Pages

Tuesday, September 22, 2015

ස්තුතියි SLT! ශ්‍රී දළදා මාලිගයේ නිල තොරතුරු තාක්‌ෂණික සහකරු - SLT

මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි එකම විදුලි සංදේශන සහකරු බවට පත් වීමේ ගෞරවය හිමි ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගියදා එකී සබඳතාව තවදුරටත් ශක්‌තිමත් කරමින් තවත් පියවරක්‌ ඉදිරියට තැබීය. 

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය SLT ප්‍රකාශ තන්තු (Fibre Optic) තාක්‌ෂණයෙන් සවිබල ගන්වමින් IPTV තාක්‌ෂණය හරහා PEO TV පහසුකම ලබාදීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ශ්‍රී දළදා මාලිගාව සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. 

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන මෙම සේවාව හරහා ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය මධ්‍යස්‌ථානය වෙත ආගමික හා සංස්‌කෘතික තොරතුරු සැණෙකින් ලොව පුරා විසුරුවා හැරීමේ අවස්‌ථාව හිමිව තිබේ. එහිදී ලොව පුරා සුවහසක්‌ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ වාර්ෂික මහනුවර ඇසළ පෙරහැර අන්තර්ජාලය හරහා විකාශය කිරීම, සංස්‌කෘතික හා ආගමික වටිනාකමකින් යුත් වාර්තා වැඩසටහන් හා ඡායාරූප, ආගමික උත්සවයන්හි තොරතුරු ආදිය පහසුවෙන් හා ඉක්‌මනින් අන්තර්ජාලය වෙත එක්‌ කිරීම වැනි කටයුතු රැසක්‌ සිදුකිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය මධ්‍යස්‌ථානය වෙත පහසුකම් සැලසෙනු ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ක්‍රිශාන්ත හිස්‌වැල්ල මහතා ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතින තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ පිබිදීම අපේ රටේ අභිමානවත් සංස්‌කෘතියේ වටිනාකම ගැන ලොවට කියන්නට වටිනා මෙවලමක්‌ බවට පත්කරගත හැකි බවය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විඡේසුන්දර මහතා පළ කළ අදහස්‌ මෙසේය. 

මහනුවර ඇසළ පෙරහැර කාලයේ ශ්‍රී දළදා මාලිගාවේ සංස්‌කෘතික හා ආගමික කටයුතුවලට තොරතුරු තාක්‌ෂණික සේවා සහකරුවා විදිහට දායක වන්නට ලැබීම අප ආයතනය ලැබූ විශාල භාග්‍යයක්‌. ඉදිරි කාලයේදී අපි තව තවත් තොරතුරු තාක්‌ෂණික පහසුකම් සලසමින් ශ්‍රී දළදා මාලිගාවේ සංස්‌කෘතික හා ආගමික සේවාවන්ට තවදුරටත් දායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. දේශීය ආයතනයක්‌ හැටියට අපි අපේ රටේ සංස්‌කෘතික උරුමය මතු පරපුරට රැකදෙන්න හැමවිටම වෙහෙසෙන්නේ අපේ යුතුකමක්‌ හා වගකීමක්‌ ලෙස සලකමිනුයි". 

ශ්‍රී දළදා මාලිගාව හා මහනුවර ඇසළ පෙරහැර හා බැඳුණු සංස්‌කෘතික හා ආගමික වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම උදෙසා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද දළදා අභිමන්, ග්‍රන්ථයේ මුල් පිටපත් මල්වතු, අස්‌ගිරි මහ නාහිමිපාණන් වහන්සේලා වෙත හා දියවඩන නිලමේතුමන් වෙත පිළිගැන්වීමද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන සමූහ විධායක නිලධාරී දිලීප විෙ-සුන්දර මහතා අතින් එහිදී සිදු කෙරිණ. 

අනාගතය උදෙසා අපේ රටේ උරුමය සුරැකීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවට සමඟාමීව නිර්මාණය වූ මෙම ග්‍රන්ථය දිවයින පුරා පාසල්, විහාරස්‌ථාන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානයන් වෙත නොමිලේ ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු යොදා ඇත. දළදා අභිමන්, ග්‍රන්ථය සුප්‍රකට ජනශ්‍රැති පර්යේෂණ ලේඛකයකු වන මහින්ද කුමාර දළුපොත මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට සංස්‌කෘතීන් හා සම්ප්‍රදායයන් වෙත නිසි ප්‍රමුඛත්වයක්‌ හා ගෞරවය ලබා දෙමින් කටයුතු කරන ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරුවා වෙයි. තවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ඉතා සාර්ථක හා විශ්වසනීය තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සපයමින් මෙරට සංස්‌කෘතික හා කලා ක්‌ෂේත්‍රයේ උන්නතිය උදෙසා විවිධ සංවිධාන, ආයතන හා ක්‍රියාකාරී වැඩසටහන් සක්‍රිය ලෙස සවිබල ගැන්වීම සම්බන්ධයෙන්ද විශේෂ උනන්දුවක්‌ දක්‌වයි.

http://www.divaina.com/2015/09/16/velanda03.html

0 comments: