Pages

Tuesday, September 29, 2015

රියලිටි අහස් කූරු - ඩුප්ලිකේට්‌ එකේ ඩුප්ලිකේට්‌

'යස ලෙසින් පෙනී සිටිමින් 'සුබ' දුන් යස වැඩක්‌ ගැන ඊයේ 'දිවයින- සිව්දෙස්‌ ප්‍රාදේශීය මුද්‍රණයේ සඳහන් විය. ඒ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්‌ විසින් ගායන ලොවේ 'සුපිරි තරුවක්‌' බවට පත්කරන ලද ජනප්‍රිය චරිතයක්‌ ලෙසින් පෙනී සිටිමින් අත මිටද සොයාගත්, ගත සිතද පිනවාගත් නොම්මර එකේ 'අන්ඩපාලයෙක්‌' ගැනය. අදාළ රියෑලිටි තරුවේ හැඩරුවට අතිශයින් සමාන මේ විවාහක කුලී රථ රියදුරා එකී රියෑලිටි තරුව ලෙසින් අමු අමුවේ පෙනී සිටිමින් තරුණියන් රවටා ඇත. සංගීත සංදර්ශනවලට පැමිණෙන බව පවසමින් අත්තිකාරම් ලෙසින් මුදල් ලබාගෙන ඇත.

'සුබ' නම් දොරටුපාලයා 'යස්‌ හෙවත් යසලාලකතිස්‌ස රජුගේ හිස ගසා දැමූ අතර, එකී 'සුබ'ගේ භූමිකාවට වර්තමානයේ පණ දුන් මෙකී කුලී රථ රියදුරා විසින් පර පණ නැසුවේ නැති වුවද, කර ඇත්තේ එම රියෑලිටි තරුවට බඩ කපා ගැනීමට තරම් දෑය. 

අවසානයේ 'ඔරිජිනල්' රියෑලිටි තරුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මීගමුව පොලිසිය විසින් උපායක්‌ යොදා 'ඩුප්ලිකේට්‌' රියෑලිටි තරුව අත්අඩංගුවට ගන්නේය.

මෙරට විද්යුත් මාධ්‍ය භාවිතයේ 'අහස්‌ ගුණ්‌ඩුව' නම් මෙකී රියෑලිටි තරුය. රටටම පෙනෙන්නට එළිය විහිදාගෙන අහසට පැනනැග 'ඩුම්' හඬින් පුපුරා යන මෙකී එක්‌ අහස්‌ ගුණ්‌ඩුවක්‌ බිමට වැටෙන විට ඒ මාධ්‍ය ආයතනය විසින් තවත් අහස්‌ ගුණ්‌ඩුවක්‌ උඩ යවයි. ඒ අහස්‌ ගුණ්‌ඩුව උඩට යන විට කලින් යෑවූ අහස්‌ ගුණ්‌ඩුව වැටුණු තැනක්‌ සොයාගැනීමටද නොහැකිය. දෘශ්‍ය මාධ්‍ය විසින් හරි හරියට අහස්‌ ගුණ්‌ඩු යවන බැවින් අහස ඒවායෙන් හිස්‌ නැත. මෙය දැන් එකම ගුවන් වෙඩි සංදර්ශනයකි. අර ස්‌ටාර්... මේ ස්‌ටාර්... ලෙසින් විහිදෙන මේ එළි දෙස බලා සිටින සමාජයේ ඇස්‌ නිලංකාර වී ඇත. එවන් ඇස්‌වලට හරි වැරැද්ද, ඇත්ත බොරුව වෙන්කර දැකගැනීමට නොහැකිය. රියෑලිටි තරුවක්‌ ලෙසින් පෙනී සිටිමින් සමාජය අන්දවන්නට මෙකී වංචනිකයන්ට හැකිවන්නේ එබැවිනි.

රියෑලිටි තරු මවන මාධ්‍ය විසින් එකී ගායකයන්, තරුණියන්ගේ සිහින කුමාරවරු බවට පත්කරයි. එකී තරුණියෝ මෙවන් තරු ඉදිරියේ 'මෙරු' බවට පත්වෙති. මෙකී මෙරුන්ට හොරුන් හඳුනාගැනීමට කිනම් නම් ප්‍රඥාවක්‌ද? රියෑලිටි තරුවක රුවට සමාන මේ කුලී රථ රියෑදුරාට තරුණියන් සිය යහනට කැඳවන්නට හැකිවන්නේ මෙබැවිනි. යහමින් මුදල් ගරන්නට හැකිවන්නේ මෙබැවිනි. තාලයට අත්පුඩියක්‌ ගසාගැනීමට නොහැකි එකාටත් සුපිරි ගායන තරුවක්‌ තීරණය කිරීමේ 'එස්‌.එම්.එස්‌. ප්‍රජාතන්ත්‍රවාදයක්‌' හිමි රටේ සමාන රූපය විකිණීමේ අයිතිය 'සුබ' කෙනෙකුට නැතිවන්නේ කොහොමදැයි කෙනෙකු ප්‍රශ්න කරයි නම් විටෙක එය වැරදියි කියන්නටද නොහැකිය.

අපූරුම දේ එයද නොවේ. 

සැබැවින්ම රියෑලිටි තරුවක්‌ යනු 'ඩුප්ලිකේට්‌' එකකි. ඔහු හෝ ඇය විසින් ඔටුණු පැළඳීම සඳහාද යොදාගන්නේ අනුන්ගේ ගීතයකි. අවසානයේ ඔරිජිනල් ගායකයාටද නැති 'මාර්කට්‌' එකක්‌ හදාගන්නා එකී 'අහස්‌ ගුණ්‌ඩුව' බිමට වැටීමට ප්‍රථම ඔරිජිනල් ගායකයා මෙන් කිහිප ගුණයකට ඔහුගේ ගීතම විකුණන්නේය. ඔරිජිනල් ගායකයා සුසුම් හෙළමින් බලා සිටින්නේය. අහේතු කාලයේ හැටි එසේය. ඩුප්ලිකේට්‌ එකට ඔරිජිනල් එකට වඩා වටිනාකමක්‌ ලැබෙන්නේය. නමුත් දෛවයේ සරදමකි. දැන් රියෑලිටි තරු නමැති 'ඩුප්ලිකේට්‌' එකට තමන්ගේ 'ඩුප්ලිකේට්‌' එකක්‌ බිහිවීමේ වේදනාව දැනෙන්නට වී ඇත්තේය. රියෑලිටි ෂෝ වලින් ප්‍රඥාව මොටකළ සමාජය ඩුප්ලිකේට්‌ එකේ ඩුප්ලිකේට්‌ එකටද රැවටෙන්නේය.

http://www.divaina.com/2015/09/29/editor.html

Pic Source

0 comments: