Pages

Tuesday, September 1, 2015

ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන්වීම සොයන්න... වීරෝදාර රණවිරුවන් පාවා නොදෙන්න....

වසර හයකට පෙරාතුව එනම් 2009 මැයි මාසයේ වීරෝදාර රණවිරුවන් පරාජය කළේ බලවත් යෑයි කියන විදෙස්‌ රටවල් පවා තහනමට ලක්‌ කළ භයානක, කුරිරු ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ බව කිසිවෙකුටත් නැවත නැවතත් සිහිපත් කළ යුතු නැත.

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් පාරක තොටක දකින විට රට "මිලිටෙරීකරණය" වනවායෑයි බෙරිහන් දෙන අය පවා බයක්‌ සැකක්‌ නැතිව පාරක තොටක ඇවිද යන්නේ ඒ අනුහසිනි. දේශපාලනිකව පිල් බෙදී මරාගන්නට හෝ රටක්‌ ඉතිsරිව තිබෙන්නේ ද ඒ නිසාය. හමුදාවේ ක්‍රියාන්විත මෙහෙයුම මෙන්ම, බුද්ධි අංශ මෙහෙයුම් ද ඊට හේතු වූ බව මිලිටෙරීකරණය "ඇලජික්‌" පිරිස අවබෝධ කරගත යුතුය. 

එහෙත් මේ වනවිට නොවිය යුත්තක්‌ සිදුවෙමින් පවතින බව සටහන් කරන්නට සිදුව ඇත්තේ කම්පාවෙනි. ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අපමණ මෙහෙයක්‌ ඉටු කළ බුද්ධි බළකා නිලධාරීන් පිරිසක්‌ මේ වනවිට රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගැනීම එම සිදුවීමයි. මේ අත්අඩංගුවට ගැනීමේ මූලික හේතුව වන්නේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ අතුරුදන්වීමයි.

මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ කොටි බුද්ධි අංශ ක්‍රියාකාරීන් දෙදෙනකු වූ තවේන්ද්‍රන් හා ශිවාය. ඊළඟට බුද්ධි බළකාය වෙනුවෙන් විශිෂ්ට සේවාවක්‌ ඉටු කරමින් සිට විශ්‍රාම ගිය සැරයන්වරයකු අත්අඩංගුවට ගන්නේය. හෙතෙම හමුදා සේවයේ වසර තිහක කාලයක්‌ සම්පූර්ණ කර තිබිණි.

එමෙන්ම වන්නි මානුෂීය මෙහෙයුමේදීත් ඉන් පසුවත් බුද්ධි අංශය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක්‌ කළ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු සහ තවත් නිලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගන්නේය. යුද්ධය අවසාන කාලයේ මෙන්ම පසු කාලීනවත් මෙරට කොටි ක්‍රියාකාරකම් හා ජාත්‍යන්තර කොටි ජාලයට එරෙහිව හමුදා බුද්ධි බළකාය ආරම්භ කළ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමේ සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටු කළේ ඉහත සඳහන් කළ ලුතිනන් කර්නල්වරු දෙදෙනාය. මේ සියල්ලම මඟහැරෙන්නේ කොටි බුද්ධි ජාලයේ තවේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමත් සමඟය. 

එහිදි හෙළිවන කරුණු අනුව තවේන්ද්‍රන්ගේ සබඳතා ජාලය විශාල එකකි. එම තොරතුරු නිසි ලෙස බුද්ධි අංශ විසින් කළමනාකරණය කර ගතහොත් මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ගත හැකි පියවර රැසකි. සිදුවෙමින් පවතින්නේද එයමය. එක්‌නැලිගෙඩ පමණක්‌ නොව අතුරුදන් වන ඕනෑම අයකු පිළිsබඳව සොයා බැලිය යුතුය යන්න අපිදු කියමු. එහෙත් සිදුවෙමින් පවතින දේ සොයා යැමකට වඩා විනාශ කරගෙන යැමක්‌ නම් ඵලක්‌ නැත. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ එවැනි ක්‍රියාවලියකි. සොයා යද්දී හමුවන දේ අනාවරණය කිරීම මීටත් වඩා විධිමත් ආකාරයට සිදුවිය යුත්තක්‌ බව අපි විශ්වාස කරමු. සරලව කිවහොත් තවමත් එක්‌නැලිගොඩ ගැන පරීක්‍ෂණ පැවැත්වෙන වටපිටාවකත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මහඟු මෙහෙවරක්‌ කළ බුද්ධි නිලධාරීන් පිරිසක්‌ ගැන හෙළිදරවු කරනවාට වඩා සියතින් ගෙලසිඳ ගැනීම වඩා යහපත් බව අපි විශ්වාස කරමු.

ලොව කිනම් රටක වුව බුද්ධි අංශ ක්‍රියාකාරකම් (ඔත්තු සේවා) ලෙහෙසියෙන් අනාවරණය කරන්නේ නැත. මෙහෙයුමේදී කවර පාර්ශවයක්‌ අගතියට පත්වුවද සමස්‌ත ක්‍රියාවලිය ඒ රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කොතරම් වැදගත්කමක්‌ උසුලයිද යන්න සළකා බැලේ. බුද්ධි අංශයක රහස්‍ය කාර්යයත්, අරමුණු හා ක්‍රමෝපාය, බුද්ධි නිලධාරින්ගේ ක්‍රියාකාරකම්, මූලාශ්‍ර, ක්‍රමවේදයන් සියල්ල සාමාන්‍යයෙන් තිබෙන්නේ සැඟවුණු පසුබිමකය. මේවනවිට ඔත්තු සේවාවක භාවිත කරන මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳව ඇති සදාචාරාත්මක භාවය පිssළිබඳව විවිධ මතිමතාන්තර ගොඩනැගුනද අවසාන ජයග්‍රහණයේදි කිසිදු රටක්‌, සිය මෙහෙයුම් මේ ක්‍රියාවලියෙන් බැහැරව සිදු නොකරන බවක්‌ පෙනී යයි. සී.අයි.ඒ. සංවිධානය මේ ක්‍රමවේදය පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරයි. ලොව සියලුම බුද්ධි අංශ එය පිළිගෙන තිබේ.

ඒ අර්ථයෙන් ගත් කල බුද්ධි අංශ නිලධාරීන් කිසිවකුත් "කුලී මිනීමරුවන්' නොවේ. ඔවුන් සිය "මෙහෙවර" (එය රැකියාවක්‌ ලෙස අපි නොසලකමු) ඉටු කරන්නේ දිවි පරදුවට තබමිනි. පොඩ්ඩ ගැස්‌සුනොත් වන්දි ගෙවන්නට වන්නේ ජීවිතයෙන්ම බව බුද්ධි අංශ නිලධාරිහු දනිති. වෙනත් රටවල බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව අනාවරණය කරන්නේ නැත. ඔවුන්ගේ දිවිය පුරාම විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදේ.

කරුමෙට මෙන් අපේ රටේ මිලේනියම් සිටි බුද්ධි අංශ සිද්ධියේ සිට වර්තමානය දක්‌වාම ඇසෙන්නේ පාවාදීම් පමණය.

අප විශ්වාස කරන්නේ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ ඩයස්‌පෝරාවේ ඉතිරිව සිටින කොටි සාමාජිකයින්ට අවශ්‍යම වූ දේ බවය.

මේ විනාශයේ තරම තේරුම් ගැනීමට, අවබෝධ කරගැනීමට උත්සාහ දැරීම, කිසිවෙකුගේa නොව ජාතියේ වාසනාවක්‌ බව සඳහන් කරමු.

http://www.divaina.com/2015/09/01/editor.html

Pic Source

0 comments: