Pages

Saturday, June 15, 2013

බෞද්ධයන්ට කැසිනෝ - 'උලමා'ට විශ්වවිද්‍යාල

සංචාරක කර්මාන්ත දියුණු කිරීම සඳහා කොළඹ ආරම්භ කිරීමට යෝජිත කැසිනෝ හල් හැකි නම් පාසිකුඩා, නිලාවේලී සංචාරක ප්‍රදේශවල ඉදිකරන ලෙස තමන් බලධාරීන්ට අභියෝග කරන බව බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

සිංහල බෞද්ධ ජනතාව දුසිරිත්වලට යොමු කිරීම සඳහා බලධාරීන් අනපනත් හදාගෙන ඒමට උත්සාහ කරන කැසිනෝ ඇතුළු සියලුම සූදු නැවැත්වීමට බොදුබල සේනා සංවිධානය දැඩි විරෝධතාවක්‌ ගෙනයන බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඥනසාර හිමියෝ මෙසේද පැවසූහ. බුදුන් වහන්සේ දේශනා කර වදාළ පරාභව සූත්‍රයෙන් පවා සුදූ කෙළීම දුප්පත්කමට පාර කපන ප්‍රධාන දොරටුවක්‌ ලෙස දක්‌වා තිබෙනවා. යුද්දෙන් පසු මේ රට ගොඩනඟන්න අපේ බෞද්ධ සංස්‌කෘතිය අනුව කරන්න ඕන තරම් වැඩ තියෙනවා.

සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක්‌ ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට සුන්දර මුහුදු වෙරළ, අපේ පරිසරය, පෞරාණික ස්‌ථාන ඇතුළු විවිධ අංශ පවතිනවා. මේවා නවීකරණය කර විදෙස්‌ සංචාරකයන් ගෙන්වා ගැනීමට ඕනෑතරම් අවස්‌ථා තියෙනවා. මේවා ගැන මේ රට පාලනය කරන දේශපාලනඥයන්ට උපදෙස්‌ දෙන අය දැනගත යුතුයි. ඉන්දියාව දියුණුවී තිබෙනවා. ඉන්දියාවේ කැසිනෝ තහනම්. අපේ රටේ පවතින ප්‍රධාන කැසිනෝ හල් 9 න් 8 ක්‌ම පවතින්නේ කොළඹ ප්‍රදේශයේයි.

2006 කැසිනෝ හල්වලින් වර්ෂයකට ආදායම රුපියල් මිලියන 196 ක්‌ද, 2012 එය රුපියල් මිලියන 300 දක්‌වා වර්ධනය කරගෙන තිබෙනවා. නමුත් අපි දිනකට කිරිපිටි සඳහා රුපියල් මිලියන 125 ක්‌ වැයකරනවා. එය වර්ෂයකට ගතහොත් කොපමණ විශාල මුදලක්‌ රටට අහිමිවෙනවාද සිතන්න.

අද කැසිනෝ ඇතුළු සූදු කොළඹ ඇතුළු සිංහල බෞද්ධ ජනතාව වැඩි ප්‍රදේශවල ස්‌ථාපිත කරන්න සැලසුම් කර තිබෙනවා. ඒත් මෙවැනි සූදු මුස්‌ලිම් ජනතාව වැඩිපුර සිටින නැගෙනහිර ප්‍රදේශවල ඉදිකරනවාට මුස්‌ලිම් ජනතාව විරුද්ධයි. ඒ නිසයි මම කිව්වේ පුළුවන් නම් කැසිනෝ හල් කාත්තන්කුඩි, නිලාවේලි වැනි ප්‍රදේශවල ඉදිකරන්න කියලා.

අද අපිට කැසිනෝ හල් ඉදිකරන්න යනකොට කාත්තන්කුඩියේ විශ්වවිද්‍යාල ඉදිකරන්න සැලසුම් කර තිබෙනවා. මේ විශ්වවිද්‍යාල ඉදිකරන්නෙ උලමාවරු බිහිකරන්නයි.

අපි කියන්නේ මේ සූදු රටට හඳුන්වා දීමෙන් එයට සහය පළ කරන අයට සන්තෝසම් ලැබෙයි. නමුත් සිංහල, මුස්‌ලිම් ඇතුළු සියලු ජාතීන්වල අනාගත දරුවන් මේවාට යොමුවීමෙන් රටේ පිරිහීම ඇතිවෙනවා. ඒ නිසා මේවාට එරෙහිව කතෝලික සභාව, උලමාවරු, කුරුක්‌කල් ඇතුළු අනෙකුත් ආගමික නායකයන් දරන මතයද ගැන අපි අවබෝධයෙන් බලන් ඉන්නවා.

බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමි ඇතුළු මහ සංඝරත්නයේ කිහිපනමක්‌ මෙම අවස්‌ථාවට සහභාගීවූහ.

කොළඹ ආරම්භ කිරීමට යෝජිත කැසිනෝහල් හැකිනම් පාසිකුඩා, නිලාවේලි ප්‍රදේශවල ඉදිකරන්න - ගලගොඩ අත්තේ ඥනසාර හිමි
චමින් ද සිල්වා
http://www.divaina.com/2013/06/15/news23.html

0 comments: