Pages

Wednesday, June 26, 2013

තුන්කල් දුටු මඩිහේ මහා නාහිමි ජන්ම ශත සංවත්සරය

madihe23අද ‘මිනිසා හදා රට හදමු’ මේ වැදගත් ප්‍රකාශනය කළ සම්භාවනීය යතීන්ද්‍රයන් වහන්සේ කවරෙක්ද? ඒ අන් කවරෙකුත් නොව ඔබ අප හැම දෙනාම දන්නා අප හැම දෙනාගේම ආදරයට හා ගෞරවයට පාත්‍රව සිටි අග්ගමහා පණ්ඩිත, විද්‍යා විශාරද මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. මාතර මඩිහ නම් ගමෙහි 1913 ජුනි මස 21 දින උපත ලද උන්වහන්සේ කුඩා කල හඳුන්වන ලද්දේ ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන යන නමිනි. පෙර පින් බල මහිමයෙන් එකල දේශදේශාන්තරයෙහි කීර්තිමත්ව වැඩසිටි පරම පූජනීය පැළෑණේ සිරි වජිරඥාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මඩිහේ පඤ්ඤාසීහ නමින් පැවිදි භූමියට පත්විය. තම ආචාර්යයන් වහන්සේ වෙතින්ම මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන විභාගවලටද පෙනී සිටි අතර ලංකා විශ්වවිද්‍යාලය කොලීජියෙහි ආරම්භ කරන ලද ‘විද්‍යා විශාරද’ උපාධි පාඨමාලාවට පෙනී සිට එයින්ද සාමාර්ථ්‍යය ලබා ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණයෙන් හා පෙරඅපර දෙදිග භාෂා ඥානයෙන්ද නිපුණත්වයට පත්වූහ. වත්මන් භික්ෂුව සතු භූමිකාව කුමක්ද යන්න මඩිහේ මහනාහිමි චරිතය අපට පෙන්නුම් කරදී ඇත. උන් වහන්සේගේ පෞරුෂය හා නායකත්වය වත්මන් සඟපරපුරට මහඟු පාඩමක් කියා දෙන විශිෂ්ට චරිතාපදානයකි. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකු සේ අවුරුදු 70කට වැඩි තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැප කළ ආකාරය ආදර්ශ සම්පන්නය. අනුන් වෙනුවෙන් සිතා කටයුතු කරන අය දුර්ලභ සමාජයක් තුළ මඩිහේ මහනාහිමි අන්‍යයන් වෙනුවෙන් සිතාමතා කටයුතු කළ බෝසත් චරිත ලක්ෂණවලින් හෙබි උත්තමයෙකි. මිනිසාගේ අධ්‍යාත්මික සංවර්ධනය පමණක් නොව ආර්ථික පැත්තෙන්ද මිනිසා හා රට සංවර්ධනය කරා යොමු කරවීමට මහනාහිමි මහත් සේ කැපවී කටයුතු කළහ. මිනිසාගේ දුගී දුප්පත්කම නැතිකරන්නටත්, විරැකියාව, මන්ද‍පෝෂණය හා මත්උවදුර, තරුණ අසහනය දුරු කරන්නටත් රජයට හා වගකිවයුත්තන්ට කරුණු ඉදිරිපත් කිරීමට නොපැකිළව ක්‍රියා කළහ. විවිධ මාධ්‍යයන් ඔස්සේත්, ලිපි‍ලේඛන මගිනුත් වගකිවයුත්තන් දැනුම්වත් කළහ.

එදා උතුරේ පැවැති ත්‍රස්තවාදී අරගලයේදී මඩිහේ මහනාහිමි අපට මහත් ශක්තියක් විය. උන්වහන්සේගේ ඒ අභීත සිංහනාදය පාලක පක්ෂයත් මහජනතාවත් අවදි කරලීමට සමත් ප්‍රබල බලවේගයක් විය. රටේ ජාතික ප්‍රශ්නවලදී පක්ෂග්‍රාහී වූයේ නැත.

මෑත යුගයේ මේ රටේ ඇතිවූ ආන්දෝලනාත්මක ප්‍රශ්නවලද මහනාහිමියෝ නිහඬ නොවූහ. ‍පොසොන් නිවාඩුව, පාසල් රජයට පවරා ගැනීම, රට සභා පනත, පුවත්පත් මණ්ඩල පනත, 71 කැරැල්ල, 83 වැඩවර්ජනය මේ රට දරුණු අගාධයකට ඇදදැමූ ත්‍රස්තවාදී උවදුර වැනි මේ රටට බලපෑ වැදගත් ප්‍රශ්න හමුවේ බුද්ධිමත්ව සිතාමතා තීරණ ගත්හ. නිවැරදි, සැනසිලිදායක විසඳුමක් කරා යොමුකරවීමට අවශ්‍ය මාර්ගෝපදේශය දුන්හ.

අද අපට බලවත් හිසරදයක්ව පවතින ජනවාර්ගික ගැටලුව සඳහා මහනාහිමි ඉදිරිපත් කරන ලද යෝජනා දැනුදු සලකා බැලීම ප්‍රයෝජනවත් විය හැකිය. උන්වහන්සේ මුලින්ම ප්‍රකාශ කළේ ජනවාර්ගික ගැටලුව හා සම්බන්ධව පවතින වැරදි අදහස් හා මිථ්‍යා සංකල්පවලින් ඉවත්වන ලෙසයි.

උතුරු ප්‍රදේශයෙහි පාබල හා නාවුක හමුදා ඒකක පිහිටුවා ඔවුන්ගේ පවුල්ද එහි පදිංචි කළ යුතු බවත්, කොළඹ ප්‍රදේශයෙහි සියලු ජාතීන් සුහඳව සිටින්නාක් මෙන් සිංහල ජනතාවද එහි පදිංචි කර එකට ජීවත්වීමට අවශ්‍ය සුහදශීලී වාතාවරණයක් ගොඩනැංවීම ඉතා වැදගත් බවත්, පෙන්වා දුන්හ. බෙදුම්වාදය නතර කරන ලෙසත්, ඊළාම් රාජ්‍ය සංකල්පය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කරන ලෙසත්, එසේ නොවුණහොත් එහි ප්‍රතිවිපාක සියලු රටවැසියන්ට භුක්තිවිඳීමට වන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

කිසිම දේශපාලන පක්ෂයකට හෝ කිසිම දේශපාලනඥයෙකුට ගැති නොවී රටේත් මහජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ මහනාහිමිපාණෝ කිසිම දේශපාලනඥයෙකු පසුපස ගියේ නැත. වැරැද්ද, දුර්වලකම අවශ්‍ය තැන අවශ්‍ය විටදී පෙන්වා දුන්හ. ධර්ම දේශකයෙකු වශයෙන් බෞද්ධ අබෞද්ධ මහජනතාවගේ සිත්දිනා සිටි මහනාහිමි ‍ලේඛකයෙකු වශයෙන්ද ග්‍රන්ථ සංස්කාරකවරයකු වශයෙන්ද කාලීන පාඨක අවශ්‍යතා ඉටුකළ හිමිනමක ලෙසද ගෞරවයට පාත්‍රවනු ඇත. විශේෂයෙන් බෞද්ධ දර්ශනය, බෞද්ධ සිරිත්විරිත් භාවනා වැනි ආගමික විෂයයන් පිළිබඳ සිංහලයාගේ සමගිය හා ජාතික වීරවරයන් පිළිබඳවත් ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළහ. ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බිහිකිරීම උදෙසා මහනාහිමිපාණෝ ප්‍රමුඛස්ථානය දී කටයුතු කළහ. ඒ සඳහා මහරගම වජිරඥාන ධර්මායතනය ආරම්භ කර ධර්මවිනයධර ප්‍රසාදජනක භික්ෂු ආකල්පවලින් හෙබි සඟපරපුරක් ඇතිකරලීමට ගත් උතුම් මෙහෙවර ප්‍රශංසනීයය. මෙම ආයතනය තුළින් බිහිවූ භික්ෂුහු මෙරටෙහි ජාත්‍යන්තරවත් සම්බුදු සසුන වෙනුවෙන් උදාර කාර්යභාරයක් ඉටුකරති.

කොටස් වශයෙන් බෙදී පැවැති අමරපුර නිකාය සමගි සම්පන්න කිරීමෙහි ලා ඉටුකළ මෙහෙය ඓතිහාසිකය. මෙම කාර්යයෙහි ලා අපගේ ගුරුදේව අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමියන් ධෛර්යමත් කළ හිමිවරු අතර මඩිහේ මහනාහිමියන්ට ප්‍රමුඛස්ථානය හිමිවනු ඇත. මඩිහේ මහනාහිමියන් හා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් අතර හිතෛෂී හෘදයාංගම සම්බන්ධතාවක් පැවැතිණි. බළන්ගොඩට පවා වැඩමකර සැපදුක් සොයා බලා සතුටුසාමීචි කථාවෙන් ගත කළ අවස්ථා බොහෝය.

අමරපුර සාමග්‍රීය සංකේතවත් කරමින් ප්‍රථම එකීය උපසම්පදාව අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම ධර්මායතන සීමාවේදී කිරීම ඓතිහාසික සිද්ධියකි. අමරපුර මහා සංඝ සභාවේ උන්නතිය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙය නිසාම සියලු මහා සංඝරත්නයේ ඒකමතිකත්වයෙන් අමරපුර සංඝසභාවේ සභාපති පදවියටත්, පසුව උත්තරීතර මහනායක පදවියටත් ඒකමතිකව පත්කරගන්නා ලදහ. එකල අමරපුර සංඝ සභාවෙන්  ඉටුකළ මෙහෙය ප්‍රශංසනීයය.
බුරුමයේ පැවැති ජටඨමහා සංඝායනාවට සහභාගිවීමට වරම් ලද මහනාහිමියෝ බුරුම රජය විසින් ‘අග්ගමහා පණ්ඩිත’ උපාධිය පිරිනමා පුදන ලදී.

‍පොදු මහජනතාවගේ ප්‍රශ්න ගැන අවධානයෙන් සිටි මහනාහිමි ‍පොදු මහජනතාව සමග සිටියහ. සාමාන්‍ය මහජනතාවගේ දුක කඳුළ හා හදවතේ රිද්මය හඳුනාගත් මහනාහිමි පිහිටක් පතා තමන් වෙත එන අයට වේලාව අවේලාව නොබලා කරුණාදධ්‍යාශයෙන්ම පිහිට වූහ. උදවු උපකාර අවශ්‍ය අය ට නොපැකිළව ඉදිරිපත්වූ මහනාහිමි අනාරක්ෂිත ගම්මානවලටත්, දඹාන වැනි පිටිසර ගම්වලටත් ත්‍රස්තවාදී උවදුරුවලින් පීඩිත ගම්වලටත්, අනාථ නිවාස හා පුනරුත්ථාපන කඳවුරුවලටත් වැඩම කළහ. ආගමට, රටට, ජාතියට හා සිංහල භාෂාවට අපමණ සෙනෙහසකින් මුළු ජීවිතයම කැප කළ මහනාහිමි චාම් සරල අනතිමානී දිවිපවෛතක් ගත කළහ. අනුන් වෙනුවෙන් කරනු ලබන සේවය තුළින් අප්‍රමාණ සතුටක් වින්දහ. උපතින් ජන්මශත සංවත්සරය සිහිපත් කරන මේ අවස්ථාවෙහි අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අප කළ යුතු පූජෝපහාරය වන්නේ උන්වහන්සේ ඉදිරිපත් කළ ‘මිනිසා හදා රටහදමු’ යන උතුම් සංකල්පයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදීමයි. මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ උතුම් නිවනින් සැනසීම ලබත්වායි අපිදු ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.

කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහානාහිමි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12330:2013-06-21-06-35-31&catid=58:urumaya&Itemid=80

සබැඳි ලිපි -
[
සිංහල කැක්කුමක් නැති අය මේ ලිපි කියවා බනිත් වා..!
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5652.html

තුන්කල් දුටු මඩිහේ පඤ්ඤාසීහ මහා යතිවරයාණෝhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_5322.html
]

0 comments: