Pages

Wednesday, September 2, 2015

ඇමැති වැටුප 65000යි | මන්ත්‍රී වැටුප 54525යි |වාහනයට කෝටි 3ක බදු සහන

Parlimentපාර්ලිමේන්තුවට තේරී පත්වූ අලුත් මන්ත්‍රීවරු රැසක් ගිය සතියේ මුල්වරට පාර්ලිමේන්තු ආවෝය. එසේ පැමිණි මන්ත්‍රීවරු අතරේ සමහරු එම ගොඩනැගිල්ලට ඇවිත් තිබුණේ මුල් වතාවටය. මෙසේ ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ ඔවුන් වෙනුවෙන් ඉකුත්දා විවෘත කළ තොරතුරු කවුළුවෙන් විස්තර දැන ගැනීමටය. මෙසේ තොරතුරු කවුළුවක් විවෘත කිරීමට පාර්ලිමේන්තුවේ මහ‍ලේකම් ධම්මික දසනායක පියවර ගත්තේ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව පිළිබඳ අවබෝධයක් ලබාදීම හා සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු යාවත්කාලීන කරවීම සඳහාය.

අටවෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ වෙන්නේ සැප්. 01දාය. එහිදී කථානායක, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති යන තනතුරු තෝරා පත් කර ගැනීමට නියමිතය. එම නිසා නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට සපැමිණීමේ සිට සභාවේ හා ඉන් පිටත කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දැනුම්දී අවබෝධයක් දී තිබුණි.

හිටපු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නිවැරදිද යන්න පිළිබඳව මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප, දුරකථන අංක ආදී තොරතුරු එක් රැස් කරගැනීමද මෙම තොරතුරු කවුළුවේ අරමුණ වී තිබිණි. මේ වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් යොදවා තිබුණි.
මන්ත්‍රීවරුන්ට සේවා සැපයීම සඳහා පාර්ලිමේන්තුවේ බිමමහ‍ලේ ඇති පුස්තකාලයේ තොරතුරු කවුළු විවෘත කර තිබිණි. ඡායාරූප ගැනීමට එක් ස්ථානයක්ද, තොරතුරු සටහන් කර ගැනීමට තවත් ස්ථානයක්ද, ස්ථාවර නියෝග ගැන දැනුම්වත් කිරීම සඳහා තවත් ස්ථානයක්ද ලෙස ස්ථාන කිහිපයක් යොදවා තිබිණි.

නවක මන්ත්‍රීවරු 63 දෙනෙක් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති. ඔවුන් අතරින් 62 දෙනෙක් තොරතුරු කවුළුව විවෘත කළ පළමු දිනයේදීම පැමිණියහ. මේ අයගේ මෙන්ම අනෙකුත් හිටපු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප මෙන්ම දත්ත එක් රැස් කර ගන්නා ලදී.
තොරතුරු ලබා ගැනීමට එක් මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් පැයක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුව කටයුතු යොදා තිබිණි. එසේම පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ සියලුම ස්ථාන වෙත ගෙනගොස් පෙන්වීය. පාර්ලිමේන්තුවේ ගමන් මාර්ග පිළිබඳව මාර්ග සිතියමක්ද ඔවුන්ට දී ඇත.

ගියවර පාර්ලිමේන්තුවට නිළියන් දෙදෙනකු පත්ව ආවද මෙවර සිටින්නේ එක් නිළියක පමණකි. එම නිසාදෝ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පැමිණීම ආරංචි වී ඇය බැලීමට  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනෙක් තොරතුරු කවුළුවට යන මාර්ගයේ රැඳී සිටියහ.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ තොරතුරු කවුළුවට පැමිණ අනෙක් නවක මන්ත්‍රීවරුන්ට වඩා වැඩි කාලයක් තොරතුරු කවුළුවේ රැඳී සිටින අයුරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට දැක ගත හැකි විය. නවක මන්ත්‍රීවරුන්ට තොරතුරු ගැනීම වෙනුවෙන් පැයක කාලයක් වෙන් කර තිබුණාට ඇය පැය එකහමාරකටත් වඩා වැඩි කාලයක් මේ වෙනුවෙන් ලබා ගෙන තිබිම විශේෂත්වයකි. ඒ අනුව වැඩිම කාලයක් මේ වෙනුවෙන් රැගෙන තිබුණේ ගීතා කුමාරසිංහ පමණකි.

තොරතුරු කවුළුවේ රැඳී සිට අවශ්‍ය තොරතුරු ගෙන පිටතට පැමිණීමෙන් පසු ඒ ආසන්නයේ රැඳී සිටි මාධ්‍යවේදීන් වැඩි කාලයක් තොරතුරු කවුළුවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඇගෙන් තොරතුරු විමසූහ. “පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම මට දැනගන්න අවශ්‍ය හැම දේ ගැනම විමසලා තොරතුරු දැන ගත්තා” යැයි ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.
එසේම තමන්ට ස්ථාවර නියෝග වැනි නීති අණපනත් සම්බන්ධයෙන්ද තවදුරටත් අධ්‍යයනය කිරීමට තිබෙන බවද ඇය කියා සිටියාය.
තොරතුරු කවුළුවේ සිටි කාර්ය මණ්ඩලය සඳහන් කළේ ගීතා කුමාරසිංහ මහත්මිය තොරතුරු කවුළුවේ සිටි සෑම නිලධාරියෙක් ළඟටම ගොස් වැඩි වේලාවක් රැගෙන තොරතුරු විමසූ බවයි. මෙහිදී මාධ්‍යවේදීන් ඇගෙන් විමසා සිටියේ සටන්කාමී චරිතයක් බැවින් පාර්ලිමේන්තුවේදී ද ඒ විදියට සටන් කරන්නේද කියාය. පාර්ලිමේන්තුව සටන් කරන තැනක් නොවන බවත් තමන් ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කටින් සටන් කරන බවත් ඇය කීවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද එදින සිය සැමියා සමග පාර්ලිමේන්තුවට ආවාය. එනමුත් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැඩි ආකර්ෂණයක් දිනා ගෙන ඇත්තේ ගීතා කුමාරසිංහය. 
පාර්ලිමේන්තුවට පැමිණි නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් දිවා භෝජනය සූදානම් කොට තිබුණේ මන්ත්‍රීවරුන්ගේ ආගන්තුකයන්ගේ භෝජනාගාරයේය.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිව්රුම් දෙන තුරු මන්ත්‍රී භෝජනාගාරය මන්ත්‍රීවරුන් වෙනුවෙන් විවෘත වන්නේ නැත. නවක මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ මින් පෙර සිටි මන්ත්‍රීවරුන්ද එදින දිවා භෝජනය ලබා ගත්තේ මන්ත්‍රීවරුන්ගේ ආගන්තුකයන්ගේ භෝජනාගාරයෙනි.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලැබෙන වරප්‍රසාද අතර මන්ත්‍රී වැටුප වැදගත් වේ. මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් පනස් හතරදහස් පන්සිය විසි පහ (54525)කි. ප්‍රවාහන දීමනාව රුපියල් දස දහස (10000)කි. සංග්‍රහ දීමනාව රුපියල් දහස (1000)කි. ජංගම දුරකථන දීමනාව රුපියල් දෙදහ (2000)කි. පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව එක් දිනක් වෙනුවෙන් රුපියල් පන්සියය (500)කි.
අමාත්‍යවරුන්ගේ වැටුප රුපියල් හැට පන්දහසක් වන අතර නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙනුවෙන් රුපියල් හැට තුන්දහස් පන්සියයක මාසික වැටුපක් හිමිවේ. ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට රුපියල් හාර දහසක ජංගම දුරකථන දීමනාවක් හිමිවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සඳහා පස් දෙනකු බඳවා ගත හැකි අතර ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වැටුප් ගෙවනු ලැබේ. ස්ථාවර දුරකථන දෙකක් සෑම මන්ත්‍රිවරයෙකු වෙනුවෙන්ම ලබා දෙන අතර එහි මාසික බිල්පතද පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබයි.
අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ලබා දෙන කාර්ය මණ්ඩලය මීට වඩා වැඩිවේ. එසේම මන්ත්‍රීවරුන් වෙනුවෙන් තීරු බදු රහිත වාහනයක් ගැනීමට බලපත්‍රයක්ද හිමිවන අතර ලක්ෂ 300ක බදු සහන හිමිවනු ඇත.

මන්ත්‍රීවරයාගේ වාහනය වෙනුවෙන් මාසික ඉන්ධන දීමනාවක් හිමිවන අතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික් මට්ටම අනුව මෙම දීමනාව වෙනස්වේ. කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් දහඅට දහස් අටසිය හතළිස් පහක්ද, කළුතර හා ගම්පහ දිස්ත්‍රික් සඳහා රුපියල් විසිතුන් දහස් හයසියයක්ද, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් විසි අටදහස් තුන්සියයක ඉන්ධන දීමනාවක් හිමිවේ. තවද මාත‍ලේ, පුත්තලම, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් දෙදහස් නවසිය අනූවක දීමනාවක්ද, ‍පොළොන්නරුව, බදුල්ල, හම්බන්තොට, වව්නියාව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක සඳහා රුපියල් තිස් හත්දහස් හත්සිය හතළිස් පහක්ද ඉන්ධන දීමනාව ලෙස මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබයි.

මාසික ඉන්ධන දීමනාවට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ජිවත් වෙන සෑම මන්ත්‍රීවරයෙකුටම මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ නිවසක් වෙන් කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂ 50ක රක්ෂණයක්ද මන්ත්‍රීවරුන්ට හිමිය. රක්ෂණය හැරුණු කොට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නොමි‍ලේ ප්‍රතිකාර ලබා දෙන අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ගෙන්වා දේ. ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පාර්ලිමේන්තුවේ ස්ථාපිත කොට තිබෙන බැවින් මන්ත්‍රීවරුන්ට මෙමගින්ද නොමි‍ලේ සේවය ලබාගත හැකිය. මන්ත්‍රී භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ආහාර ලබා ගත හැකි සේම තමන්ගේ ආගන්තුකයන්ද රැගෙනවිත් ආහාර ලබා දීමේ පහසුකම්ද පවතී. මන්ත්‍රීවරයෙකුට දිවා ආහාරය වෙනුවෙන් රුපියල් 150ක මුදල් මන්ත්‍රී වැටුපෙන් කපා ගත්තද ඔවුන්ට අවශ්‍ය ආහාර වර්ගයක් ඇනවුම් කිරීමේ හැකියාවද පවතී. දිවා ආහාරයට අමතරව උදෑසන ආහාරයද ඔවුන්ට හිමිය. මන්ත්‍රීවරුන් සියලු දෙනාට වසර හයක කාලයක් යනතුරු මේ වරප්‍රසාද හා බලතල හිමිය.

ලසන්ත වීරකුලසූරිය, ඡායාරූප : නිමල්සිරි එදිරිසිංහ
ලක්බිම

0 comments: