Pages

Saturday, September 12, 2015

'බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික නගරය කිරීම' ඉන්දීය බල ව්‍යාප්තියට බුදුන් වහන්සේ යොදාගැනීමක්ද?

හින්දු ජාතිකවාදී අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 05 වැනිදා බුද්ධගයාව වැඳපුදා ගැනීමට ගිය අතර පසුව එම ශුද්ධ භූමියේ භාවනාවේ නිරතවන අයුරුද ඉන්දීය පුවත්පත්වල පළවී තිබිණි. මේ චාරිකාව අතරතුර මාධ්‍ය ඇමතූ මෝදි අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික නගරය කරන බවය. එය ඉන්දියානුවන්ට පමණක්‌ නොව ලෝකවාසී බෞද්ධයන්ටද වැදගත් පුවතකි. ගෞතම බුදුන් යනු ඉන්දීය ඔවුන්ගේ මිණිකිරුළ බවද මෙහිදී මෝදි අගමැතිවරයා අවධාරණය කර තිබිණි. ඉන්දීය අගමැතිවරයා බුද්ධගයාව වැඳපුදා ගැනීමට ගියේ නවදිල්ලියේ පැවැති බෞද්ධ හින්දු සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවය. "සම්වාද් ගෝලීය හින්දු බෞද්ධ සංවාදය" නම් වූ මෙම සමුළුව සංවිධානය කර තිබුණේද භාරතීය ජනතා පක්‍ෂයට සම්බන්ධව හින්දු සංවිධානයක්‌ විසිනි. මේ සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද සහභාගිවී සිටියාය. ඇය ලෝකයේ අවධානය දිනාගන්නා බෞද්ධ සමුළුවකට සහභාගි වී සිටීම දුටුවේ මෙවරය. රාජපක්‍ෂ රෙජීමය ඉවත් කර යහපාලන ආණ්‌ඩුව ඇති කිරීමේලා ප්‍රමුඛතම කාර්යය ඉටුකරනු ලැබුවේ හිටපු ජනපතිනිය නිසා ඇයට මේ ආරාධනාව ලැබුණේද යන්න අපට පැහැදිලි නැත. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහට පෙර ඇය ඉන්දීය අගමැතිවරයා හමු වී සාකච්ඡාවක්‌ පැවැත්වූවාය.

මෙම හින්දු බෞද්ධ සමුළුවට චීනයටද ආරාධනා කර තිබුණත් එරටින් කිසිවකු සහභාගි වී සිටියේ නැත. නමුත් ජපාන අගමැති ෂින්ෂෝ අබේ මහතා චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ මෙම සමුළුව ඇමතීය. දළයිලාමාද මෙම සමුළුවට සහභාගිවූයේ නැත. නැගෙනහිර ආසියාවේ බෞද්ධ රටවලට ගෞතම බුදුන් යොදාගෙන රාජ්‍ය ත්‍රන්ත්‍රික මෙහෙයුමක්‌ සිදුකිරීමට මෝදි අගමැති උත්සාහ කරන බව පෙනී යයි. චීනයද මේ තරගයේ අනෙක්‌ පාර්ශ්වයය.

ලෝක ජනගහනයෙන් 8% ක්‌ බෞද්ධයන් වන අතර එම ප්‍රමාණය මිලියන 526 ක්‌ වන බව සැලකේ. දිල්ලියේ ඉකුත් 03 වැනිදා ආරම්භ වූ බෞද්ධ හින්දු සමුළුවට රටවල් 22 කින් නියෝජිතයන් 360 ක්‌ සහභාගි විය. අගමැති මෝදි බුද්ධගයාව ආධ්‍යාත්මික නගරය කරන බව පැවසීම හරහා ඔහු බෞද්ධ ලෝකයට පණිවුඩයක්‌ ලබාදෙයි. ඒ ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා තමන් නැවත නැවතත් අගය කරන බවත් ඒ ධර්ම ආලෝකය කිසිවකුට මගහැරිය නොහැකි බවත්ය. වර්තමානයේ ලොව දක්‌නට ලැබෙන්නේ ශිෂ්ඨාචාර ගැටුමකි. එහි කෲරත්වය හොඳින්ම පෙනී යන්නේ අයිසිස්‌ නොහොත් ඉස්‌ලාමික රාජ්‍යය නමැති ම්ලේච්ඡ සංවිධානය ඉරාකය හා සිරියාවේ බලය පතුරුවා ගැනීම තුළිනි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන නැවත නැවතත් පුනරුච්ඡාරණය කළ යුතු නැත. අබුබකර් බැග්ඩෑඩිගේ බළකායට අවශ්‍ය, ඉතිහාසය සම්පූර්ණයෙන් මකා දැමීමටය. සිරියාවේ ඇති රෝම නටබුන් විනාශ කර දමන්නේ මේ නිසාය. එහෙත් බෞද්ධයන් කිසිවිටක අවි අතට ගන්නේ නැත. කඩුවේ හෝ බයිනෙත්තුවේ බලයෙන් ආගම ප්‍රචාරය කරන්නට ගියේ නැත. නමුත් මේ මුස්‌ලිම් අන්තවාදීන් හමුවේ සමස්‌ත මානව ශිෂ්ටාචාරයම අර්බුදයට ලක්‌ව තිබේ. ඒ අර්ථයෙන් ඉන්දීය ආණ්‌ඩුව හින්දු-බෞද්ධ එකඟතාවයකට මූලික අඩිතාලම දැමීම පැසසිය යුත්තකි. එහෙත් මෙය ගෞතම බුදුන් යොදාගෙන ඉන්දියානු ව්‍යාප්තවාදය පැතිරවීමේ උපායක්‌ද යන්න ගැනත් අප හොඳින් සලකා බැලිය යුතුය.

මන්ද ආසියානු කලාපයේ බෞද්ධ රටවල චීන ආධිපත්‍යය බහුල නිසා ඉන්දියාව තම බලපරාක්‍රමය පැතිරවීම සඳහා ගෞතම බුදුන් යොදාගෙන ඇත. ආක්‍රමණශීලී හා සාහසිකත්වය තම ආගමිකයන්ට දේශනා නොකරන නිසා බුදු දහමත් හින්දු දහමත් අතර එකඟතාවයක්‌ ඇතිකර ගත හැකිය. ලොව විශාලතම හින්දු රාජ්‍යය ලෙස ඉන්දියාවට බරපතළ ප්‍රශ්නය එල්ලවන්නේ මුස්‌ලිම් අන්තවාදයෙනි. ඉස්‌ලාමික රාජ්‍යය සංවිධානය හින්දු ඉන්දියාව සමතලා කර කෝර්සාන් නමැති මුස්‌ලිම් අධිරාජ්‍යය ගොඩනංවන බවට ප්‍රකාශ කර තිබියදී හින්දු බෞද්ධ එකමුතුවකට මගපැදීම වඩා ප්‍රශස්‌ත කරුණකි.

නරේන්ද්‍ර මෝදි බුද්ධගයාව ආධ්‍යාත්මික අගනගරයක්‌ කිරීම ප්‍රකාශයකට සීමා නොකර ප්‍රායෝගිකව ඉටුකරයිද යන්න ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. 2013 ජුලි මාසයේ දී ඉන්දීය මුජහිදින්වරු බුද්ධගයාවට පහරදී බෞද්ධයාගේ උතුම් පුදබිම ලේවලින් නෑවූහ. මෙය සමස්‌ත ලෝකවාසීන්ගේම හදවත් කම්පා කරන්නක්‌ විය. මේ ප්‍රහාරය නිසා බුද්ධගයාවට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රමාණය අඩු වුවද දැන් ඒ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

කවරක්‌ නමුත් බෞද්ධ සමුළුවට ඉන්දියාවට ගිය හිටපු ජනපතිනිය මේ සමුළුවේදී කළ කථාව ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර නොතිබුණද මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම පිළිබඳව කළ කථා බොහෝ ඉහළින් වාර්තා කර තිබිණි. මහින්ද ජයග්‍රහණය කළා නම් තමන්ද ඝාතනයට ලක්‌වන බව ඇය ඉන්දීය පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. හින්දු පුවත්පත හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඇය ප්‍රකාශ කර තිබුණේ රාජපක්‍ෂ පාලනය පෙරලා දැමුවේ ඉන්දියාවෙන් ලැබුණු චන්ද්‍රිකා දුරකථනවලින් නොව වයිබර් තාක්‍ෂණයෙන් බවයි. දිල්ලියේ බෞද්ධ සමුළුවට සහභාගි වුවත් ඇය මහින්දට එරෙහි කෝපය ඉන්දීය මාධ්‍ය හමුවේ පිටකර දැමුවාය. මෙය ඉන්දීය බ්‍රාහ්මණවංශික රාජතාන්ත්‍රිකයින්ද සතුටු කරවන්නකි. චීන රජයද වාර්ෂිකව ලෝක බෞද්ධ සමුළු පවත්වන බැවින් ඉන්දීය රජයද බෞද්ධ-හින්දු එකමුතුවට වඩා අවධානය යොමු කරන්නේ එක්‌ අතකින් රාජතාන්ත්‍රික වාසියක්‌ද සලකාගෙනය. සිය ලංකා සංචාරයේදී අගමැති මෝදි ජයශ්‍රීමහ බෝධිය වැඳපුදා ගැනීමට අමතක නොකළේය. ඒ හරහා ඔහු මෙරට බෞද්ධයින්ටද පණිවුඩයක්‌ ලබාදුන්නේය. ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ උපන් දිනය යෙදුණු ජන්මාශ්වතී දිනයේදී බුද්ධගයාව වන්දනා කළ අගමැති මෝදි පැවසුවේ මේ ස්‌ථානයට පැමිණීමෙන් තමන් ආධ්‍යාත්මික ශාන්තියක්‌ ලැබූ බවය. බුද්ධගයාවෙන් ලැබෙන ආධ්‍යාත්මික ශාන්තිය ගැන විශේෂයෙන් බෞද්ධයින්ට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. හින්දු අන්තවාදය විසින්ම යට කිරීමට උත්සාහ දරන ඉන්දීය බෞද්ධ ආත්මය ගොඩගැනීමට අගමැති මෝදි යම් උත්සාහයක්‌ දරන බව පෙනේ. කිසිවෙකුට බෞද්ධ අගයන් යටකළ නොහැකිය. ඒ ආධ්‍යාත්මික ශාන්තිය නතර කිරීමටද නොහැකිය.

මේ බෞද්ධ සමුළුවට චීන නියෝජිතයන් සහභාගි නොවීම අවධානය යොමුකළ යුතු කරුණකි. චීන රාජතාන්ත්‍රිකයන් මේ සමුළුව හරහා ගෞතම බුදුන් යොදාගෙන දිල්ලිය රාජතාන්ත්‍රික මෙහෙයුමක්‌ කරන බවට සැකකර සිය නියෝජිතයන් එවීමට මැලිවී ඇති බව පැහැදිළිය. කවරක්‌ නමුත් මුස්‌ලිම් අන්තවාදය වේගයෙන් පැතිර යද්දී බෞද්ධ හින්දු එකතුවක්‌ සිදුවීම යහපත් දෙයකි.

ඒ එකතුව නිර්මාණය කළ හැක්‌කේද ඉන්දියාවටය. එහෙත් මෙය බල ව්‍යාපෘතියක්‌ විය යුතු නැත. දැන් ලොව පුරා බෞද්ධයෝ මෝදි අගමැති බුද්ධගයාව ලොව ආධ්‍යාත්මික අගනගරය කරන්නේ කෙසේද යන්න දෙස උනන්දුවෙන් බලා සිටිති.

චතුර පමුණුව
http://www.divaina.com/2015/09/13/feature09.html

Pic Source

සබැඳි ලිපි -
[

'බුදුන්වහන්සේ ඉන්දීය ඔටුන්නේ මිණිකැටයයි' - 1%ක වත් බෞද්ධයන් නොමැති රටක අගමැති මෝදි දුටු බුද්ධත්වයේ වටිනාකමhttp://denethharinna.blogspot.com/2015/09/1.htmlබුදුන් වහන්සේ යනු ඉන්දීය ඔටුන්නේ මිණි කිරුළ. බුද්ධගයාව ඉන්දියාවේ ආධ්‍යාත්මික අගනගරය කරනවා - මෝදිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_7.html
]

0 comments: