට දෙකඩ කිරීමටය. ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයකි. එහි වාසය කරන සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝය. ඒ අනුව ඔවුන් රැකබලා ගැනීමේ වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා රජයටය. ඒ සඳහා ගත යුතු පියවරයන් මොනවාද? යුද කඳවරු පිහිටවිය යුත්තේ කොතැනද? කොයි ආකාරයෙන් ද යන්න ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ වගකීමකි. ඒ වෙනුවෙන් වෙනත් රටක්‌ කරදර විය යුතු නැත. රටට අවශ්‍ය වන්නේ එක්‌ නීතියක්‌ මෙන්ම එක්‌ ජාතියකි.

ඉන්දියාව එදා ශ්‍රී ලංකාවට බලෙන් පැවරූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හේතුවෙන් ලංකාව දෙකඩ නොවී බේරුණේ ජනතාවගේ වාසනාවකටය. ඒ නිසා රටේ ඒකීය භාවයට තර්ජනයක්‌ව පවතින 13 වැනි සංශෝධනය ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම පනතින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. එසේ ඉවත් කරනවාද එසේ නැතිනම් රටේ ඒකීය භාවයට ගැලපෙන පරිදි සංශෝධනය කරනවාද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා ජනතාව සතුය. එයට අභියෝග කිරීමට කිසිම රටකට හෝ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අයිතියක්‌ නැත. මානව හිමිකම් ගැන කථා කරන එක්‌සත් ජාතීන්ගේ සංගමයට හෝ බටහිර බලවතුනට මානව හිමිකම් ගැන ඉගෙනීමට බෞද්ධයන් වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහෝ දේ ඇත.

රටේ ඒකීය භාවයට විනයක්‌ වූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීමට හෝ රටට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීමට හෝ අප වහා පියවර ගත යුතුය. නොඑසේ නම් අතීතයේදී සිදුවූවාක්‌ මෙන් නැවතත් රට ජාතිවාදී යුද්ධයක්‌ කරා ගමන් කිරීම කෙසේවත් වැළකිය නොහැක. ගෝත්‍ර වශයෙන් රටවල් කැඩීම වෙනුවට ඒකීය රාජ්‍යයක්‌ තුළ එක්‌ ජාතියක්‌ එනම් ශ්‍රී ලාංකීය ජාතිය වශයෙන් රටේ ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක පදිංචිවීමට ඉගෙනීමට, රැකියාවක්‌ කිරීම හා මව්බසින් ගනුදෙනු කිරීමට සුදුසු වාතාවරණය ආණ්‌ඩුක්‍රම පනතින් තහවුරු කළ යුතුය. සමාජවාදී මූලධර්ම අනුව ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරන්නේ නම් ඔවුන් ඉල්ලන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා එහා දුරකට අපට ගමන් කළ හැක.

බී. ඒ. ඊ. කුරේ
http://www.divaina.com/2013/06/15/feature01.html

0 comments: