Pages

Monday, June 10, 2013

ත්‍රස්ත නායක ඔසාමා බින් ලාදින්ගේ ගමනක අවසානය

අල්කයිඩා සංවිධානයේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1988 වසරයි. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් ලෙස එය වඩාත්  කතා බහට ලක් වූයේ 2001 සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ  ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට ප්‍රහාර එල්ල කිරීමත් සමගය. ආරම්භයේ සිට අල් කයිඩා සංවිධානයේ නායකත්වය දැරුවේ    ඔසාමා බින් ලාදින් වන අතර 2001 සැප්තැම්බර් ප්‍රහාරයත් සමග ඇමරිකාවේ ප්‍රබල සතුරකු බවට ඔහු පත්විය. ඒ අනුව ඔහු සොයා ඇමරිකාව සිදු කළ විමර්ශන අවසන් වූයේ 2011 මැයි මසදී ඇමරිකාවේ සීල් භටයින්ගේ ඉලක්කයට ඔහු හසු වූ පසුය.

2011 මැයි 2 දා මධ්‍යම රාත්‍රිය පසුවුණා පමණි. පාකිස්තානයේ අබෝටාබාද් හි පිහිටි ඔසාමා බින් ලාදින්ගේ නිවසෙහි වූවන් ඒ අසල  වූ අමුතු පිපිරුම් හඬකින් බියෙන් සලිත වී අවදි විය. බින් ලාදින්ගේ  20 හැවිරිදි දියණිය මීරියම් ඉහළ මාලයේ වූ අල්කයිඩා නායකයාගේ නිදන කාමරය කරා පියගැට පෙළ  ඔස්සේ දිව යන්නට වූවාය. සිදුවන්නේ කුමක්දැයි  ඇය තම පියාගෙන් විමසා සිටි අතර ඔහුගේ ප්‍රතිචාරය වූයේ ඇය පහත ඇගේ  නිදන කාමරය කරා නැවත යා යුතු බවය. වසර 5කට අධික කාලයක සිට බින් ලාදින් අක්කරයක් පමණ  වූ මෙම භූමිය වසා පැතිරුණු  ගොඩනැගිල්ල තුළ සැඟවී ජීවත් වන්නේය. යේමන් ජාතික 28 හැවිරිදි තම තරුණ, අලුත් බිරිය අමාල් සමග ඔහු තෙවැනි මහ‍ලේ ජීවත් විය. ඛයිරියා හා සිහාම් නම් වූ  ඔහුගේ  පැරණි බිරියන් දෙදෙනා පහත මාලයේ පිහිටි බින් ලාදින්ගේ දරුවන්ගේ කාමර පෙළ සමග පිහිටි ඔවුන්ටම වෙන් වූ කොටස්වල  ජීවත් වූහ.  එම භූමියේ පිටතින් පිහිටි  ගොඩනැගිලිවල බින් ලාදින්ගේ සමීපතම හා පැරණිම උපදේශකයන්ගෙන්  දෙදෙනෙක්  වාසය කළහ. බින් ලාදින්ගේ  නිදන කාමරය තුළ තිබි හමු වූ ඒ.කේ. 47 සහ මැකාරෝ අර්ධ ස්වයංක්‍රීය  පිස්තෝලය ඔහුගේ නිත්‍ය  සහකරුවන්ය. නමුත් ඒවාට අත තබනු වෙනුවට තම තරුණ බිරිය දෙසට හැරුණු ඔහු ඇයට පැවැසුවේ විදුලි එළිය නොදල්වන  ලෙසය. නමුත් එය අරමුණකින් තොරව කළ අවවාදයක් විය. ඒ වනවිටද කිසිවකු විසින් විදුලි එළිය නිවා දමා තිබුණු අතර මෙම නිහඬ පූර්වාරක්ෂාව එම සඳ නැති රැයේ එම නිවස කරා ළඟා වෙමින් සිටි අමෙරිකානු සීල් භටයින් හට මහත්  වාසියක් විය. ඇත්තෙන්ම බින් ලාදින්ගේ අවසාන  වචන කිහිපයද එයම විය. ඇමෙරිකාව ඔසාමා බින් ලාදින්ව ලුහුබඳිමින් සිටින්නේ වසර   දහයක සිටය. 2011 දී හමුදා බුද්ධි අංශ වාර්තා කරන ලද්දේ අල්කයිඩා නායකයා වසර කිහිපයක සිට ඇබෝටාබාද්හි වාසය කරන බවය. ඇබෝටාබාද්හි පිහිටි නිවසක ඔහු වෙසෙන බවට 60 -80 ත් අතර නිශ්චිත බවක් ඔවුන්ට විය. 2011 අප්‍රේල් 28 දින ධවල මන්දිරයේ පැවැති රැස්වීමකට බරක් ඔබාමාගේ ඉහළ පෙළේ හමුදා උපදේශකයකු වන අද්මිරාල් මයික් මුලන් ඔබාමා හමුවට පැමිණියේ  ඔසාමා බින් ලාදින් නැවතී සිටියේ යැයි සැලකූ නිවස වැටලීම සඳහා සැලසුමක්ද සමගිනි. මුලන් එහිදී පවසා සිටියේ වැටලීම සඳහා සම්පූර්ණ  පෙර පුහුණුවක් සිදු කළ බවය. එමෙන්ම තම කණ්ඩායමට එය කළ හැකි  බව තමා හොඳින්  දන්නා බවය. නමුත් ඊට තම විරෝධය   පෑවේ උප ජනාධිපති ජෝසෆ් බයිඩ්ය. බින් ලාදින්  එහි සිටින බවට ඊට වඩා තහවුරු  කිරීමක් ඔවුන්ට අවශ්‍ය බව ඔහුගේ අදහස විය. සියලුම කරුණු පිළිබඳව සිතා බැලූ ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් හිලරි ක්ලින්ටන් අවසන පවසා සිටියේ වැටලීම සිදු කළ යුතු බවයි. තම ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ට සවන් දුන් ජනාධිපති ඔබාමා ඒ පිළිබඳ  තම දැක්ම හෙළි කළේය. එම නිවස වැටලීමේ මෙහෙයුම යම් හෙයකින්   අසාර්ථක වුවහොත් භෞමික දේශපාලනික වශයෙන් පමණක් නොව මහත් ජීවිත හානියක්ද සිදු වනු ඇතැයි ඔහුගේ අදහස විය. පසුදින සිකුරාද උදෑසන (අප්‍රේල් 29) තම හමුදා උපදේශකවරුන් ධවල මන්දිරයට කැඳවූ ජනාධිපති නව තතු තිබේ දැයි විමසා සිටියේය. කිසිවක් නොමැතිබව උපදේශකවරුන්  දැන්වූ පසු තමා තීරණයක් ගත් බවත් වැටලීම කළයුතු බවත් පැහැදිලි ලෙස ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර සිටියේය.

මැයි 1 ඉරු දින උදෑසන 8ට පමණ වොෂින්ටනයේ  ආරක්ෂක උපදේශකවරුන් ධවල මන්දිරයට පැමිණීමට පටන් ගත්හ. එය සාමාන්‍ය පරිදි සිදුවන කාර්යයක් සේ පෙන්වීමට ඔවුහු ප්‍රවේසම් වූහ. ජනපති  ඔබාමා පවා සාමාන්‍ය  පරිදි ඉරිදා ගොල්ෆ් ක්‍රීඩාව පිණිස නික්ම ගියේය. ඇමෙරිකානු සෙබළුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබුණේ බින් ලාදින් නිවසේ සංවේදී  පිහිටීම වෙතටයි. ඇබෝටාබාද් නගරය වූ කලී 500,000 පමණ ජනගහනයකින් යුත් හිමාලය අසල කුඩා කන්දක පිහිටියකි. එමෙන්ම එය විශිෂ්ට පාසල් ගණනාවකට නිවහනකි. ඒ අතර පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ හමුදා  ඇකඩමියක් ඒ සියල්ල අතර ද විය. ඇමෙරිකානුවන් පාකිස්තානය තුළ රහස් හමුදා මෙහෙයුමක් සිදු කරමින් සිටී. පාකිස්තානය මීට ප්‍රතික්‍රියා දැක්විය හැක. වොෂින්ටනයේ වේලාවෙන් රාත්‍රී 1 විය. එය කි. මී. 11,300 ක් ඈතින් පිහිටි පාකිස්තානයට රාත්‍රිය අඳුර වැටෙමින් පැවති හෝරාවකි. ජනපති ඔබාමාගේ උපදේශකවරු ධවල මන්දිර කාමරයකට (ඉඪබභචබඪධද අධධථ) රැස් වූහ. සවස 1.22 ට ඇමෙරිකානු රහස් ඔත්තු සේවා (ඛිඒ) අධ්‍යක්ෂ  පැනෙටා, නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් සිට බින් ලාදින් මෙහෙයුම සම්බන්ධයෙන් කටයුතු භාරව ක්‍රියා කරන අද්මිරාල් විලියම් මැත්රාවන් අමතා නියෝගය නිකුත් කළේය. “යන්න, බින්ලාදින්ව අල්ලා ගන්න. බින් ලාදින් එහි නොසිටියහොත් වහාම ඉන් පිටවෙන්න ” 

සවස 2 ට ඔබාමාද ගොල්ෆ් ක්‍රීඩාව නිම වී කෙළින්ම අදාළ කාමරය වෙත පිය නැගීය. ඇබෝටාබාද් හි වේලාව සවස 11 පසු වී තිබිණ. එය බින් ලාදින් නිවසේ සියල්ලන් නිදන වේලාවක් විය. බින් ලාදින් ඔහුගේ පවු‍ලේ සැබෑම  අධිපතියෙක් විය. නිවසේ සියල්ලන් හට චාම් ජීවිතයක් ඔහු නියම කර තිබිණි. ඔවුන් තමුන්ගෙම එළුවන් මරා මස් ලබා ගත්හ. කිරි ද තමන් විසින්ම ඇති කරනු ලබන එළදෙනුන්ගෙනි. බිත්තර ද ඔවුන්ගේම කිකිළියන්ගෙන් ලබාගත් අතර  එළවළු මුළුතැන්ගේ වත්තෙනි. නිවසට ළඟාවීමට තිබුණේද තනි අපිරිසිදු පාරකිනි. මීටර් 3ක් උසැති තාප්පය සහ ආරක්ෂක කැමරා පද්ධතිය  එම නිවසට ලබාදුන්නේ අවම ආරක්ෂාවක් සහිත සිර කුටියක පෙනුමකි. බින් ලාදින් නිවසේ ඉහළ මාලයේ ජනේල තිබුණේ එක් පැත්තක පමණි. පසෙක කුඩා නාන කාමරයක් ද විය. වයස අවුරුදු පනස් ගණන්වල පසු වූ ඔහු තම තරුණ පෙනුම රැක ගැනීම සඳහා හිසකෙස්   සහ රැවුල වර්ණ ගැන්වීම සඳහා භාවිත කළේ මෙම නාන කාමරයයි. සාම්ප්‍රදායික ඉස්ලාම් බැතිමතෙකුට නියම වී ඇති වාර ගණනට වඩා වැඩිපුර දෙවරක් එනම් දිනකට හත් වාරයක් ඔහු යාච්ඤා කළ අතර තරුණ වියේ සිටම එය සිදු කරන ලදී. කඳුකර සීතලෙන් මිදීමට ඝන රෙදි කඩක් ‍පොරවාගත් බින් ලාදින් දවස ගත කරන ලද්දේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව බලමින්, ඔහුගේ පැරණි වීඩියෝපට බලමින් සහ බිබිසී රේඩියෝවට සවන් දෙමින්ය. එමෙන්ම ඇමෙරිකානු විරෝධී ‍පොත් කියවීමද ඔහු සිදු කරන ලදී. ඔහුට සේවය කිරීමට බිරියන් 4 දෙනෙකු සිටි අතර ප්‍රථම බිරිය නජ්වා  2001 දී තම උපන්බිම වූ සිරියාවට නැවත ගොස් සිටියාය. ඇබෝටාබාද් ප්‍රදේශයට කි.මී. 250 ක් බටහිරට වන්නට ඇෆ්ගනිස්ථානයේ ජලාබාද්හි  දී ඇමෙරිකානු නාවික සීල් භට කණ්ඩායම බ්ලැක් හෝක් හෙලිකොප්ටර් දෙකට ගොඩ වන්නට සූදානම් වූහ. කණ්ඩායම 23  දෙනෙකුගෙන් සමන්විත විය. ඒ අතර සීල් සෙබළෙකු සේම සන්නද්ධ ඇඳුමින් සැරසුණු කයිරෝ නම් සටන්කාර සුනඛයකුද විය. මෙහෙයුමට සහභාගි වූ සෑම අයෙකු ළඟම බින් ලාදින්ගේ   පවු‍ලේ ඡායාරූප  හා විස්තර සහිත කුඩා කාඩ්පතක් ද විය.

බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා 2ක් විනාඩි 15ක් ඇතුළත පාකිස්තානු දේශසීමා පසු කර යන ලදී. අඩු ශබ්දයක් සහිත, රේඩාර් කිරණවලට හසු නොවන පරිදි සැලසුම් කර තිබූ යානා පේෂාබර්හි උතුරු දෙස බලා  ධාවනය විය. නියමිත ඉලක්කය කරා ළඟා වීමට ඒවාට ගත වූ මුළු කාලය පැයකුත් විනාඩි 30ක් පමණ වේ. මේ අතර අවශ්‍ය වුවහොත් සහයට යාම පිණිස බ්ලැක් හෝක් යානා පාකිස්තානයේ නවතා තිබිණ. චිනුක් වර්ගයේ හෙලිකොප්ටර් යානා ජලාලාබාද් සිට පිටත් වූ අතර එක් යානයක් බස් රථ 3ක ප්‍රමාණයේ විය. ඉන් එක යානයක් ඇෆ්ගන් දේශසීමාවේ ඇතුළු පැත්තේ ගොඩ බස්වන ලදී. දෙකක්, ස්වැට් නිම්නයෙන් දුර බැහැර කඳුකර ප්‍රදේශයක් වන කලා ධකා වෙත  පියාසර කරන ලදී. එම යානා  ඇබෝටාබාද් වෙතින් කි. මී. 80ක් වයඹ දෙසින් ඉන්දුස් නදී  ඉවුරේ නවත්වන ලදී. බ්ලැක් හෝක් යානාවල සිටින සීල් භටයින් හට අවදානමකට මුහුණ දීමට සිදු වුවහොත් ඉදිරියට යාම පිණිස  ඒවායේ සීල් භටයින් 24 දෙනෙකු රැඳී සිටියහ. බ්ලැක් හෝක් යානා 2ක් ඉලක්කය කරා ළඟා  වූ අතර පළවෙනි යානය ගොඩ බෑමට උත්සාහ කරද්දී  එහි පිටුපස කොටස ගොඩනැගිල්ල හා මිදුල ප්‍රදේශය වටකොට තිබූ තාප්පයේ ගැටිණ. කෙසේ හෝ නියමුවාගේ දක්ෂතාවය මත යානය පුපුරා යාම  වළකාගත හැකි වූ අතර එතුළ සිටි සීල්  භටයින් කිසිවකු  තුවාල නොලැබූහ. ඉන්පසු එතුළ වූ සීල් භටයින් වහ වහා එළියට පැමිණෙන්නට වූහ. ඉන් දෙදෙනකු කුඩා වෙල්යායක් හරහා  දිවගොස්  ඇතුළත වූ තාප්පයේ එක් දොරටුවක් විවෘත කර ගත්හ. එහිදී  ඔවුන්ට හමු වූයේ එක් මහලකින්  යුතු ගොඩනැගිල්ලකි. බින් ලාදින්ගේ පණිවුඩ එහා මෙහා  ගෙන යන කුවේටි නම් පුද්ගලයකු තම පවුල සමග එහි විසූ අතර සීල් භටයින්ගේ   වෙඩි පහරින් ඔහු මිය ගියේය. ඔහුගේ බිරිය තුවාල ලැබුවාය. තාප්පයෙන් පිටත ගොඩබාන ලද අනෙක් යානයේ සිටි පිරිසෙන් භටයින් හතර දෙනෙකු  කයිරෝ ද සමග පිටත මුර කරන්නට වූහ. අනෙක් භටයින් අට දෙනා විසින් පුපුරන ද්‍රව්‍ය යොදා  එහි වූ ඝනැති   වානේ දොරටුවක් පුපුරවා හැරිය අතර වහා පිටත වූ ඔවුන්ගේ සගයන් හට ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වීමට වරම් ලැබිණි. මේ අතර බින් ලාදින් තම නිවසේ තමන්ගේම ආරක්ෂක පද්ධතියේ ගොදුරක් වී සිටියේය. ඉහළම මාලයේ පිහිටි කුඩා නිදන කාමරයේ තම එක් බිරියක් වූ අමාල් සමග ඔහු රැඳී සිටියේය. ඔහුගේ අවසන් වාසස්ථානය ඇමෙරිකානුවන් විසින් කළඹමින් සිටින අතරේ ඔහු සිටියේ කිසිවක් කර කියාගත නොහැකිවය. ප්‍රථම මහලට පිවිසි  සීල් භටයින් එහි වම්පසින් වූ නිදන කාමරයේ සිටි වේටිගේ සොයුරා , අබ්‍රාර් හා ඔහුගේ බිරියද වෙඩි තබා මරා දමන ලදී. උඩු මහලට යන මග අහුරමින් විශාල යකඩ ගේට්ටු දෙකක් විය. සීල් භටයින්   ඒවා විනාශ   කර දමා දෙවන මහලට පිවිසියහ. එහිදී බින් ලාදින්ගේ පුතෙකු වූ 23 හැවිරිදි  කාලිඩ් ඔවුන්ට මුණ ගැසිණි.  පියගැට පෙළ  මතදීම ඔහු සීල්  භටයින්ගේ  වෙඩි පහරට ලක් විය. මේ අතර තම නිදන කාමරයට පිටතින් වූ ද වානේ ගේට්ටුව විවෘත කළ බින් ලාදින් සිදුවන්නේ කුමක්දැයි හිස එළියට දමා බැලීය. වහා ඔහුව දුටු සීල් භටයින්  ඒ කරා පැමිණෙන්නට වූහ. ගේට්ටුවෙන් ඇතුළු වී කෙටි ශාලාවක් තුළින් තම නිදන කාමරයට පිවිසීමට සීල් භටයින්ට ඉඩ හරිමින් බින් ලාදින් ආපසු තම කාමරයට යාමේදී ගේට්ටුව  අගුළු ලෑවේ නැත. අරාබි බසින් යමක් කියා කෑ ගැසූ අමාල් වහා තම සැමියාගේ ඉදිරිපසට පැමිණියාය. කාමරය තුළට පිවිසි ප්‍රථම සීල් භටයා ඇයව පසෙකට තල්ලු කළේ ඇය  මරාගෙන මැරෙන බෝම්බ සහිත කබායක් ඇඳ ඇතැයි සිතමිනි. එහි ඇතුළු වූ වෙනත් සීල් භටයකු විසින්  අමාල්ගේ පාදයකට  වෙඩි තබන ලදී. ඇය සිහිසුන්ව ඇඳෙහි මෙට්ටය මතට ඇද වැටුණාය. බින් ලාදින් හට විරෝධය පෑමට කිසිදු ඉඩක් නොවූයේ ඔහුගේ පපුව සහ වම් ඇස පසාරු කරමින් ගිය උණ්ඩ හේතුවෙනි. එය ඉතා භයානක දසුනක් විය. ඇඳ අසල වූ භූමිය බින් ලාදින්ගේ රුධිරයෙන් නැහැ වී ගියේය. මේ සියල්ල ධවල මන්දිරයේ සිට ජනාධිපති බරක් ඔබාමා, රාජ්‍ය ‍ලේකම් හිලරි ක්ලින්ටන්, උපදේශකවරු ඇතුළු පිරිස විසින් සජීවීව නරඹන ලදී. මේ අතර මැක් රාවන් හට අවශ්‍ය වූයේ බින් ලාදින්  මියගියේද යන්න දැන ගැනීමටය. මෙම මෙහෙයුමේ සෑම පියවරක්  සඳහාම අකුරකින්  ‍ලේබලයක් විය.  ඔහුට සීල් භටයින්ගෙන්  ලැබුණු ප්‍රතිචාරය වූයේ  Roger, Geronimo, EKIA  යනුයි.  එනම් මෙහෙයුමේදී සතුරා මරා දැමුණු බවයි. (Enemy Killed in Action) මේ බව ඇසූ ධවල මන්දිර කාමරයේ රැඳී පිරිස අතර වූයේ දැඩි නිහඬ බවකි. ජනපති ඔබාමාගේ මුවින් නිකුත් වූයේ “අපි සතුරා අල්ල ගත්තා” යනුයි. මරා දමන ලද්දේ අල්කයිඩා නායකයාම බව තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ මුහුණේ ඡායාරූප හා ඩී.එන්.ඒ. සාම්පල  ගෙන ඒවා වොෂින්ටනයට යවන ලදී. මුළු මෙහෙයුමටම ගත වී තිබුණේ පැය 3 කට මදක් වැඩි කාලයකි. මරා දමන ලද්දේ බින් ලාදින්වම බව විශ්‍ලේෂකයන් විසින් හඳුනාගන්නා ලදී. අනතුරුව මුස්ලිම්  චාරිත්‍රානුකූලව මැයි 2 දින විසල් අරාබි මුහුද තුළ ඔහුව මිහිදන් කෙරිණි. 2011  මැයි 6 දින තම නායකයාගේ මරණය පිළිබඳව අල්කයිඩා සංවිධානය විසින් තහවුරු කරන ලදී.

තනූජා යටවතුර (Reader’s Digest ඇසුරිනි.)
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=9241:2013-05-07-06-30-36&catid=52:samudura&Itemid=76

0 comments: