Pages

Tuesday, September 22, 2015

2020 වසරේදී කොළඹ නගරයේ රථවාහන ධාවන වේගය 3km/h - කොළඹ ට්‍රැෆික්‌ මෙන්න

මාර්ග තදබදයට නිසි පියවර නොගත්තොත් 2020 වසරේදී කොළඹ නගරයේ රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර් තුනක්‌ වේවි...... පොලිසියට දොස්‌ කියලා වැඩක්‌ නැහැ..... පොලිස්‌ නිලධාරීන් අව්වේ වැස්‌සේ පැය විසි හතරම රාජකාරී කරනවා... අපි එක කොටසක්‌ විතරයි.... මහාමාර්ග සම්බන්ධ බලධාරීන් තීරණ අරගෙන ක්‍රියාත්මක විය යුතුයි.....

මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතාය.

පාරට බැස්‌සහම කීයට එන්න වේදැයි නොදන්නා තරමට අද වන විට මහා මාර්ගයේ තදබදය වැඩිවී තිබේ. මේ නිසා දිනපතා රටට අහිමිවන මිනිස්‌ පැය ගණන ලක්‌ෂ ගණනකි.

කෙසේ වෙතත් රටේ ජනතාව බහුතරයක්‌ සිතන්නේ පොලිසියේ අත්තනෝමතික කටයුතු මේ තදබදයට හේතුව බවය. රුපියල් කෝටි ගණන් වැයකර සවිකර ඇති ස්‌වයංක්‍රිය විදුලි සංඥා පද්ධති ක්‍රියා විරහිත කර කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ නොමැතිව සිත්සේ වාහන එහා මෙහා යවන ඇතැම් පොලිස්‌ නිලධාරීන් මේ මාර්ග තදබදයට හේතුව බව බොහෝ දෙනාගේ අදහසයි.

බේස්‌ලයින් මාර්ගයේ දෙමටගොඩ සිට බොරැල්ල පසුකරන්නට උදෑසනට පැය භාගයක්‌ හෝ විනාඩි හතලිස්‌ පහක්‌ ගතවේ. කවර මාර්ගයකින් ආවත් බොරැල්ල හරහා යන්නට පැය භාගයක්‌ අඩුම තරමින් වැයවේ.

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ රුපියල් මිලියන හතළිස්‌ පන්දාහක්‌ වැයකරමින් ඉදිකළ කඩුවෙල - කඩවත මාර්ගය සාදා නිමකර සති ගණනාවක්‌ ගතවී යන්තම් පසුගියදා විවෘත කෙරිණි. එම මාර්ගය දින පනහකට අසන්න කාලයක්‌ විවෘත නොකිරීම නිසා රජයට සිදුවූ අදායම් අහිමිවීම රුපියල් ලක්‌ෂ පන්සියයකි. කල්ගතවී හෝ මෙය විවෘත කිරීම නිසා ගාලු පාරේ, හයිලෙවල් පාරේ සහ නුවර පාරේ මාර්ග තදබදය අඩුවනු ඇත.

කොළඹ නගරයේ මාර්ග පවතින්නේ දිනපතා වාහන ලක්‌ෂයක්‌ පමණ ගමන් කිරීමට අවශ්‍ය වන පරිදි වුවත් මේ වන විට දිනකට කොළඹ නගරයට වාහන ලක්‌ෂ දෙකහමාරක්‌ පමණ පැමිණෙන බව පැවසේ. මෙය වාර්ෂිකව විසිපන්දහසකින් පමණ වැඩිවන අතර මාර්ගවල ඉඩ කඩ එලෙසමය.

මෑතකදී රුපියල් මිලියන සිය ගණනක්‌ වැය කර දැවැන්ත මාර්ග සංඥා පද්ධති කොළඹ නගරය පුරා සවිකරන ලදී. මහජන බදු මුදලින් කෝටි ගණන් වැය කර මහාමාර්ගවල මෙසේ සවිකර ඇති මාර්ග සංඥා නිවා දමා පොලිස්‌ නිලධාරීන් අතින් හෝ රිමෝට්‌ කන්ට්‍රොල් මගින් රථවාහන පාලනය වීම බොහෝ ස්‌ථානවල දක්‌නට ලැබේ. අද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදයට ප්‍රධානතම හේතුව ලෙස බොහෝ දෙනා පවසන්නේ පොලීසියේ මේ ක්‍රියාකලාපයයි. වඳුරන්ට දැලි පිහිය දුන්නාක්‌ මෙන් රිමෝට්‌ කන්ට්‍රොලය අතට ගන්නා ඇතැම් පොලිස්‌ නිලධාරීහු එක්‌ පැත්තකට විශාල වෙලාවක්‌ ලබා රථවාහන තදබදය දෙගුණ තෙගුණ කරති. සෑම මාර්ගයකින්ම එන වාහන කොටසින් කොටස යෑවෙන්නේ නම් එක තැනක දැඩි තදබදයක්‌ ඇතිවන්නේ නැත. එහෙත් එක පැත්තකට විනාඩි හත අටක්‌ යවා අනිත් මාර්ගය යවන්නට පටන්ගන්නා විට සිදුවන්නේ සියලු මාර්ග අවහිර වීමය. එක්‌ තැනකින් යෑවෙන වාහන ඊළඟ ස්‌ථානයේ තවත් විශාල වෙලාවක්‌ නවතා තැබේ. මේ පොලිස්‌ නිලධාරීන් අතර නිසි පණිවුඩ හුවමාරුවක්‌ නොමැතිවීම ප්‍රශ්නය බැරෑරුම් කර තිබේ. ඇතැම්විට එක තැනක හෝ දෙතැනක පමණක්‌ තදබදය තිබුණත් සෙසු මාර්ගයේ තදබදය නැත. රථවාහන තදබදය අවම කරන්නට නම් මුල්ම ක්‍රියාමාර්ගය ලෙස පොලිස්‌ නිලධාරීන්ට ලබා දී ඇති රිමෝට්‌ කන්ට්‍රොල් ක්‍රමය සහ මාර්ග සංඥා නිවා දැමීමේ කටයුතු වහාම නවතා දැමිය යුතුය. මෙයට පිළියමක්‌ ලෙස සීසීටීවී කැමරා ඔස්‌සේ දර්ශන ලබාගෙන මධ්‍යගතව පාලනය වන රථවාහන පාලන මෙහෙයුම් මැදිරියක්‌ වහාම කොළඹ නගරයට අවශ්‍ය වේ. එවිට තදබදය අඩු මාර්ගවලට ජනතාව යොමු කළ හැක. එසේම ඒ ඒ මාර්ගයේ තත්වය පෙන්නුම් කෙරෙන දැවැන්ත රූපරාමු සහ තදබදයේ තත්ත්වය ප්‍රදර්ශනය කිරීම හරහා වාහන තදබදය අවම කර ගත හැක. මේවා සඳහා වැඩි වියදමක්‌ද වැය නොවේ.

කෙසේවෙතත් මේ වන විට ඔරුගොඩවත්ත හන්දිය, වැලිකඩ හන්දිය, බොරැල්ල හන්දිය ආදී දැඩි තදබදයක්‌ ඇති ස්‌ථාන සඳහා මේ වන විට ගුවන් පාලම් සවිකරන්නට රජය තීරණය කර තිබේ. බෙහෙවින් මේ ස්‌ථානවල තදබදය අඩුවන්නේ නම් කොළඹ මාර්ග තදබදය අඩුවනු ඇත.

මෑතක සිට පොලිසිය විසින් මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලබයි. යහපත් චේතනාවෙන් එය සිදුකළද එම නිසා සිදුව ඇත්තේ මාර්ග තදබදය තවත් වැඩි වීමය. ඊට හේතුව මහා මාර්ගය මැදට ගන්නා වාහන හෙමින් හෙමින් මංතීරු මාරු නොකර ධාවනය කිරීමය. එම නිසා මේ සඳහා සුදුසු විකල්පයක්‌ පොලිසිය විසින් ගත යුතුව තිබේ. මාර්ග තදබදයට විශාලම දායකත්වය ලබාදෙන ත්‍රීවීල් සහ මෝටර් සයිකල් පාරේ ගමන් කළයුතු ආකාරය සහ ඒවායේ වේගයන් සම්බන්ධයෙන් දැඩි නීති රීති පොලීසිය විසින් පැය 24 පුරාවටම ක්‍රියාත්මක කළ යුතුය. මාර්ග තදබදය මෙන්ම මාර්ග අනතුරු රැසක්‌ වළක්‌වා ගන්නටද එය හේතුවක්‌ වනු ඇත. එසේම එක්‌ පැත්තකට වාහන දෙකක්‌ ගමන් කළ හැකි මාර්ගවල පවා බොහෝවිට ගමන් කරන්නේ එක වාහනයකි. මේ නිසා මේ තත්ත්වයට වහාම පොලීසිය විසඳුම් දිය යුතුය.

ලොව අලුතින්ම වෙළඳපළට එන නවීනතම වාහන රැසක්‌ දින කීපයක්‌ තුළ මෙරට මාර්ගවල දක්‌නට ලැබෙන්නට තරම් ශ්‍රී ලංකාව අද දියුණුය. එහෙත් අපේ රටේ මාර්ග වල වේග සීමා තවමත් පවතින්නේ වසර ගණනාවකට පෙර නියම කරන ලද වේග සීමාවන්ය. මෝටර් රථ සඳහා හෝ ඉහළ වේග සීමා ලබාදීම කාලීන අවශ්‍යතාවකි. එහෙත් පසුගිය කාලය තෙක්‌ පැවති පැයට කිලෝමීටර් 72 වේග සීමාව පැයට කිලෝමීටර් 70 දක්‌වා පසුගියදා අඩු කරන ලදී. ඒ බව දැක්‌වෙන පුවරු පවා මේ වන විට සවිකර අවසානය. ගම්බද මාර්ගවලට, රාත්‍රී කාලයට ලෙස වෙනස්‌ වේග සීමාවන් ලබාදීම කාලෝචිතය. මෙතෙක්‌ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පරිදි රථවාහන ධාවනය වූ මාර්ගවල මෙතෙක්‌ පැවති කඩ ඉර වෙනුවට තනි ඉර හෝ ඩබල් ඉර මේවනවිට ඇඳ තිබේ. ඒ මාර්ගවල අඩියෙන් අඩියට පොලීසිය යොදා ඉර කැපුවා යෑයි පවසමින් දඩ කොළ ලබාදීම සිදුකරයි. මහාමාර්ගය දෙපැත්තට වෙන්කර ඇති මහාමාර්ගවල පවා තනි ඉර ඇඳ එය කැපූ බව පවසමින් දඩ කොළ ලබාදීම සිදු කරයි.

කුඩා මාර්ගවල වාහන ධාවනය කරද්දී තවත් වාහනයකට ඉඩ දෙන්නට වන විට මැද ඉර කැපේ. ඇතැම්විට පාරේ වාහනයක්‌ අයිනේ නවතා තිබියදී කහ ඉර කැපීමෙන් තොරව වාහන ඉස්‌සර කළ නොහැක. බස්‌රථ, බස්‌නැවතුම්පොළවල නවතද්දී ඒවා ඉස්‌සර කරන විට ඉර කැපෙන වාහනවලට පොලීසිය දඩ නියම කරයි. අනතුරක්‌ වළක්‌වාගන්නට ඉර කැපූ විට දඩ නියම කරන අවස්‌ථා බොහෝය. රියදුරන්ට නොකළ වැරදිවලට බලහත්කාරයෙන් හෝ දඩ කොළ ලබාදීම තුලින් අද පොලීසිය රජයට ආදායම් මාර්ගයක්‌ ලෙස දඩ කොළ ලබාදීම සිදු කරයි.

සෑම මාර්ගයක්‌ම වන්වේ කිරීම රථවාහන තදබදයට පිලියමක්‌ නොවේ. එවැන්නක්‌ කළ යුත්තේ දීර්ඝකාලීන මනා සැලැස්‌මක්‌ තුළිනි. මනා සැලැස්‌මක්‌ ඇතිව මහාමාර්ග ඉදි කළ රටක නම් මෙය ගැටලුවක්‌ නොවේ. එහෙත් අපේ රටේ ඇත්තේ අතිශය අවිධිමත් මාර්ග පද්ධතියකි. එවැන්නක වෙනස්‌වීම් කළ යුත්තේ බොහෝ සිතා බලාය. 

අපේ රටේ රථවාහන පාලනය ගැන මාර්ග වසා දැමීම ගැන තීන්දු තීරණ ගන්නා කිසිවෙකුත් බස්‌රථවල ගමන් ගන්නා හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන රටේ 80%ක පමණ ජනතාවක්‌ ගැන නොසිතති. කොළඹ ඩුප්ලිකේෂන් පාරේ බස්‌රථයක ගමන් ගන්නා කෙනෙකුට බම්බලපිටිය දුම්රියපළට හෝ කොල්ලුපිටිය දුම්රියපළට යන්නට කිලෝමීටර් දෙකකට ආසන්න දුරක්‌ පයින් යාමට සිදුවේ. මෙය සලකා ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ මගී ප්‍රවාහන බස්‌ රථවලට පමණක්‌ දෙපැත්තට ගමන් කළ හැකි විශේෂ මංතීරු සකස්‌ කල යුතුව තිබේ. මාර්ග සැලසුම් කරනවිට පොදු ප්‍රවාහන සේවාවන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඒවා කළ යුතුව තිබේ. එසේම පොදු ප්‍රවාහන සේවා සඳහා පහසුකම් වැඩි කිරීම හා ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවා ඇතිකිරීම මගින් ජනතාව පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගත හැකිය. එවිට තම වාහන වල ගමන් බිමන් යන බොහෝදෙනා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරනු ඇත.

කන්ටේනර් මාර්ග තදබදයට ප්‍රධාන හේතුවකි. ඔරුගොඩවත්ත සහ පෑලියගොඩ කන්ටේනර් අංගන කොළඹ නගරයේ රථවාහන තදබදය සඳහා ප්‍රධානතම හේතුවකි. යුද්ධය අවසන්වී වසර හයක්‌ ගතවී ඇතත් තවමත් කන්ටේනර් පරීක්‌ෂාව සිදුකරන්නේ කොළඹ වරායෙන් පිටතය. කන්ටේනර් පරීක්‌ෂාව වරාය තුළම සිදුකළ හැකි නම් මාර්ග තදබදය බොහෝදුරට අඩුවනු ඇත.

අධික රථවාහන තදබදයක්‌ ඇති අවස්‌ථාවල පවා ඇතැම් පොලිස්‌ නිලධාරීන් කරන්නේ එය අඩුකරනවා වෙනුවට රියදුරන් වැරදි කරන තුරු සැඟවී බලා සිටීමය. මහාමාර්ගවල පැය ගණන් මාර්ග තදබදය තිබියදී බොහෝ පොලිස්‌ නිලධාරීන් ඒ මඟහරවා ගන්නවා වෙනුවට පාරේ පැත්තකට වී ඉර කපන රියදුරන් අල්ල ගන්නට බලා සිටි. එසේත් නැතිනම් සතුටු සාමීචියේ යෙදී සිටී. එසේත් නැතිනම් ජංගම දුරකතනයේ සුවබර කතාබහකය. රථ වාහන පොලිස්‌ නිලධාරීන්ගේ මූලික කාර්ය භාරය ඔවුන්ට කියාදීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය. පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරිය අනතුරු අඩුකිරීම නම් ඔවුන් සිටිය යුත්තේ කාටත් පෙනෙන පරිදිය. එවිට රියදුරන් පරිස්‌සමින් රිය පදවනු ඇත.

මේ ප්‍රශ්නයේ බරපතළකම තේරුම්ගෙන බලධාරීන් වහාම මෙය විසඳන්නට කටයුතු නොකළහොත් වැඩි දිනක්‌ යන්නට පෙර තමන්ටම වාහන තිබුණත් ඒවායෙන් මහ පාරේ ගමන් කරන්නට නොහැකි තත්වයක්‌ රටේ ඇතිවනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි 

මාර්ගයේ තදබදයට බොහෝසෙයින් බලපාන්නේ පොදු ජනතාව ප්‍රවාහනය කරන වාහන, එම වාහන වල රියදුරන් හික්‌මවීම හා ඔවුන්ගේ විනයක්‌ ඇතිකරන්නට මගී ප්‍රවාහන රියදුරන් සඳහා වෙනම පුහුණුවක්‌ 2016 ජනවාරි 01 දා සිට ලබා දෙනවා, පොලීසිය, මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන, වෛද්‍ය ආයතනය, ජාතික ළමාරක්‌ෂක අධිකාරිය, මහජන සෞඛ්‍ය යන පරීක්‌ෂකවරු සම්බන්ධ වෙනවා. මේ යටතේ කාර්මික දැනුම, ප්‍රථමාධාර, මාර්ග නීති සහ ආචාර ධර්ම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කෙරෙනවා,

ඒ වගේම වැරදි කෙරෙන රියදුරන් සඳහා රියදුරු බලපත්‍රයට ලකුණු එකතු කෙරෙන අභිවෘද්ධී ලකුණු ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි. රියදුරන් සංවර වුනහම නීතිගරුක වුනහම මාර්ග තදබදය සෑහෙන දුරට අඩුවෙනවා. 

ලංකා පුද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න 

මාර්ග තදබදය බරපතළයි, ඉන්ධන මිල අඩුවීම, පොඩි වාහන වලට බදු සහන මේකට බලපාලා, ඉන්ධන මිල අඩුනිසා තමන්ගේ වාහනයක යන එක පොදු ප්‍රවාහන සේවයේ යනවට වඩා තමන්ගේ වාහනයට පෙට්‍රල් ටිකක්‌ ගහගෙන යනඑක ලාභයි, මේ හින්දා බස්‌ වලට සෙනග නැහැ. මාර්ග වැඩිවෙලා නැහැ, මාර්ග තදබදය නිසා ඉන්ධන වලට යන අමතර වියදම වසරකට රුපියල් මිලියන අසූපන්දහසක්‌. ප්‍රමාදයෙන් අහිමිවන මිනිස්‌ පැය වල වටිනාකම මිලියන තිස්‌පන්දහසක්‌. මාර්ග තදබදයෙන් ඇතිවන විෂ වායු නිසා පිළිකා හැදෙනවා, ප්‍රමාදය නිසා ගමනේ ඉතිරි කොටස හයියෙන් යන්න ගිහින් අනතුරු සිදුවෙනවා, බස්‌වල ගමන්වාර අඩුවෙලා, මේ නිසා ඉක්‌මන් පියවර ගන්නා ලෙස අපි රජයට බලකරනවා.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2015/09/20/feature12.html

0 comments: