Pages

Sunday, September 13, 2015

වකුගඩු ඇතුළු රෝග බොහොමයකට මුල් වූ ග්ලයිෆොසෙට්‌ තහනම්??? එහෙත්...

නැවතත් ග්ලයිෆොසෙට්‌ තහනම ගැන ලියන්නට සිදුව තිබේ. ග්ලයිෆොසෙට්‌ තහනම පිළිබඳව කතාව තරමක්‌ පරණ එකකි. එහෙත් කතාවට අඩුවැඩිය එකතුවෙමින් එය නැවත නැවතත් කරළියට පැමිණේ. ග්ලයිෆොසෙට්‌ තහනම යෑයි කිවූ සැණින් බොහෝ දෙනෙක්‌ තුළ ග්ලයිෆොසෙට්‌ රටේ හොයාගන්නටවත් නැති ආකාරයේ සිතුවිල්ලක්‌ ඇති වේ නම් එය නිවැරදි නොවන්නක්‌ බව කීමට අපට සිදුවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායනයන් ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බව කීවේ පසුගිය මැයි 22 වැනිදාය. ඒ මෙරට කෘෂිකාර්මික ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක්‌ ලෙස හඳුනාගෙන ඇත්තේ ග්ලයිෆොසෙට්‌ කෘෂි රසායනය නිසාය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයෙන් දින කිහිපයකට පසු එනම් මැයි 28 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලය එම තහනමට අනුමැතිය ලබා දුන්නේය. ජුනි 11 වැනිදා වනවිට දින සියයේ ආණ්‌ඩුවේ ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ආනයන අපනයන පාලන පනත යටතේ ග්ලයිෆොසෙට්‌ මෙරටට ගෙන්වීම ජුනි 11 වැනිදා තහනම් කරන ලදී. විශේෂත්වය වන්නේ "තහනමට" අදාළ කතාබහ කෙරෙන අතරවාරයේම ග්ලයිෆොසෙට්‌ අඩංගු කෘෂි රසායන සහිත කන්ටේනර් පහළොවක්‌ නැවත ආනයනය කර තිබීමයි.

මේ කන්ටේනර් පහළොව ඉතා හදිසියේ මුදා හැරියේද තහනම ගැන රටේ ජනතාව ප්‍රමෝදයට පත්ව සිටින මොහොතකය. කෙසේ හෝ එම කන්ටේනර් පහළොව මුදාහැරීමට තිබුණු හදිසිය ග්ලයිෆොසෙට්‌ තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගැසට්‌ නිවේදනය ගෙන එන්නට නැතිවීම දැන් ඇති ප්‍රධාන ප්‍රශ්නයයි.

පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඊට අදාළ ගැසට්‌ නිවේදනය සකස්‌ කර ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර ඇත්තේ පසුගිය ජුනි මාසයේදීය. කෘෂිකර්ම ලේකම්වරයා එය කෘෂිකර්ම ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ. එහෙත් තවමත් මේ අනුමැතිය ලැබී නැති බව වාර්තා වේ. රජයේ අදාළ නිලධාරීන්ට, ඇමැතිවරුන්ට අත්සන් කිරීමට (අනුමැතිය පිණිස) ලියුම් ගණනාවක්‌ ගොඩගැසී ඇති බව අප හොඳින්ම දන්නා කාරණයකි. සමහර ලිපි සම්බන්ධයෙන් කොහොමත් පොඩි පරක්‌කුවක්‌ සිදු කිරීම් ද සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ග්ලයිෆොසෙට්‌ තහනම සම්බන්ධයෙන් එසේ කේවල් කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බව අපේ විශ්වාසයයි. 

අනෙක්‌ කතා සියල්ල පැත්තකින් තිබ්බත් මේ තහනම සම්බන්ධයෙන් වැඩි පරක්‌කුවක්‌ කොහොමටත් අවශ්‍ය නොවේ. ඊට හේතුව මේ තහනම පිළිබඳව මූලික තීරණය ජනාධිපතිතුමාගෙන්ම වන බැවිනි. තහනම සම්බන්ධයෙන් කවරකු හෝ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග අමනාප නොවනු ඇතැයි ද අපි විශ්වාස කරමු. එහෙත් අමනාප වන කවුරුන් හෝ සිටී නම්, කොතැනක හෝ සිදු නොවිය යුතු වරදක්‌ සිදුවන බවට අපට අනුමාන කිරීමට සිදු වේ.

තහනම් බඩු සම්බන්ධයෙන් රටේ දේශපාලන අධිකාරියේ සිට නිලධාරි පැලැන්තියේ සමහර පුද්ගලයන්ටත් ඇති නරක කැරැට්‌ටුව ගැන සලකා බැලීමේදී එවැනි සැක සංකා මතුවීම වැළැක්‌විය නොහැකි කාරණයකි.

ග්ලයිෆොසෙට්‌ සහිත කෘෂි රසායන අඩංගු කන්ටේනර් පහළොව මුදා හැරියේ රටේ ජනාධිපතිවරයා තහනම ගැන දැඩි ස්‌ථාවරයක සිටියදීය. එමෙන්ම ගෙන්වන ලද එම කෘෂි රසායනයන් තොග අවසන් වනතුරු තහනම ක්‍රියාත්මක නොකරන්න යෑයි අදාළ සමාගම් හෝ පාර්ශ්වයන් කරන ලද ඉල්ලීමද ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කර තිබුණු බව කියෑවේ. කාරණය එතරම්ම බරපතළ තැනක තිබේ නම් මේ මොහොත වනවිට නොව ඒ කාලයේදීම තහනමට අදාළ ගැසට්‌ පත්‍රයට අනුමැතිය දිය යුතුව තිබිණි. දැන් අපට හිතෙන්නේ මේ ග්ලයිෆොසෙට්‌ තොගය විකුණා ගැනීමට මාස්‌ටර් ප්ලෑන් එකක්‌ දියත් වන බවයි. මේ ගැන අපි මීට පෙර ද සඳහන් කර ඇත්තෙමු.

අපට කියන්නට ඇත්තේ සිදුවන්නට යන්නේ එතරම් හොඳ දෙයක්‌ නොවන බවය. 

http://www.divaina.com/2015/09/12/editor.html

Pic Source

0 comments: