Pages

Sunday, June 9, 2013

රාවණාගේ පිළිමය ලංකාවෙන් මතුවෙයි

තවමත් මනඃකල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය සොයා ලාංකික මාධ්‍ය යන තරගකාරී ගමනේ පෙරමුණ ගෙන ඇති 'මව්බිම' පුවත්පත වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගැනීමට සමත්ව සිටී. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතය. මේ හිස් දහයේ මුහුණ විවිධ ඉරියව්වලින් සමන්විත වන අතර, එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරේ.

හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ.
සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ.

එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති 'කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය' වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී.

ඉතිහාසය දක්වන අන්දමට රාවණා රජු ඉන්දියාවේ විසූ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ බවත්, එයින් උරණ වූ රාම කුමරු 'රාම සරය' නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් කියැවේ.

සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි.
ඉතිහාසය කරුණු දක්වන පරිදි රාවණා රජු යම් කාලයක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇත. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ අනුව රාවණා පුවත පසුගිය කාලය පුරා යළි මතු වූ අතර, ඒ පිළිබඳ නිල සහ නොනිල ගවේෂණයක් සිදු කෙරිණි.

එම ගවේෂණ අතර 'මව්බිම' පුවත්පත ඉදිරියෙන් සිටි එක් කරුණක් වූයේ රාවණා රජුගේ රාජකීය පරපුරෙන් පැවැත එමින් අදටත් ලංකාවේ වනගත පෙදෙසක ජීවත්වන රාවණා රජුගේ වත්මන් ලේ නෑයන් පිළිබඳ පුවත සහ අදාළ තොරතුරු හෙළිදරව් කිරීම කළ බැවිනි. ඒ අනුව ඉදිරියට තවත් තොරතුරු ගවේෂණය කළ 'මව්බිම' පුවත්පත ලංකාවේ තිබෙන එකම සහ පැරැණිම රාවණා රජ පිළිමය සොයා ගැනීමට සමත්ව සිටියි.
මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් සහ ඡායාරූප ලබන 'ඉරිදා මව්බිම' පුවත්පතේ පළ කෙරේ.

අරුණඩේල් විජේරත්න

0 comments: