Pages

Monday, June 24, 2013

පළාත් සභා පොලිස්‌ බලතල ගැන

මා ඉකුත් බදාදා මනෝ ගනේෂන් මහතා පුවත්පත් සාකච්ඡාවකදී කී කාරණයක්‌ අසා සිටියෙමි. 13 වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රමය තිබෙන සැටියෙන්ම රැකගැනීම වෙනුවෙන් කැඳවා තිබූ එම පුවත්පත් සාකච්ඡාවේදී ගනේෂන් මහතා කියා සිටි එක්‌ කාරණයක්‌ වූයේ පළාත් සභාවල පොලිස්‌ බලතල ඉතා සීමිත වන නිසා ඒ බලතල දීමෙන් කිසිදු හානියක්‌ නොවන බවයි. පළාත් සභා පොලිස්‌ බලතල ඔය තරම් සීමිත නම් පසුගිය අවුරුදු 25 කට වැඩි කාලය මුළුල්ලේ මේ රට පාලනය කළ කිසිදු නායකයෙක්‌ පළාත් සභාවලට 13 වැනි ව්‍යවස්‌ථාවේ සඳහන් වූ පොලිස්‌ බලතල පැවරුවේ නැත්තේ මන්දැයි ඇසිය යුතු ප්‍රශ්නයකි.

1987 සිට මේ රට පිළිවෙළින් ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග හා අවසානයේදී මහින්ද රාජපක්‍ෂ විසින් රට පාලනය කරන ලදී. ඔවුන්ගෙන් ඇතමෙක්‌ කොටි සංවිධානය සතුටු කිරීමට බිමටම නැවුණත් පළාත් සභාවලට පොලිස්‌ බලතල දුන්නේ නම් නැත. මෙයට හේතුව කුමක්‌ද යන්න 13 වැනි සංශෝධනයේ පොලිස්‌ බලතල පිළිබඳ විධි විධාන කියවන විට මනාවට පැහැදිලි වෙයි. 13 වැනි සංශෝධනය විසින් ජාතික මට්‌ටමෙන් පමණක්‌ නොව පළාත් මට්‌ටමෙන්ද ක්‍රියාත්මක වන පොලිස්‌ සේවාවන් පිළිබඳ විධි විධාන ඉතා සවිස්‌තරව සම්පාදනය කරන ලදී. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මුද්‍රිත පිටපතේ පිටු පහමාරක්‌ම වෙන් වන්නේ 13 වැනි සංශෝධනයෙන් පළාත්බද පොලිස්‌ සේවාවන් ඇති කිරීම පිළිබඳ විධිවිධානවලටය. මෙකී විධිවිධාන අඩංගු වන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි පරිශිෂ්ටයේ පළමුවැනි උපලේඛනයේය. මෙහි පොලිසියට බඳවා ගැනීම සඳහා තිබිය යුතු භාෂා දැනුම හා විනය කටයුතු සම්බන්ධයෙන් ඇපෑල් ඉදිරිපත් කරන ක්‍රියා පටිපාටිය වැනි ඉතා සියුම් කාරණා දක්‌වා සවිස්‌තර විධිවිධාන සඳහන් කොට ඇත. 13 වැනි සංශෝධනය විසින් පොලිස්‌ බලතල සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලද විධිවිධාන පහත දැක්‌වෙන ආකාරයට සාරාංශගත කළ හැක.

1 ශ්‍රී ලංකාවේ පොලිස්‌ සේවාව, ජාතික අංශය හා එක්‌ එක්‌ පළාත් සභාව සඳහා පළාත් අංශයන් වශයෙන් ප්‍රතිසංවිධානය කරනු ඇත.

2. ජාතික අංශයේ පොලිස්‌ නිලධාරීන් බඳවා ගැනීම, උසස්‌ කිරීම, මාරු කිරීම හා විනය පාලනය ත්‍රිපුද්ගල ජාතික පොලිස්‌ කොමිසමක්‌ විසින් සිදුකරනු ඇත. මේ ජාතික පොලිස්‌ කොමිසම පොලිස්‌පතිවරයා, රාජ්‍ය සේවා කොමිසමේ නියෝජිතයෙක්‌ හා අගවිනිසුරුවරයාගේ නියෝජිතයකුගෙන් සමන්විත වනු ඇත. ජාතික මට්‌ටමින් මෙන්ම පළාත් මට්‌ටමින්ද පොලිස්‌ නිලධාරීන් බඳවා ගැනීම හා උසස්‌ කිරීම සඳහා ප්‍රමිති නිර්ණය කරනු ඇත්තේ මේ ජාතික පොලිස්‌ කොමිසම විසිනි. 

3. ඒ ඒ පළාත් සභා එම පළාතේ උප පොලිස්‌පතිවරයා, රාජ්‍ය සේවා කොමිසමේ නියෝජිතයෙක්‌ හා එම පළාතේ මහ ඇමැතිවරයාගේ නියෝජිතයකුගෙන් සමන්විත පළාත් පොලිස්‌ කොමිසමක්‌ පිහිටුවනු ඇත. එම පළාතේ පොලිස්‌ අංශයේ බඳවා ගැනීම්, මාරු කිරීම්, උසස්‌ කිරීම් හා විනය පාලනය සිදුකරනු ඇත්තේ මේ පළාත් කොමිසම විසිනි. එම පළාත තුළ සේවය කිරීමට එවා ඇති ජාතික පොලිස්‌ අංශයේ නිලධාරීන්ද මේ පොලිස්‌ කොමිසම යටතේ පාලනය වනු ඇත.

4. ඒ ඒ පළාත්වල උප පොලිස්‌පතිවරුන් පත් කරන්නේ පොලිස්‌පතිවරයා නමුත් මේ පත්වීම් කළ යුත්තේ ඒ පළාතේ මහ ඇමැතිවරයාගේ එකඟතාවය අනුවය. පොලිස්‌පතිවරයාට හා මහඇමැතිවරයාට උප පොලිස්‌පති තනතුර සඳහා එකඟත්වයක්‌ ඇතිකරගත නොහැකි නම් ඒ කාරණය ජනාධිපතිවරයාට යොමු වේ. නමුත් ජනාධිපතිවරයාටද එම පළාත සඳහා උප පොලිස්‌පතිවරයකු පත් කළ හැක්‌කේ මහ ඇමැතිවරයාගේ උපදෙස්‌ ලබා ගැනීමෙන් පමණි. කොයි පැත්තට ගියත් අවසානයේදී උප පොලිස්‌පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සැබෑ බලතළ ඇත්තේ මහ ඇමැතිවරයාටය. ජනාධිපතිවරයා හා මහ ඇමැතිවරයා අතර මේ සම්බන්ධයෙන් එකඟතාවක්‌ ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන 13 වැනි සංශෝධනය නිහඬය. නමුත් ඒ ඒ පළාත්වලට උප පොලිස්‌පතිවරුන් පත් කිරීමේදී මහ ඇමැතිවරයාගෙන් උපදෙස්‌ ගැනීම ජනාධිපතිවරයාට අනිවාර්යකොට ඇති බව නම් පැහැදිලිය. පසුගිය අවුරුදු 25 පුරා කිසිදු ශ්‍රී ලාංකික නායකයෙක්‌ 13 වැනි සංශෝධනයේ පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීමට හීනෙකින් වත් නොසිතීමට මෙය ප්‍රධාන හේතුවක්‌ වූ බවට කිසිදු සැකයක්‌ නැත. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළේ නම් තමාගේ පළාතේ උප පොලිස්‌පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සියලු බලතල යන්නේ මහ ඇමැතිවරුන්ටය. ජනාධිපතිවරයාටත් කැබිනට්‌ මණ්‌ඩලයටත් සිදුවන්නේ උඩ බලාගෙන සිටීමටය.

5. 13 වැනි සංශෝධනයට අනුව ජාතික පොලිස්‌ අංශයේ පොලිස්‌ නිලධාරීන්ගේ ගණන තීන්දු කරන්නේ මධ්‍යම ආණ්‌ඩුව විසිනි. පළාත් බද පොලිස්‌ අංශවල සේවය කරන නිලධාරීන්ගේ ගණන තීන්දු කරන්නේ පළාත් ආණ්‌ඩුව විසිනි. එයට ජනාධිපතිවරයාගේ එකඟතාවය තිබිය යුතු අතර එම පළාතේ භූමි ප්‍රමාණය, පොලිස්‌ ස්‌ථාන ගණන, ජනගහනය වැනි වෙනත් නිර්ණායක මත පොලිස්‌ නිලධාරීන්ගේ ගණන තින්දු කළ යුතු වෙයි. එපමණක්‌ද නොව මේ නිර්ණායක මත ගොඩනැගෙන සූත්‍ර සියලු පලාත්වලට සමාන විය යුතු බව කියවෙයි. නමුත් පළාත්බද පොලිස්‌ සේවාවන්වලට බඳවා ගැනීම් සම්බන්ධ නිර්ණයක සියලු පළාත් අතර සමාන වන බවට වග බලා ගන්නේ කෙසේද යන්න ගැන 13 වැනි සංශෝධනයේ කිසිවක්‌ සඳහන් වන්නේ නැත. සියලු පළාත් ආණ්‌ඩුවල නියෝජිතයන්ගෙන් සමන්විත සභාවක්‌ මේ සඳහා නැත. එමෙන්ම ඒ නිර්ණායක තීන්දු කිරීමට මධ්‍යම ආණ්‌ඩුවට බලතල ද නැත. 13 වැනි සංශෝධනයේ පොලිස්‌ බලතල ක්‍රියාත්මක කළේ නම් පළාත් හා මධ්‍යම ආණ්‌ඩු අතර එකඟතාවයක්‌ ඇති කිරීමට නොහැකිව මුළු පොලිස්‌ සේවයම අඩාල වනු ඇත. කිසිදු ශ්‍රී ලාංකික නායකයෙක්‌ පළාත් සභා පොලිස්‌ බලතල දෙස බැලුවේවත් නැත්තේ මේ නිසාය. 

6. ජාතික හා පළාත් පොලිස්‌ අංශවල නිලධාරීන්ගේ වැටුප් හා වෙනත් වරප්‍රසාද ගැන මධ්‍යම ආණ්‌ඩුවට තීන්දුවක්‌ ගත හැක්‌කේ පළාත් ආණ්‌ඩුවලින් විමසීමෙන් පසුව පමණි. මධ්‍යම ආණ්‌ඩුව හා පළාත් ආණ්‌ඩු අතර එකඟත්වයක්‌ ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන 13 වන සංශෝධනය නිහඬය. එක මහඇමැතිවරයකුට වෙනත් පළාත්වල නැති දීමනාවක්‌ තමාගේ පොලිස්‌ නිලධාරීන්ට දීමට අවශ්‍ය වුවහොත් සිදුවන්නේ කුමක්‌ද යන්න කිසිවකුත් නොදනී. මධ්‍යම ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් ගන්නා තීන්දුවකට පළාත් සභා සියල්ලම එකඟ විය යුතුද නැතිනම් පළාත් සභාවලින් බහුතරය එකඟ වුවහොත් ප්‍රමාණවත්ද යන්නවත් 13 වන සංශෝධනයේ සඳහන් වන්නේ නැත.

7. ජාතික පොලිස්‌ අංශය විසින් භාවිත කරන අවි ආයුධ වර්ග ගැන තීන්දු කරන්නේ ජාතික පොලිස්‌ අංශය විසිනි. පළාත්බද පොලිස්‌ අංශය විසින් භාවිත කරන අවි ආයුධ සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසම තීන්දුවක්‌ ගත යුත්තේ පළාත් ආණ්‌ඩුවලින් විමසීමෙන් පසුව පමණි. පළාත් ආණ්‌ඩුවලින් විමසන්නේ නැතුව මේ සම්බන්ධයෙන් තීන්දුවක්‌ ජාතික පොලිස්‌ කොමිසමට ගත නොහැක. ලෝකයේ දරුණුම බෙදුම්වාදී අරගලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව වැනි රටක මීට වඩා ගොන් ප්‍රතිපාදනයන් තවත් තිබිය හැකිද? පලාත්බද පොලිස්‌ අංශ භාවිත කරන ආයුධ පිළිබඳව මහඇමැතිවරුන් හා මධ්‍යම ආණ්‌ඩුව අතර එකඟත්වයක්‌ ඇති නොවුණහොත් සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන 13 වන සංශෝධනය නිහඬය. 13 වන සංශෝධනයේ ප්‍රධානම දුර්වලතාව වන්නේ පළාත් නවයේම මහ ඇමැතිවරුන් සෑම කාරණයක්‌ම සම්බන්ධයෙන්ම එකම මතයේ සිටිනු ඇතැයි උපකල්පනය කිරීමය. මතයන් වල වෙනස්‌කමක්‌ ඇතිවුවහොත් පරිපාලනය බිඳවැටෙන්නේ නැතුව කාරණා තේරුම් බේරුම් කර ගැනීමට කිසිදු ක්‍රමවේදයක්‌ නැත.

8. 13 වන සංශෝධනයට අනුව ඒ ඒ පළාත් වල එක වර්ගයේ නිල ඇඳුමක්‌ පමණක්‌ පැළඳගත් පොලිස්‌ සේවයක්‌ තිබෙනු ඇත. ජාතික අංශයේ පොලිස්‌ නිලධාරීන් එම පළාත තුළ රාජකාරියේ යෙදෙන විට නිල ඇඳුමෙන් නොව සාමාන්‍ය ඇඳුමෙන් සිටිය යුතු බව කියෑවෙයි.. ජාතික පොලිස්‌ සේවයට ඒ ඒ පළාත් තුළ නිල ඇඳුම් පැළඳිය හැක්‌කේ මහජන සාමය රැකීමේ කටයුතුවල නියෑලී සිටින විට පමණි.

9. යම් පළාතක්‌ තුළ සේවය කරන එම පළාතේ පොලිස්‌ අංශයේ නිලධාරීන් පමණක්‌ නොව එම පළාතේ සිටින ජාතික පොලිස්‌ අංශයේ නිලධාරීන්ද සේවය කළ යුත්තේ එම පළාතේ උප පොලිස්‌පතිවරයාගේ අණ යටතේය. 13 වන සංශෝධනයට අනුව එකී උප පොලිස්‌පතිවරයා එම පළාත තුළ පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ මහ ඇමැතිවරයාටය. ඒ අනුව අදාළ පළාත තුළ පොලිසිය කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාගේ අණ පරිදිය.

10. 13 වන සංශෝධනයට පක්‍ෂව කරුණු ඉදිරිපත් කරන බොහෝ දෙනෙක්‌ ජනතාව නොමග යෑවීම සඳහා ඉදිරිපත් කරන තර්කයක්‌ වන්නේ පළාත් සභාවලට පවරා ඇති පොලිස්‌ බලතල ඉතා සීමිත බවත් ප්‍රධාන බලතල සියල්ල ඇත්තේ ජාතික පොලිස්‌ සේවයට බවත්ය. නමුත් 13 වන සංශෝධනයෙන් කරන්නේ යම් යම් නිශ්චිත කාරණා කීපයක්‌ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලතල ජාතික පොලිස්‌ සේවයට පවරා දී අනෙක්‌ සියලුම කාරණා පලාත්බද පොලිස්‌ සේවාවන්ට පැවරීමය. ජාතික පොලිස්‌ සේවයට ඉතිරිකොට ඇත්තේ සාමාන්‍ය තත්ත්වයක්‌ යටතේ වුවද පොලිසියේ විශේෂ ඒකකවලට පමණක්‌ සීමාවන විමර්ශනය. උදාහරණයක්‌ වශයෙන් ජනාධිපතිවරයාට, කැබිනට්‌ ඇමැතිවරුන්ට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි වැරදි, ත්‍රිවිධ හමුදාව හා විනිශ්චයකාරවරුන් රජයේ සේවකයන්ට එරෙහි වැරදි, ඡන්ද විමසීම් සම්බන්ධ වැරදි, ජාතික ආරක්‍ෂාව හා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ වැරදි, මුදල් හා රාජ්‍ය දේපළ සම්බන්ධ වැරදි වැනි කාරණා ජාතික පොලිස්‌ සේවය යටතට වැටේ. ඒ හැරුණු විට රටේ දෛනිකව සිදුවන සියලු අපරාධ, වංචා, මත්කුඩු ජාවාරම් ඇතුළු එදිනෙදා පොලිස්‌ සේවය කරන සියලු කාරණාද අයත් වන්නේ පළාත්බද පොලිස්‌ සේවයටය.

11. පළාතේ මහ ඇමැතිවරයා ඉල්ලා සිටියහොත් යම් කිසි කාරණයක්‌ අපරාධ විමර්ශන අංශයට යොමුකළ හැක. නමුත් යම් කිසි විමර්ශනයක්‌ මහජන සුබසිද්ධිය සඳහා අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ යුතු යෑයි පොලිස්‌පතිවරයාට සිතුනොත් ඔහුට ඒ කෙරෙහි අපරාධ විමර්ශන අංශයට යොමුකළ හැක්‌කේ නීතිපතිවරයාගේ අනුමැතිය ඇතුව මහ ඇමැතිවරයාගෙන්ද විමසීමෙන් පසුව පමණි. මහ ඇමැතිවරයාගෙන් නොවිමසා එම පළාතේ පොලිස්‌ විමර්ශනයක්‌ අපරාධ විමර්ශන අංශයට බාරදිය නොහැක.

12. යම් කිසි පළාතක මහ ඇමැතිවරයා හෝ ඔහුගේ ගෝලයන් සිදුකරන වැරදි විමර්ශනය කිරීමේ කාර්යය ජාතික පොලිස්‌ සේවයට කළ නොහැක. පළාත් ආණ්‌ඩුවල ප්‍රබලයන්ගේ වැරදි විමර්ශනය කරන්නේ මහඇමැතිවරයාගේම අණ පරිදි කටයුතු කරන පලාත්බද පොලිස්‌ සේවය විසිනි. මේ අනුව 13 වන සංශෝධනය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හඳුන්වා දුන් 9 වන පරිශිෂ්ටයේ පළවෙනි උපලේඛනය ලියා ඇත්තේ ඔල්මාද කාරයකු බව අපට පෙනේ.

මේ ආකාරයට 13 වන සංෙශෘaධනය විසින් පොලිස්‌ බලතල සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවට හඳුන්වා දුන් විධි විධාන 17 වන සංශෝධනය විසින් පුළුල් වෙනස්‌කමකට භාජනය වූ බව අප ඉකුත් සතියේදී පෙන්වා දුන්නෙමු. නමුත් මේ 17 වන සංශෝධනයෙන් වෙනස්‌ වූයේ ජාතික මට්‌ටමේ පොලිස්‌ බලතල පමණි. 17 වන සංශෝධනය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට හඳුන්වා දුන් 155 (1) (බී) වගන්තිය විසින් 13 වන සංශෝධනය විසින් පළාත් සභාවලට පවරා ඇති පොලිස්‌ බලතල රැකීමට කටයුතු කළ බව අප පෙන්වා දුන්නෙමු. 17 වන සංශෝධනයෙන් ජාතික මට්‌ටමේ පොලිස්‌ බලතල සම්බන්ධයෙන් කරන ලද වෙනස්‌කම් හා 13 වන සංශෝධනයේ සඳහන් පළාත් සභාවල පොලිස්‌ බලතල එකට ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරුවේ නම් මේ රටේ ජනතාවට නියම විගඩමක්‌ දැක ගැනීමට හැකිවනු ඇත. 17 වන සංශෝධනය යටතේ ජාතික පොලිස්‌ සේවය සම්පූර්ණයෙන්ම ස්‌වාධීන වන අතර ඉහත කී 155 (1) (බී) වගන්තියෙන් රැකුණු පළාත් බද පොලිස්‌ බලතල යටතේ ඒ ඒ පලාත්වල පොලිස්‌ සේවය සහමුලින්ම මහඇමැතිවරයාගේ අණසක යටතේ දේශපාලනීකරණය වී පවතිනු ඇත. රටේ වාසනාවට 18 වන සංශෝධනය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 155 (1) (බී) වගන්තිය අවලංගු කොට ඇත. එම නිසා දැනට පවතින නීතියේ ඇත්තේ එක ජාතික පොලිස්‌ සේවයක්‌ පමණි. 13 වන සංශෝධනයේ සඳහන් පළාත් පොලිස්‌ සේවය පිළිබඳ විධි විධාන 17 වන සංශෝධනය යටතේත් පවත්වාගෙන ගිය 155 (1) (බී) වගන්තිය දැන් නොමැති නිසා ඒ යටතේ බලාත්මක වූ සියල්ලද අහෝසි වී ඇති බව අප ඉකුත් සතියේ පෙන්වා දුන්නෙමු. පළාත් සභාවට පවරා තිබූ පොලිස්‌ බලතල දෙස බලන විට එය මේ රටේ කිසිදාක ක්‍රියාත්මක නොකළ යුත්තක්‌ බව 1987 සිටම සිටි සෑම නායකයකුම හොඳින් දැනගෙන සිටියේය.

දිවයින වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/06/24/feature01.html

0 comments: