Pages

Saturday, September 12, 2015

මාවයි - විග්නේෂ් කුල ගැටුම

දෙමළ සන්ධානයේ නායකයන් පැතිවලට බෙදී බැණ අඬ ගසා ගැනීම තවම නිමාවී නැත. ඊළාම් වුවමනාව වෙනුවෙන් දෙමළ ජනවර්ගයේ නායකයන් දේශපාලනය කරන ලද්දේ අධිරාජ්‍යවාදී සමයේ සිටය. ඒ සියල්ලෙන්ම, තමන්ට හිමි නැති සිංහලයන්ට සපුරා හිමිකමක්‌ ඇති දේශය දෙකඩ කරන්නට උත්සාහ කරන අතරේම ඔවුනොවුන් අතරේ කුලල් කා ගැනීම් සිරිත් පරිදි සිදු විය. අද වන විට ඊලාම්වාදීන් සහ එන්ජීඕකරුවන් පෙන්නුම් කරන ශුද්ධවූ දෙමළ එකමුතුවක්‌ කිසි දිනක තිබී නැත. දෙමළ සමාජයේ බෙදුම් ගතිකය සිංහල සමාජයට වඩා අතිශයින් ඉහළය. සිංහල සමාජයේ සෑම දෙයක්‌ම කුල කෝවට දමා මනින සිංහල විරෝධීන්, දෙමළ සමාජයේ පවතින අතිශය දරුණු කුල බේදය ගැන කතා නොකරති. එක්‌කෝ කතා නොකර බැරි නිසා අඩුවෙන් කතා කරති. එසේම සිංහල සමාජයේ දේශපාලන හැලහැප්පිලි යන්තම් මතු වුව ද වාර්තා වෙතත් දෙමළ සමාජයේ මහා දේශපාලන හැප්පිලි මිසක බැණ අඬ ගැසීම් වාර්තා වන්නේ ද නැති තරම්ය. 

දෙමළ සන්ධානය යනු ප්‍රභාකරන්ගේ තුවක්‌කුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ විදේශයන්හිදී සාධාරණ බව මවා දුන් ගැත්තන් පිරිසක්‌ මිස අනෙකක්‌ නොවේ. ප්‍රභාකරන්ගේ තුවක්‌කු කට ඔවුන්ගේ කට පිටුපසින් නිතරම රැඳී තිබුණේය. මෙම බලහත්කාරකම ඔවුන් තම වාසියට යොදා ගත්තේය. යුද බිමේ දෙමළ ත්‍රස්‌තවාදීන් ජීවිතය, උණ්‌ඩයට හෝ සයනයිඩ් කරලට උකස්‌ කර සටන් වදින විට ඒ පිහිටෙන් දෙමළ නායකයන් කොළඹ සිට ජාත්‍යන්තරයේ සුරතලුන් ලෙස සැපවත් ජීවිත ගත කළේය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ සරසවිවල මැනවින් ඉගෙන ගත්තේය. ඒ සමගම එල්ටීටීඊය තමනට අවශ්‍ය ආකාරයෙන් පාවිච්චි කරන්නට ද ඔවුන් දක්‌ෂ වූහ. මේ සඳහා වන හොඳ උදාහරණයක්‌ පසුගිය මහ මැතිවරණ සමයේදී යාපනයෙන් අසන්නට ලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදයේ සටන්කරුවෝ නමැති පක්‌ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගේ රැස්‌වීමක දී ඔවුන්ගේ අපේක්‌ෂකයකු නොවුණ ද ප්‍රධාන මෙහෙයුම්කරුවකු වූ කන්දසාමි නායිදු දෙමළ සමාජයෙන් ප්‍රශ්නයක්‌ විමසීය. 'පොඩි උණක්‌, හිසරදයක්‌ ඇති වුණත් මේ දෙමළ සන්ධාන නායකයන් දුවන්නේ ඉන්දියාවටයි. ඒ අයගේ පවුලේ කෙනෙක්‌ අසනීප වුණත් එහෙමයි. එල්ටීටීඊයේ අවසාන කාලයේදී මේ අය මොකද කළේ. ඒ අයට ඉන්දියාවට ගිහිල්ලා බලපෑම් කරලා එල්ටීටීඊ නායකයන් බේරා ගන්න බැරි වුණේ ඇයි ..? ඔවුන් ඒ මොහොතේ කළේ ඉන්දියාවේ විදේශ ලේකම් ක්‍රිෂ්ණ මෙනන් මහත්තයාට ලියුමක්‌ යවන එක විතරයි. මෙතැන තමයි, පාවාදීම වුණේ. මහින්ද මහත්තයා රටේ නායකයා විදිහට යුද්ධ කළා. අනෙක්‌ නායකයන්ට කරන්න බැරි වෙච්ච දේ හරියට කළා. ඒකේ කිසිම වැරැද්දක්‌ ඒ පැත්තෙන් බැලූවොත් නැහැ. දෙමළ සන්ධානයේ නායකයෝ එහෙමද කළේ..? ඒ අය බැලුවේ ප්‍රභාකරන්ගෙන් පස්‌සේ ඔවුන් තනියෙන් නායකත්වයට පත් වෙන්නේ කොහොමද කියලයි. ඔවුන් එකට ඉඳගෙන ප්‍රභාකරන්ගේ මරණය සහ එල්ටීටීඊයේ විනාශය ප්‍රාර්ථනා කළා. 

මෙසේ දෙබිඩි ජීවිතයක්‌ ගත කරන ලද දෙමළ සන්ධාන නායකයන් තමන්ගේම කියා දේශපාලන ජීවිතයක්‌ පටන් ගන්නේ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුවය. ඉන් පසු ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගන්නටය. උතුරු පළාත් සභාව සඳහා මැතිවරණය පවත්වන ලෙස බලපෑම්කාරී තත්ත්වයක්‌ දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදීන් විසින් රාජපක්‌ෂ රජයට එල්ල කළහ. උතුරට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන ලෙස ඉල්ලා කරන ලද එම බලපෑම අවසානයේ දී නතර වූයේ, හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේශ්වරන්, දේශපාලනයට කැඳවාගෙන ඒම තුළය. ඒ අතරේම දෙමළ දේශපාලනයේ දිගටම රැඳී සිටි මාවයි සේනාධිරාජා තුළ ද මහ ඇමැති සිහිනය රැඳී තිබුණි. නමුත් අවසානයේ මහ ඇමැති පුටුව සඳහා හිමිකම ලැබුණේ, විග්නේශ්වරන්ටය. එකිනෙකාගේ අටෝරාශියක්‌ ගැටුම් මැද දිව යන දෙමළ සන්ධාන දේශපාලනයට තව අලුත් ප්‍රශ්නයක්‌ ලියලා ආවේ එසේය. ඉන් පසු මාවයි සේනාධිරාජා වෙත දෙමළ සන්ධානයේ නායකත්වය ලැබීම තුළ විග්නේශ්වරන්ගේ දේශපාලනය මහ ඇමැති කාමරයට පමණක්‌ සීමා වන්නට පටන් ගත්තේය. පසුගිය කාලයේ පටන්ම දෙමළ සන්ධානය නියෝජනය කරන පක්‌ෂ අතර ගැටුම් නිර්මාණය වෙමින් පැවතුණි. ඉලංකෙයි තමිල් අරසු කච්චි සඳහා දෙමළ සන්ධානය තුළ ප්‍රධාන තැනක්‌ ලැබීම සිදුවිය යුත්තක්‌ වුවත් සන්ධානයේ ප්‍රධාන පක්‌ෂය වනවාට එහා ගිය ආධිපත්‍යයක්‌ එමගින් ප්‍රකට කිරීම සෙසු පක්‌ෂ සහ ඔවුන් අතර නිරන්තර ගැටුමට හේතු වී තිබේ. 

පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් සහ දෙමළ සන්ධානය අතර පැවැති සාකච්ඡාව සඳහා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් සිය විරෝධය ආර්. සම්බන්ධන් වෙත එල්ල කර තිබුණි. මෙවැනි ගැටුම් සුලබ වන අතරේ, පසුගිය මහ මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි අභ්‍යන්තරයේ ප්‍රධාන ගැටුමක්‌ නිර්මාණය විය. උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් තුළ ද මහ මැතිවරණය සදහා ඉදිරිපත් වීමේ අපේක්‌ෂාවක්‌ තිබී ඇති අතර ඒ සදහා අවස්‌ථාව නොලැබීමත් සමග මහ මැතිවරණයේදී දෙමළ සන්ධානය වෙනුවෙන් වේදිකාවට ගොඩවීම විග්නේශ්වරන් විසින් මඟ හැරියේය. විග්නේශ්වරන් පාර්ලිමේන්තුවට පත්වීම වැළැක්‌වීමේ වුවමනාවක්‌ සම්පන්දන්ට මාවයිට, සේම සුමන්තිරන්ට ද තිබූ බව පැවැසේ. යම් හෙයකින් විග්නේෂ්වරන් මහ මැතිවරණයට තරග කළේ නම් ඔහුට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු කණ්‌ඩායම තුළ විශේෂ ස්‌ථානයක්‌ ලැබීමට ඉඩ තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු ලෙස සේවය කිරීම නිසා ලැබී තිබෙන අත්දැකීම් සහ ඒ තුළ නිර්මාණය වී තිබෙන සමාජ තත්ත්වය විසින් විග්නේශ්වරන් වෙත එවැනි තත්ත්වයක්‌ ළඟාවීම පොදුවේ දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු අයිතිකරුවන් වී සිටින පිරිස, රිසි නොවූ බව පෙනේ. විශේෂයෙන්ම නීතිඥයෙක්‌ වන සුමන්දිරන් ඒ සදහා කැමැත්තක්‌ නොදැක්‌ වූ බවට ද රාවයක්‌ තිබේ. 

පාර්ලිමේන්තු ආසන දිනාගත් වන්නි මැතිවරණ කොට්‌ඨාසයේ මන්ත්‍රීවරුන් පිළිගැනීමේ උත්සවයක්‌ වවුනියාව ඉලංගෙයි තමිල් අරසු කච්චි කාර්යාලයේදී පැවැති අවස්‌ථාවේ සිය විග්නේශ්වරන් විරෝධය මාවයි විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. 

සේනාධිරාජා විසින් එහිදී පැවැසුවේ නවනීදන්පිල්ලේ මහත්මිය අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සලයේ සේවය කරන අවස්‌ථාවේ යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස තම පක්‌ෂය ඉල්ලීම් කොට ඇති අතර අන්තර්ජාතික රාජ්‍යයන්ගේ මැදිහත්වීම මත යුද අපරාධ සම්බන්ධයෙන් වන වාර්තාවක්‌ සකස්‌ කිරීම සිදුකොට අදාළ වාර්තාව ඉදිරි මානව හිමිකම් සැසි වාරයන්හිදී අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සලයේදී එළිදැක්‌වීමට නියමිත බවයි. අදාළ වාර්තාව පරීක්‌ෂා කොට ඉදිරි පියවර ගැනීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි කටයුතු කරන අතර නැවත යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙසට ජගත් මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම, විග්නේශ්වරන් විසින් අවබෝධයක්‌ නොමැතිව සිදු කරන ලද ක්‍රියාවක්‌ බවය. පක්‌ෂයේ ස්‌ථාවරයට වෙනස්‌ මතයක්‌ විග්නේශ්වරන් විසින් ඉදිරිපත් කරන ලද බව පවසමින් සේනාධිරාජා විසින් ඔහුට දෝෂාරෝපණය කරන ලද මුත්, මාවයි - විග්නේශ්වරන් පැරණි ගැටුම ඒ තුළ සඟවා පැවතුණි. 

පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විග්නේශ්වරන් සහභාගි නොවීමද ගැටලු සහගත තත්ත්වයක්‌ උදා කොට ඇති බවත් ඔහුගේ අදාළ ක්‍රියාව හේතුවෙන් ඔහු උතුරේ මහ ඇමැති ධුරයට පත් කළ දෙමළ ජාතික සන්ධාන නායකයන් විග්නේශ්වරන් කෙරෙහි අප්‍රසාදයට පත්ව සිටින බව ද මාවයි මෙහිදී කියා සිටියේය. 

දෙමළ සන්ධානයේ පක්‌ෂ අතර නිරන්තරයෙන් පවතින ගැටුම්වලට අමතරව ඉලංගෙයි තමිල් අරසු කච්චිය තුළ ද ගැටුම් මේවන විට නිර්මාණය වී තිබේ. ඒ ගැන දැනට තිබෙන පුවත්වලින් පමණක්‌ අනාගත වාක්‍ය පවසන්නට නොහැකිය.

සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර
http://www.divaina.com/2015/09/13/politics02.html

Pic Source

0 comments: