Pages

Thursday, June 27, 2013

ආණ්ඩුව තුළ මහින්ද පරදා චන්ද්‍රිකා මතවාදය ශක්තිමත් වෙලා - ඥානසාර හිමි

මහින්දගේ පෙරමුණට වඩා ලැජ්ජා සහගත ලෙස චන්ද්‍රිකාගේ පෙරමුණ ශක්තිමත් වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. හිමියන් මෙසේ පැවැසුවේ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවක් විසින් ඊයේ (26) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී පැවැත් වූ ජනමාධ්‍ය හමුවේදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිමියන්, පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය සමාජගත කිරීමට කසකාරයෝ ටිකක් එළියට බැහැලා. වාසු, රාජිත, විතාරණ, ජී.ඇල්, එදා සිටම චන්ද්‍රිකාගේ ෆෙඩරල් මතවාදයේ හිටියා. අදත් ඒ අය පෙරමුණට ඇවිත්. රටේ ඒකීයභාවය වෙනුවෙන් දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු චන්ද්‍රිකාට හෝ මොනයම් හේතුවක් නිසා හෝ ඉදිරියට එන්නේ නැහැ. හොරෙන් චන්ද්‍රිකා මුණ ගැහෙමින් රටට එරෙහි ව්‍යාපාරයක් ගෙන යන, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අත ඔසවන මැති ඇමැතිවරුන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට ගෙයක් ගෙයක් ගානේ ගොස් ජනතාව පෙළ ගැස්වීමට අපි පියවර ගන්නවා. පළාත් සභා රටට අවශ්‍යද, නැද්ද යන්න කතා කිරීමට මතවාදී දෙපළක් අද ගොඩනැගිලා. අපි පෙනී සිටින්නේ රට, ජාතිය මතු පරපුරේ අනාගත පැවැත්ම හා රටේ ඒකීය භාවය වෙනුවෙන් පළාත් සභා අහෝසි කළ යුතුයි කියන අදහස දරන පිළෙයි.

චන්ද්‍රිකා 2000 පැකේජය ගේන අවස්ථාවේ පළාත් හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුර නොමැතිව තීරණාත්මක ලෙස සමාජගත වී අප ගෙන ආ මතය නිසා පැකේජය හකුළා ගත්තා. සුනාමි සහන මණ්ඩලයටත්, සටන් විරාම ගිවිසුම්වලටත් වුණේ එයමයි. අදත් බෙදුම්වාදී ව්‍යාපාරය මේ රටේ ජනාධිපතිවරයා වටේ හොල්මන් කරමින් රටේ ඒකීය භාවයට අභියෝග කරන්න පටන් අරන්. ත්‍රස්තවාදය ‍පෝෂණය කරන්න රාජ්‍ය නොවන සංවිධානවලට අනියමින් උදව් කරන අතර කොටි ත්‍රස්තවාදියාගේ සාහසික බව සාධාරණය කළ වාමවාදී පි‍ලේ අයත් රටේ ඒකීය බව රකින බවට ‍පොරොන්දු වී මැති ඇමැතිකම් දරමින් අද බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා.

අපි පරාජය කළේ බෙදුම්වාදයේ සන්නද්ධ පෙරමුණ පමණයි. දේශපාලන හා ජාත්‍යන්තර පෙරමුණ තවමත් තියෙනවා. සන්නද්ධ පෙරමුණ පරාජය කළ අවස්ථාවේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව පක්ෂ පාට දේශපාලනයෙන් තොරව දේශ වාත්සල්‍යයෙන් යුද ගිනිදැල් නිවුණු රටේ දන්සල් දී කිරිබත් කෑවා. මේ ආණ්ඩුවට බැරි වුණා ඒ දේශ ප්‍රේමීත්වය පදනම් කරගෙන දේශපාලන පෙරමුණ පරාජය කරන්න. ඒ සඳහා තිබුණු ස්වර්ණමය අවස්ථා සියල්ලම ආණ්ඩුව මග හැරිය නිසා අදටත් දේශපාලන බෙදුම්වාදයේ අඳුරු සෙවණැල්ල වූ ද්‍රවිඩ සන්ධානයට වැඩෙන්න ‍පෝෂණය වෙන්න අවස්ථාව දුන්නා. 

රජය ජනතාවගේ සැබෑ මතය නොසලකා හැර අමනෝඥ, තකතීරු, අදූරදර්ශී තීන්දු තීරණගෙන ජාත්‍යන්තරය සන්තෝස කිරීමට රට උගසට තැබුවොත් ඒ සඳහා අත ඔසවන්න හැමෝම අනාගත ආදීනව වලට වගකිව යුතුයි. අපේ අදහස දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය මේ රටට මල් ඵල ගෙන දෙන කාරණයක් නොවන නිසා අපි  මස් රාත්තලම ඉල්ලනවා.

කතෝලික පල්ලියේ භූමිකාව ගැනත් සැකයි. එල්.ටී.ටී.ඊ යේ දේශපාලන පෙරමුණ වුණ ද්‍රවිඩ සන්ධානයේ නව නායකයා, නව ප්‍රභාකරන් ලෙස කටයුතු කරන්නේ මන්නාරම් රදගුරු රායප්පු ජෝසප්. කතෝලික පුවත්පතක එම රදගුරුතුමා දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් සක්‍රීය දායකත්වය සැපයු ආකාරය හරි අපූරුවට වර්ණනා කර තිබෙනවා. කතෝලික  සභාවේ තීන්දුවක් තිබෙනවා ඔවුන්ට දේශපාලනය කරන්න බැරි බවට. එසේ තිබියදීත් එතුමා දමිළ වීම නිසා දමිළ ජනතාව වෙනුවෙන් කතා කරනවා නම් කෝ සිංහල දේශප්‍රේමී රදගුරුතුමන්ලා ඇයි තම දේශප්‍රේමීත්වය නොපෙන්වන්නේ.
ඉන්දියාවේ ටී.එන්.ඩික්සිත් මහතාගේ ‍පොතක සඳහන් වෙනවා එල්.ටී.ටී.ඊ. යනු කතෝලික පල්ලියේ සන්නද්ධ අංශය බව. දේශප්‍රේමී කතෝලික ජනතාව රට බෙදීමට එරෙහි ජාතික එකමුතුව සමග එකතු වී පෙරට එන ලෙස අපි ඔවුන්ට ආරාධනා කරනවා.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමි

පළාත් සභා ක්‍රමය සංශෝධනය නොකර උතුරේ මැතිවරණය පැවැත්වීමෙන් වන හානිය පෙන්වා දෙන්න ලබන මස 2 දා මහරගම දී ජනහමුවක් පවත්වනවා. අප බලය නැති කර රටේ සාමය ඇති කළත් දේශපාලන වශයෙන් බෙදුම්වාදය පරාජය කළේ නැහැ. ඒ සඳහා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි.

මෙතෙක් රටට අහිතකර පියවරයන්ගෙන් රට රැක ගන්න පෙරමුණ ගත්තේ ජාතිමාමක දේශහිතෛෂි පින්වතුන්. විශේෂයෙන් මේ අවස්ථාවේ මහානායක හිමිවරු ඇතුළු දැන උගත් සිංහල බෞද්ධ සියලුදෙනාට ‍පොදුවේ ආරාධනා කර සිටිනවා ඒකීය භාවය අහිමි කරන වෑයම පරාජය කිරීමට අපත් සමග එකතු වන ලෙස .
ජාතික සංඝ සම්මේලනයේ ‍ලේකම් දොඹගොඩ සාරානන්ද හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

ප්‍රශ්නය - රජය මේ වන විට තේරීම් කාරක  සභාවක් පත් කළා.
පිළිතුර -  පරමාධිපත්‍ය බලය සතු ජනතාවටයි. අපි ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම අපට අදාළ අවසන් තීරණයයි. අවසාන තීරණය 13 පිළිගන්න එකක් නම් අපි ඊට විරුද්ධයි. තීන්දුව මිස ක්‍රියාවලිය අපට අදාළ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්වන්නේ ඡන්දයෙන්. ඒ නිසා ජනතාව දැනුවත් කිරීම අනාගත මැතිවරණවලදී බලපෑම් කරන තීරණාත්මක සාධකයක් වෙනවා.

මෙම අවස්ථාවට පස්සරමුල්‍ලේ දයාවංශ හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, හැඩිගල්‍ලේ විමලසාර හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, මානව විද්‍යාඥ පණ්ඩුල ඇ¼ඳගම මහතා ඇතුළු  පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුව නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතවරු එක් වූහ.

ජනපතිගේ මතය සමාජගත කරන්න කසකාරයො ටිකක් එළියට බැහැලා - රන්මලී සෝමසිරි
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12676:2013-06-27-03-34-30&catid=61:2012-08-07-09-39-46&Itemid=77

0 comments: