Pages

Thursday, September 3, 2015

මත්තල ''වී'' ගොඩබෑම - වැරැද්දක්‌ වසන්නට කරන වරද

මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා නොව ''වී'' ගොඩබෑමට රජය තීරණය කර ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගේ අත්සන සහිත ලිපියක්‌ද මත්තල ගුවන් තොටුපළට එවා තිබේ. කාගෝ ගබඩාවේ වී ගබඩා කිරීම සඳහා ඒ ගැන සොයා බැලීමට නිලධාරීන් පිරිසක්‌ද පැමිණ ඇති අතර එම පිරිස ගබඩාවේ ඇති සංවේදී උපකරණ ගලවා ඉවත් කරන්න යෑයි ගුවන් තොටුපළ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

කෙසේ හෝ ඊයේ එම කාගෝ ගබඩා සංකීර්ණයේ ගබඩා කිරීම සඳහා වී තොග ගෙන ආ නමුදු ප්‍රදේශවාසීන් පාර අවහිර කර විරෝධය පළකර තිබේ. පොලිසිය මැදිහත්වී එම වී ගොඩබෑමට ඉඩ ලබාදී තිබේ. ඉන් පසුව යෝධකණ්‌ඩිය සූරියවැව ආදී ප්‍රදේශවල අතිරික්‌ත වී තොග මෙලෙස මත්තල ගබඩා වෙත ගෙනවිත් තිබිණි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට ඉඩ නොදී උද්ඝෝෂණය කරන මේ ප්‍රදේශවාසී පිරිස මත්තල ධාවන පථයේ (Runway) ගම්මිරිස්‌ වේලන ලද අය වියහැකි නොවේ. ඇත්තම කතාව නම් කවර හේතු ඉදිරිපත් කළද මත්තල ගුවන් තොටුපළ වසා දමනවාට බොහෝ දෙනෙක්‌ කැමැති නැති බවය. එහි සේවය කරන පිරිසද වී ගබඩා කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දක්‌වා තිබේ.

ලෝකයේ බොහෝ රටවල අසාර්ථක වූ ගුවන් තොටුපළ රාශියක්‌ තිබේ. ඒ ගැන විවාදයක්‌ නැත. සතුන් ලැග ජරාවාස වූ ගුවන් තොටුපළ බොහෝමයක්‌ කිනම් මොහොතක හෝ ක්‍රියාත්මක මට්‌ටමකට ගෙන ඒමට සූදානමින් තිබේ. ඒ බොහෝමයක්‌ ගුවන් තොටුපළවල් ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වසා දමා ඇති ඒවාය. මත්තල ගුවන් තොට ආරම්භ කළේ 2013 වර්ෂයේදීය. එනම් ඉතාම ආසන්න කාලයකදීය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ ඉදිකර එය වර්ධනීය තලයකට ගෙන ඒම සඳහා තරම් කාලයක්‌ ලැබී නැති බවද පෙනී යන්නකි.

මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් පැන නගින බොහෝ විවේචනාත්මක කාරණා සම්බන්ධයෙන් අපද යම් පමණක එකඟතාවක්‌ දක්‌වන බවද කිව යුතුය. එහෙත් මත්තල වී ගබඩා සංකීර්ණයක්‌ ලෙස යොදා ගැනීමට තරම් සාහසික නොවිය යුතු බව අපේ හැඟීමයි.

මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ රුපියල් කෝටි විස්‌සකට අධික වූ එක්‌ස්‌රේ, ස්‌කෑනින් යන්ත්‍ර, අධිතාක්‌ෂණික ගිනි සංවේදිත උපකරණ රුපියල් කෝටි දෙසීයකට අධික ගොඩනැගිල්ල වී ගබඩා කිරීමට යොදා ගැනීම කොතරම් දුරට සාධාරණ දැයි කල්පනා කළ යුතුය. මෙය දේශපාලනික කාරණයක්‌ (තරහට කරන වැඩක්‌) ලෙස බොහෝ දෙනෙක්‌ අර්ථ ගන්වන්නේද ඒ නිසාය. නව රජය (ජාතික ආණ්‌ඩුව) සම්මුතිවාදය ගැන විශ්වාසය තබා සිටී. එමෙන්ම දුර දැක්‌මෙන් සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද පෙනේ. එසේ නම් කවරකු විසින් හෝ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්‌ ''ගබඩාවක්‌'' බවට හරවනවාට වඩා එය අවශ්‍ය ආකාරයට සංවර්ධනය කරන ආකාරය ගැන විධිමත් වැඩපිළිවෙලක්‌ ඉදිරිපත් කළ යුතු බව අපේ විශ්වාසයයි. A 380 වර්ගයේ විශාල ගුවන් යානයක්‌ පහසුවෙන් ගොඩබැස්‌සවීමේ හැකියාව මත්තල ගුවන්තොටුපළ සතුය. කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව යම් කාලගුණික හා තාක්‌ෂණික බාධාවන් මතුවන විට කටුනායකට පැමිණෙන ගුවන් යානා හරවා යෑව්වේ මදුරාසියටය. (චෙන්නායි) පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපළ නිසා එවැනි අවස්‌ථාවලදී එවැනි අවස්‌ථා මඟහැර තිබිණි.

ගුවන් තොටුපළ ස්‌ථාපනය කිරීමෙන් පසු 2013 සිට වර්තමානය දක්‌වා ජාත්‍යන්තර ගුවන් සේවාවන් මත්තල භාවිත නොකළ බව ඇත්තකි. එහෙත් ඊට බලපෑ හේතු හඳුනා ගනිමින් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා සැපයිය හැකි වෙනත් සේවා (එනම් ඉන්ධන සැපයීම්, භාණ්‌ඩ සේවා වැනි දැ) ගැන අධ්‍යයනය කරමින් ඊට පිළියම් යොදනවා විනා අධික පිරිවැයක්‌ දරා තැනූ ගුවන් තොටක්‌ ගබඩා කාමර සමූහයක්‌ බවට පත්කිරීම කොතරම් සාධාරණද යන්න අදාළ බලධාරීන් කල්පනා කළ යුතුය. වැරැද්දක්‌ සිදුවී ඇත්නම් ඊට නිසි පිළියම් යොදනවා හැරෙන්නට ජාතික නොව අන්තර්ජාතික අත්වැරැද්දක්‌ අත්හදා බලන්නට යැම සුදුසු නැති බව අපේ හැඟීමයි.

http://www.divaina.com/2015/09/03/editor.html

Pic Source

0 comments: