Pages

Friday, June 28, 2013

13 නීති විරෝධීයි. ජන පදනමක් නැති ඇතැම් න්‍යායාචාර්යවරු ඉතිහාසය අමතක කරලා - දිනේෂ්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ආරක්ෂාවටත් , පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

එය එකල සම්මත කර ගනු ලැබූවේ ව්‍යවස්ථාවට පිටින් නීති විරෝධී ලෙස බවත් , ඊට කථානායකවරයා විසින් අත්සන් තැබූ පසුවත් තමන් එය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (27) කොළඹ පැවති මා‍ධ්‍ය හමුවකදීය. 

එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම ඉල්ලීම ඉවත දැමූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ නිදහස් අධ්‍යාපනයට මෙන්ම නිදහස් සෞඛ්‍යයත් සෝදාපාළුවට ලක්ව ඇති බව ඔහු කියා සිටියේය. 

මේවන විට රජය විසින් පළාත් සභා හා මධ්‍යම රජය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමිකරලීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඊට තමන් මහජන එක්සත් පෙරමුණ ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. 

පළාත් සභා ක්‍රියාත්මක වුවද නොවූවද එය රටේ සංවර්ධනයට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් , මේවන විටත් සංවර්ධන කටයුතු දියත් වෙන්නේ දිස්ත්‍රීක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දිසාපති ආදීන්ගෙන් බවත් ඔහු අවධාරණය කළේය. 

මහනායක හිමිවරුන් ප්‍රමුඛ "සමස්ත ලංකා උත්තර සංඝ සභාව" විසින් දිස්ත්‍රීක් පදනම මත පරිපාලනය විමධ්‍යගත කිරීමටත්, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. 

තම පක්ෂයද එකී යෝජනාවලට එකඟත්වය පළ කරන බවත් , ඒ හා සමගාමීව යන වැඩපිළිවෙළකට සහය ලබාදෙන බවත් , ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

එහෙත් න්‍යායාචාර්යකමින් අග තැන්පත් ජනතා පදනමක් නැති ඇතැම් උදවිය වසර 3000 ක් පමණ තිස්සේ ඇති ඉතිහාසය අමතක කොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

13 නීති විරෝධීයි - ඇතැම් අයට ඉතිහාසය මතක නෑ
http://sinhala.adaderana.lk/news.php?nid=35290

0 comments: