Pages

Friday, June 21, 2013

මුස්‌ලිම් කොංග්‍රසය මාතලේට විපක්‌ෂ ලාංජනය යටතේ තනිවම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී මාතලේ දිස්‌ත්‍රික්‌කයට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය විපක්‌ෂ ලාංජනය යටතේ තනිවම තරග වදින බව එම කොන්ග්‍රසයේ, මාතලේ දිස්‌ත්‍රික්‌ සංවිධායක අයුබ්හසන් මහතා පවසයි. එම කොංග්‍රසයේ මාතලේ දිස්‌ත්‍රික්‌ ක්‍රියාකාරී කමිටු රැස්‌වීමකදී මෙම තීරණයට එළඹි බව ඒ මහතා පවසයි.

මේ තීරණය ගැන අදහස්‌ දක්‌වන ඒ මහතා, අපි ගතවූ කාලසීමාවේ පැවති හැම පළාත් සභා, පළාත් පාලන ආයතන මැතිවරණයකදීම මේ රජයට සහාය දුන්නා. ඒත් අපට ලැබුණු දෙයක්‌ නෑ. බලයට ආවම ඒ අය අපිව ගණන් ගන්නේ නෑ. අපට කුඩම්මාගෙ සැලකිළි තමා දක්‌වන්නේ. මේකට හොඳම උදාහරණය මාතලේ නගර සභාව. ඒකේ ඡන්දේ ආවම අපි තනිවම තරග කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කළා. අපිට පැහැදිළිවම මන්ත්‍රී ධුර තුනක්‌ ගන්න තිබුණා. ඒත් අපේ නායකතුමාත්, ජනාධිපතිතුමාත් අතර පැවති සාකච්ඡාවක්‌ නිසා අපට ඒ අදහස අත ඇරලා සන්ධාන පිලට උදව් දෙන්න වුණා. අපි ඒක කළා. දිනලා නගරාධිපති වුණෙත් මුස්‌ලිම් කෙනෙක්‌. ඒත් එයා හෝ නාගරික කොමසාරිස්‌ හෝ අපිව ගණන් ගන්නේ නෑ. අපි කරන කිසිම ඉල්ලීමකට ප්‍රතිචාර දක්‌වන්නේ නෑ. මේ තුළ මෙයාලා විශ්වාස කරගෙන අපිට ඉන්න බෑ. අපි අපේ අනන්‍යතාවය රැකගෙන වෙනම කණ්‌ඩායමක්‌ හැටියට ඉදිරියේ දී තරග කරන්න ඕන. අපි එහෙම කළා කියලා අපේ පක්‌ෂයයි. ජනාධිපතිතුමයි අතර තියෙන සම්බන්ධය වෙනස්‌ වෙන්නේ නෑ. අපේ මේ තීරණය පිළිබඳව ඉදිරියේදී පක්‌ෂ නායකත්වයට දැනුම් දෙනවා. අපි දැනටමත් පළාත් සභාවට දාන අයත් තෝරලා ඉවර බව පැවසීය.

මේ රැස්‌වීම අමතා මාතලේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ඉසෙඩ් එම්. හාරිස්‌ මහතා ද කතා කරන ලදී.

රත්තොට - වම් රිචඩ් ද සිල්වා
මුස්‌ලිම් කොංග්‍රසය මාතලේට තනිව තරග වැදීමේ සූදානමක්‌
http://www.divaina.com/2013/06/21/provin02.html

0 comments: