Pages

Wednesday, June 12, 2013

උතුරේ ඡන්දය තියා ඊළමකට රුකුල් දුන්නොත් එය ජනාධිපතිවරයා කරන ඓතිහාසික වැරැද්දක්‌ - ඥාණසාර හිමි

සිංහල බෞද්ධ ජනතාවගේ විරෝධය නොතකා උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා ඊළාම් සටනට රුකුල්දීම ජනාධිපතිවරයා සිදුකළ ඓතිහාසික වැරැද්දක්‌ බවට පත්වන බවට පළාත් සභා අහෝසිs කිරීමේ ජාතික එකමුතුව වෙනුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.

ඒ වගේම ඒ පවෙන් කවදාවත් එතුමාට ගැලවී යා නොහැකි බව ද ඒ හිමියෝ පැවසූහ.

මොන හේතුවක්‌ නිසාවත් පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්‌ඩුව කල්පනා කරනවා නම් ඊට ඉඩ දිය නොහැකි බව ද පැවසූහ.

බෙදුම්වාදයට උරදුන් පිරිසකුත් මේ ආණ්‌ඩුවේ සිටින බවද පුදුම රසායනික න්‍යෂ්ටික වැනි අවදානම් පුද්ගලයන් සමඟ ආණ්‌ඩුවක්‌ කළ හැක්‌කේ මේ ජනාධිපතිටම පමණක්‌ බව ද ඒ හිමියෝ පැවසූහ.

උතුරේ යුද්ධය අවසන්වූ වහාම අපිට දෙමළ ජනතාව දිනා ගැනීමට යම් කැපවීමක්‌ කරන්න තිබුණත් එය අතපසු වූ බවත් එය අප අතින් සිදුවූ වරදක්‌ බවත් කී උන්වහන්සේ එය නිවැරදි කරමින් උතුරේ ජනතාව දිනා ගැනීමට නිවැරදි මාවතට ගැනීමට විශාල වැඩ කොටසක්‌ ආරම්භ කර ඇති බවත් කීය.

රට පුරා සිටින සියලු සිංහල බෞද්ධ සංවිධාන එක්‌ රැස්‌කර ජන බලයක්‌ ගොඩ නගන බවත් ඊට දෙමළ හා මුස්‌ලිම් සංවිධානවලට එක්‌වන ලෙසත් උන්වහන්සේ ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඤාණසාර හිමියෝ මෙසේ ද පැවැසූහ.

ඉන්දියාව හා බටහිර ජාත්‍යන්තර බලවේග නැවත වරක්‌ දැඩි ලෙස බෙදුම්වාදය අප වෙත පටවන්න කැසකවමින් සිටිනවා. අද වනවිට කතෝලික සභාවත් බටහිර කොන්ත්‍රාත්තුව මැනවින් සහතික කරන්න එකතුවී සිටිනවා. මේ අය කුමක්‌ කළත් කතෝලික ප්‍රජාවේ බහුතරයක්‌ අපේ මතය සමඟ ඉන්නවා. සම්පූර්ණයෙන්ම 13 වන සංශෝධනය ආණ්‌ඩුව විසින් හකුලා ගත යුතුයි. හැටදහසක්‌ තරුණ ජීවිත විනාශ කරමින් මේක ගෙනාවේ නීත්‍යානුකුලව නොවෙයි.

ඡේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා රටේ දැඩි විරෝධතා පවතිද්දීත් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ බව කියමින් මේ සංශෝධනය ගෙනාවා. ඒකෙන් දැන් මේ රටේ මිනිස්‌සු කරුමයක්‌ ගෙවනවා. සුදු අලියෙක්‌ පෝෂණය කරමින් මේ රටේ රණවිරුවන් යුද ජයග්‍රහණයෙන් දිනාගත් මේ රට යළි පාවාදීමට ඉඩ දෙන්න බැහැ. යළිත් වරක්‌ ඕමන්ත මුරපොළවල් හදන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපති ප්‍රමුඛ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තම හෘද සාක්‌ෂියට එකඟව හොරගල් අහුලන්නේ නැතිව තම සුජාතභාවය පෙන්වන්න. රණවිරුවන් කැප කළ ජීවිතවල වටිනාකම අවතක්‌සේරු කරන්න එපා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබයතිස්‌ස හිමි,

පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ යුද ගැටුම් නවත්වන්න කියලා කිව්වත් ඒ අරමුණ කිසිසේත් ඉටු වුණේ නැහැ. පළාත් සභා ක්‍රමය වැරදුණු බෙහෙතක්‌. එය අද පාවිච්චි කරනවා. රටේ ඒකීයභාවය බිඳ හෙළීමට පසුගිය කාලය පුරාම විවිධ බලවේග උත්සාහ කළත් බැරිවූ නිසා දහස්‌ ගණන් දිවි පුදා රැකගත් සංහිදියාව විනාශ කරන්න අලුත් විදියකින් මේ පිරිස උත්සාහ කරන්නේ. බරපතළ ලෙස ඒකීයභාවය රැක ගැනීම අද අසීරු වෙලා.

ඉන්දියාව ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ආකාරය ජිනීවා වලදී පසුගිය කාලයේ දැක්‌කා. ඒ අය අප අපේ රටේ වර්ගවාදී බේදභින්න බවක්‌ ඇතිකිරීමට උදව්වන පළාත් සභා ඒ වෙනුවෙන් යොදා ගන්නවා. උතුරු නැගෙනහිර සංවර්ධනයට විශාල වැඩ කොටසක්‌ කිරීමට ආණ්‌ඩුවට හැකිවුණා. බෙදුම්වාදයත් එක්‌ක ඉන්න කණ්‌ඩායම්වල ගැත්තන් ලෙස සිටින පිරිස්‌ කටයුතු කරන නිසා තවමත් දෙමළ ජනතාවගේ මනස යුද්ධය සඳහා තබාගෙන ඉන්නවා.

"එදා කොටින්ට රැකවරණය දුන් සංවිධාන හා කණ්‌ඩායම් 13 වන සංශෝධනයට පක්‍ෂව කතා කරනවා. එදා බෝම්බයෙන්, උණ්‌ඩයෙන් කරන්න බැරිවූ දේ අද ව්‍යවස්‌ථාවෙන් කරන්නයි මේ පිරිස්‌ උත්සාහ කරන්නේ. රට ඒකීයව තබා ගැනීමට කැමැති නැති අයත් මේ පිටුපස ඉන්නවා.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමියෝ.

මේ රට ගැන ආදරයක්‌ ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවටයි. අනෙක්‌ අයට රට ගැන හැඟීමක්‌ නැහැ. ඔවුන් රට බෙදනවට කැමැතියි.

මේ රටට ගැලපෙන ව්‍යවස්‌ථාවක්‌ හදා පළාත් සභා අහෝසි කළ යුතුයි. සියලු ජාතීන්ට ආගමිකයන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක්‌ ඇති කළ යුතුයි. මේ පළාත් සභා තිබුණොත් රට බෙදෙන එක ඒකාන්ත බව ජනාධිපති ඇතුළු දේශපාලකයන් අවබෝධ කර ගත යුතුයි.

බොදුබළ සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමි

අද මේ රටේ සියලුම බෞද්ධ සංවිධාන පළාත් සභා අහෝසි කිරීමට එකතු වී සිටිනවා. ඒ මේ රටේ සාමයට විශාල අනතුරක්‌ සිදුවීමට යන නිසයි.

අපට බයක්‌ තියෙනවා බුදුන් වහන්සේ වැඩම කළ නාගදීපය, මිහිදු හිමියන් වැඩම කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළ ඒ ප්‍රදේශය වෙනම කොටසක්‌ ලෙස බෙදන්නට විවිධ පිරිස්‌ උත්සාහ කරනවා. පළාත් සභා ක්‍රමය තුළින් මේ රට බෙදන්නයි මේ අය සැලසුම් කරන්නේ. මෙහෙම වුණොත් අනාගත පරපුරට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවේවි. මෙරට බුදු දහම, සිංහල ජාතිය සමඟÊපැවත එන බව බොහෝ දෙනකුට අමතක වෙලා. අපේ පුරාවිද්‍යාත්මක වැදගත් බොහෝ දේ ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල. එහි සිටි සිංහලයන් නැවත පදිංචි කරවන්නත් බැරි වී තිබෙන මොහොතක උතුර දිනුවොත් ඇතිවන තත්ත්වය ගැන අපට රට ගැන ලොකු බයක්‌ ඇතිවෙනවා. නාගදීපය වඳින්න යන්නත් අවසර ගන්න ඕනි. පළාත් සභා අහෝසි කළ නොහැකි නම් එහි ඇති විෂ දළවත් කඩා දාන්න ඕනේ. නැතිනම් බෞද්ධ පුරාවස්‌තු ටිකත් බුල්ඩෝසර් කර දමාවි.

සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමි,

ඉන්දියාවේ ෙµඩරල් බලයටත් වඩා වැඩි බලතල පළාත් සභාවලට දී තිබෙනවා. අපේ රට කුඩා රටක්‌. රුසියාව, ස්‌විට්‌ස්‌සර්ලන්තය වගේ පාලනය කිරීමට අසීරු සාධක මෙහි නැහැ. පළාත් සභා වැනි දේ අපට අවශ්‍ය නැහැ.

ආචාර්ය සූරිය ගුණසේකර, ජාතික ඒකාබද්ධ කමිටුවේ සභාපති ආචාර්ය පියසේන දිසානායක යන මහත්වරු මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු සංවිධාන රැසක ප්‍රධානීන් මෙම අවස්‌ථාවට එක්‌විය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/12/news37.html

0 comments: