Pages

Sunday, June 9, 2013

ඉන්දියාවේදී කරළියට නැංවූ ලංකාවේ අභිමානය දුටුවෙමු

අපි මුම්බායි නගරයට පිවිසුණෙමු. ජනාකීර්ණ හා කලබලකාරී වීදි දිගේ උදැසන අප නවාතැන් ගැනීම සඳහා වෙන්කර සිටි හෝටලය කරා යන ගමනේ දුටු දසුන් කෙසේවත් ප්‍රසන්න හැඟීමක්‌ දැනවූයේ නැත. ගමනේ අරමුණ වුණේ ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කරනු ලැබූ ඉන්දියාවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා වූ, 'ගෙට්‌ ශ්‍රී ලන්කන්ඩ්' (GET SRI L A N K A N ' E D) වැඩසටහනයි.

නවාතැන්පළ කරා යන ගමනෙත්, නවාතැනේදීත් අත්දුටු බොහෝ දේ වැඩසටහන ගැන යම් කුකුසක්‌ දැනවීමට සමත්විය. දහවලෙහි අප නවාතැන්පළින් පිටව මුම්බායි හි ලෝවර් පැරල්, ෆීනික්‌ස්‌ මෝල් සාප්පු සංකීර්ණය පිහිටි ප්‍රදේශය වෙත ගමන් කළෙමු. දහවල් හිරු රශ්මිය ගත දවන හෝරාවක ගමන් ගත් අප ගමන නිමා කළේ දැඩි වාහන තදබදයකටද හසුවය. "ෆීනික්‌ස්‌ මෝල්" වෙත අප පිවිසුණේද ඒ පීඩනය දරාගෙනමය. ෆීනික්‌ස්‌ මෝල් වෙත පිවිසෙන තැන්හි පටන්ම දක්‌නට ලැබෙන විවිධාකාර ප්‍රදර්ශන පුවරු අතර, "ගෙට්‌ ශ්‍රී ලන්කන්ඩ්" පුවරු නිර්මාණශීලී ආකාරයෙන් දක්‌නට ලැබිණි.

ෆීනික්‌ස්‌ මෝල් සාප්පු සංකීර්ණයේ බිම් මහලෙහි එළිමහන ඉන්දීය ජාතිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී තිබිණි. එහි තිබූ පීඨිකාව හිස්‌ය. අවට දක්‌නට ලැබුණේ ලක්‌සල, සිද්ධාලේප, අත්යන්ත්‍ර, රෙදිපිළි, දළදා මාලිගාවේ ප්‍රදර්ශන කුටියක්‌ ආදී වශයෙන් වූ ශ්‍රී ලාංකීය ප්‍රදර්ශන කුටිය.

"ගෙට්‌ ශ්‍රී ලන්කන්ඩ්" වැඩ සටහන ඇරඹුණු පස, ඉන්දීය ජාතිකයන් තුළ වූයේ දැඩි උනන්දුවකි. වේදිකාවේ සිටින ඉන්දීය නිවේදකයා හා නිවේදිකාව ශ්‍රී ලංකාව පිළිබඳ අසන පැනයන්ට ඔවුන් පිළිතුරු ලබාදෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව ගැන ඔවුහු තුළ ඇති උනන්දුව විදහා පෑහ. මුම්බායි වලට ගොඩ බට තැන් හි සිට අප තුළ වූ කනස්‌සලු හැඟීම පහව යන්නට හේතුවිය.

බෙර හඬ හා නර්තනය මැද ශ්‍රී ලංකාවෙන් පැමිණි ප්‍රධාන අමුත්තන් ප්‍රධාන පීඨිකාවට පැමිණියේය. ඒ අතර සංචාරක තානාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ හා ක්‍රිකට්‌ ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්‌ සමඟිනි. ඔවුන් සමඟ නාමල් රාජපක්‍ෂ, වසන්ත සේනානායක, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ද ලක්‌සල සභාපති අනිල් කොස්‌වත්ත, එයාර්ලංකා සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ නියෝජිතායතනයේ සභාපති විලී ගමගේ යන මහත්වරුද ඒ හා විය.

මේ වැඩසටහන මෙහෙයවීමේ හා ඊට නායකත්වය දුන් ක්‍රියාකාරීව ඊට සම්බන්ධව සිටි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න ඒ සියල්ලෝම පිළිගෙන විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන ගියේය.

වේදිකාව මත දිගහැරෙන බුධවත්ත රංගායතනයේ නැටුම් ගැයුම් ද, ලක්‌සල ආයතනයෙන් ඉදිරිපත් කළ කැටයම් ශිල්පීන්ගේ දක්‍ෂතාද, සිද්ධාලේප ආයතනයේ ආයුර්වේද පාද සම්බාහනයන්ද (FOOT SAP), ප්‍රසන්න බතික්‌ ගෙන ආ බතික්‌ විලාසිතාද පැමිණ සිටි පිරිස්‌ අමන්දානන්දයටත්, විමතියටත් පත්කළ බව පෙනෙන්නට තිබිණි.

ගෙට්‌ ශ්‍රී ලන්කන්ඩ් වැඩසටහන එදින රාත්‍රිය "ශ්‍රී ලංකා රාත්‍රිය" (SRI LANKAN NIGHT) ලෙස උත්කර්ෂවත් ලෙසින් මුම්බායි හි තා- ලෑන්ඩ්ස්‌ එන්ච් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. එය ශ්‍රී ලාංකීය සංස්‌කෘතික අනන්‍යතාව විදහා පාන සොඳුරු රාත්‍රියක්‌ බවට පත්විණි.

මේ හා සමගාමීව පැවැති සමුළු දෙකේදී ද ශ්‍රී ලංකා සංචරණයේ ප්‍රවර්ධනය සඳහා වූ අවස්‌ථාවන් රැසක්‌ උදාකර ගැනීමට සමත්විය. අප සමඟ කතාබහ කළ බොහෝ ඉන්දියානු ජාතිකයන් (විවිධ ප්‍රාන්තයන්හි වෙසෙන පිරිස්‌ද ඊට සහභාගි විය) මේ වැඩසටහන් මාලාව ගැන ඉමහත් උෙද්‍යාaගයකින් කතාබහ කළේය. ෆීනික්‌ස්‌ මොල්හි පැවැති අවසන් දින වැඩසටහනේදී මුණ ගැසුණු ඉන්දියානු ජාතික "අම්රිත්" හා ඔහුගේ පෙම්වතිය කීවේ, "ශ්‍රී ලංකාව ගැන දැනගෙන හිටියේ ටිකයි... ඇවිදලා බලන්න බොහෝ දේ තිබෙන බව දැනගත්තේ මේ වැඩ සටහන්වලින් පස්‌සේ" යනුවෙනි. ඔවුහු ඒ දින තුනේම ෆීනික්‌ස්‌ මෝල් හි ගෙට්‌ ශ්‍රී ලන්කන්ඩ් වැඩසටහනට සහභාගි වීමට පැමිණි බව කීවෝය.

වැඩසටහන අවසන්ව නැවත ඒමට සූදානම්වන දින තෙක්‌ම ඉන්දියාවේ රැදී මෙරට ව්‍යාපාරිකයින්ගේ සොම්නස පිරි මුහුණු නොවෙනස්‌ව පැවැතීමම එහි සාර්ථකත්වය විදහා පාන්නාක්‌ විය.

උදේශ සජීව ගමගේ

0 comments: