Pages

Tuesday, September 8, 2015

ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කරනවා - විජයදාස රාජපක්‍ෂ

ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීමට කටයුතු කරනවා යෑයි අධිකරණ සහ බුද්ධශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (7 දා) බුද්ධශාසන අමාත්‍යාංශයේදී බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.

මෙම අවස්‌ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක කරු ජයසූරිය, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ඉඩම් ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන මහත්වරුද සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විජයදාස රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

මට මේ අමාත්‍යාංශය ලබා දුන්නේ බොහෝ වැඩ කොටසක්‌ කිරීමට හැකි අවස්‌ථාවකයි. එයට සුදුසු වාතාවරණයක්‌ කථානායක කරු ජයසූරිය මහතා උදාකරලා දුන්නා. බෞද්ධ ආගමේ චිරස්‌ථිතිය වෙනුවෙන් ඒ මහතා කරගෙන ආ මහඟු සේවාව ඉදිරියට කරගෙන යනවා.

1931 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ සම්පාදනය කළ විහාර දේවාල ගම් පනත වගේ පනත් අද කාලයට ගැළපෙන්නේ නෑ. අපි එම පනත සංශෝධනය කරනවා. නායක ස්‌වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා පනත් කෙටුම්පත් සාදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබා තිබෙනවා. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නවා.

අප රට වසර 2300 ක්‌ ථෙරවාදී බුදු දහම ආරක්‍ෂා කළ රටක්‌ වශයෙන් හැඳින්වෙනවා. අතිගරු ජනපතිතුමන්ගේ උපදෙස්‌ පරිදි 2018 වසරේදී ජාත්‍යන්තර වශයෙන් ලොව සියලු බෞද්ධ රටවල් සම්බන්ධ කරගෙන බෞද්ධ සංගායනාවක්‌ පවත්වනවා. එහිදී මුළු ලෝකයේම ථෙරවාදී ධර්මයේ මූලස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත්කර එය මුළු ලොව පුරා ප්‍රචලිත කිරීම පිණිස අවශ්‍ය මූලික කටයුතු කරනවා.

අප රටේ දුෂ්කර පළාත්හි පන්සල්වල පවතින අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අරමුදලක්‌ ආරම්භ කරනවා. කොත්මලේ මහවැලි සෑය, විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය සංවර්ධනය කරනවා. පසුගිය වසරේ අනගාරික ධර්මපාලතුමාගේ 150 වෙනි ජන්ම සංවත්සරය ආරම්භ කළා. එය උත්සවශ්‍රීයෙන් නිමාකරනවා.

බුද්ධශාසනය නඟාසිටුවීම සඳහා ගොඩනැඟිලි හැදීම, ගොඩනැඟිලි පුනරුත්ථාපනය කිරීම පමණක්‌ ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ලෝක උරුමයක්‌ බවට පත්කිරීම අපේ අරමුණයි. බෞද්ධ දර්ශනයට බෞද්ධ අභිලාෂයන්ට ගැළපෙන අයුරින් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස වර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්‌ථාවට සහභාගි වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන සහ ඉත්තෑපානේ ධම්මාලංකාර යන නාහිමිවරු විජයදාස රාජපක්‍ෂ මහතාට ආශීර්වාදය පළ කළහ.

බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා සිටිනුයේ ගිලන්පස පූජා කිරීමට හෝ පාංශකූලය දීමට පමණක්‌ නොවන බව මෙහිදී අවධාරණය කළ උන්වහන්සේලා ශාසනයේ චිරස්‌ථිතිය සඳහා බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා කරන සේවය පිළිබඳ අවබෝධයක්‌ ඇති එසේම බෞද්ධ දර්ශනය පිළිබඳ හොඳ අවබෝධයක්‌ ඇති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාව බුද්ධශාසන අමාත්‍ය ධුරයට පත්කිරීමට ගැන සිය සතුට පළ කළහ.

මෙම අවස්‌ථාවට සහභාගිවූ කථානායක කරු ජයසූරිය මෙසේ පැවසීය.

දින 100 වැඩපිළිවෙළ තුළ බුද්ධශාසනයේ දියුණුව උදෙසා අප පියවර රැසක්‌ ගනු ලැබුවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි බෞද්ධ දර්ශනය පිළිබඳව දැන උගත්කමින් ඇති විජයදාස රාජපක්‍ෂ මහතා වැන්නකුට බුද්ධශාසන අමාත්‍ය ධුරය ලැබීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා.

වසන්ත ලියනගේ සහ ඔරුවල සරත් ද සිල්වා
http://www.divaina.com/2015/09/08/news22.html

Pic Source

1 comments:

Anonymous said...

ඔකේ දැන් අමුතුවෙන් කරන්න තියෙන්නේ මොකක්ද කොහොමත් දැනටම ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානය ලංකාව තමා