Pages

Sunday, September 13, 2015

සමථකරණය කාලීන සමාජ මෙහෙවරකි

රට කොස්‌, රට අඹ, රට පේර, රට දෙල්, රට පුවක්‌, ආදී වශයෙන් වඩාත් හොඳ දේවල්වල ගරුනම්බුව පිටරටට දීමට තරම් තවමත් අපි දීනයෝ වී සිටිමු. මේ අන්දමට වැදගත් හා ඵලදායක සමථ මණ්‌ඩල ක්‍රමවේදයද රටින් ගෙනා දෙයක්‌ හැටියට එහි ගරුනම්බුව පිටරටට දීමට සමහරු කටයුතු කරති. නමුත් නුවරකලාවියේ ආදී මානව සංස්‌කෘතික රටාව ගැඹුරින් විමසනවිට සමථ මණ්‌ඩල ක්‍රමවේදයේ මූල බීජයන් මෙහි පැවැති බවට තොතුරු හෙළිවේ.

නුවර කලාවිය ජන සංස්‌කෘතිය තුළ පෙරදා හැම ගමකම පාහේ "තොවිල් පහක්‌" විය. මේ තොවිල්පහට - වින්නඹු අම්මා - හේනෙ මාමා-ගමරාළ- ඇණමැතිරාළ - වෙදරාළ යන චරිත පහ ඇතුළත් විය. උපතේ පටන් සොහොන් පිටියට යැම දක්‌වා ජන ජීවිතයට සමීපව ජන ජීවිතය ආවරණය කරන මේ පංච විධ චරිතවලට කිසිවකුට පිටුපෑමට පුළුවන්කමක්‌ නැත. සියලු දෙනා මේ චරිත පහට නිතැතින්ම යටත් පහත් වේ. ගමේ ජන ජීවිත තුළ සීමා මායිම් ඉක්‌මවා ගිය යම් යම් හැසිරීම් ඇතිවූ විට එවැනි හැසිරීම් පිළිබඳ අහ විභාග කිරීමේ උරුමය මේ තොවිල් පහට නිතැතින්ම පැවරේ.

මේ තොවිල් පහ අයත්වන කණ්‌ඩායම පසුකලෙක "වරිග සභාව" යනුවෙන් හඳුන්වනු ලැබීය. ගමට අයත් සීමා මායිම් තුළ ජීවත්වන ජන ජීවිත තුළ යම් සමාජ විරෝධී චාරිත්‍ර විරෝධී, සම්මත විරෝධී ක්‍රියාවන් ඇතිවුණි නම් ඒවා එක්‌ රැස්‌කොට නිශ්චිත දිනයක ගම් මඩුවකට රැස්‌වන තොවිල්පහට හෙවත් වරිග සභාවට ඉදිරිපත් කරනු ලබයි. මෙහිදී වග උත්තරකරුවන් කැඳවා සිද්ධි අහ විභාගකොට සුදුසු දඬුවම් පැමිණවීම වරිග සභාව මගින් ඉෂ්ට සිද්ධ කරනු ලැබේ. මෙහිදී අහවිභාගවලදී චෝදනා සනාථවූ අයට ඒ ඒ වරදේ ස්‌වභාවය අනුව ඒ මොහොතේම දඬුවම් පමුණුවයි.

තොවිල්පහට බුලත් අතක්‌දී වැඳ සමාව ගැනීම, බත් බුලත් සංග්‍රහයක්‌ පවත්වා සමාව ගැනීම, රිදීපනම් පුද පූජාකොට සමාව ගැනීම, කුල ගෙදරින් පිටමං කිරීම, ගම්දොරින් පිටමංකිරීම වැනි දඬුවම් පැමණවීමේ බලය තොවිල්පහට හෙවත් වරිග සභාවට පවතී.

මේ වනවිට රටේ නීති සංග්‍රහයට ඇතුළත්කොට මානව ආරාවුල් විසඳීමේ එක්‌ ක්‍රමව්දයක්‌ හැටියට පවත්වාගෙන යන සමථ මණ්‌ඩල ක්‍රමයද අතීතයේ පැවැති තොවිල් පහේ ක්‍රමවේදය වඩාත් පුළුල් ලෙස නීතියෙන් බලගන්වා යුගයට ගැලපෙන පරිදි සකස්‌ කරන ලද "විනිශ්චය සභාවක්‌" හැටියට හඳුන්වා දීමට පුළුවන. තොවිල්පහ රැස්‌වූවිට චෝදනා අහවිභාගකරන්නාක්‌ මෙන් සමථ ක්‍රමයේදීද ආරාවුලට සම්බන්ධ පාර්ශ්වකරුවන් සම්බන්ධකරගෙන පරිණත බුද්ධි මෙහෙයුමකින් ගැටලුවේ පතුල සොයා ගොස්‌ යථාර්ථය හඳුනාගෙන සත්‍යාවබෝධය ඇතිකොට දෙපාර්ශ්වයම සැබෑ සමථයකට පත්කිරීමට උනන්දුවෙයි. මෙහිදී එකම පිළිවෙත සමථකරණයයි. මෙහිදී වරිග සභාවේදී මෙන් දඬුවම් කිරීමක්‌ කිසිසේත් සිදු නොවේ.

මෙම වැඩපිළිවෙල වඩාත් සමාජගත කිරීම සඳහා ආරාවුලක්‌ පිළිබඳව සමථ මණ්‌ඩලයට පැමිණෙන දෙපාර්ශ්වයටම තමන් කැමැති සමථකරුවෙකු සිය ආරවුල විසඳීම සඳහා තෝරාගැනීමට පාර්ශ්වකරුවන්ට නීතියෙන්ම බලය පැවරී ඇත. මෙයින් අදහස්‌ කෙරෙන්නේ අධිකරණයකදී තමා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයකු යොදා ගැනීමක්‌ වැනි තමා නියෝජනය කිරීමක්‌ නොවේ. තමා විසින් නම් කරනු ලබන සමථකරුවා එම සමථ මණ්‌ඩලයට ඉදිරිපත්වන නමුත් ඔහුගේ එකම ධර්මය හා පිළිවෙත වන්නේ ආරාවුලේ ගැඹුර සොයා ගොස්‌ යුක්‌තිය සත්‍යය හා සාධාරණය ඉස්‌මතුකරදීමයි. ඒ අන්දමට දෙපාර්ශ්වය විසින් සමථකරුවන් දෙදෙනෙකු නම්කළවිට එසේ නම්කළ දෙදෙනාගේ අභිමතයට අනුව සමථ මණ්‌ඩලයට සභාපතිවරයෙකු පත්කරගනී. මේ අන්දමට පාර්ශ්වකරුවන් විසින්ම තෝරා ගන්නා සමථකරුවන්ගෙන් යුත් සමථ මණ්‌ඩලයක්‌ පිහිටුවා ගැනීමට ඔවුන්ට නීතියේ ප්‍රතිපාදන සලස්‌වා ඇත.

මෙහිදී පාර්ශ්වකරුවන්ට, සමථකරුවන් පහසුවෙන් හඳුනාගත හැකි නාමපුවරු හෝ සංකේත අංක ප්‍රදර්ශනය නොවීම නිසා තමා කැමැති සමථකරුවෙකු තෝරා ගැනීමේ අපහසුතාවයක්‌ ඇතිවීමෙන් නිශ්චිත වශයෙන්ම තමා කැමැති අය නම්කිරීමට නොහැකි වෙයි. එය සමථ ක්‍රමයේ මූලධර්මයන්ට බාධාවක්‌ විය හැකිය.

සමථ මණ්‌ඩල කොමිෂන් සභාව මගින් නීතියේ ප්‍රතිපාදන මගින්ම සිය ආරාවුල් සඳහා සමථකරුවන් තෝරා ගැනීමේ අයිතිය පාර්ශ්වකරුවන්ට පවරා ඇතත් සිය බල වපසරියට අභියෝගයක්‌ ලෙස සලකන සමහර සමථ මූල මණ්‌ඩලවල සභාපතිවරු තමන් විසින්ම පළමුවෙනි හා දෙවැනි පාර්ශ්වකරුවන් වෙනුවෙන් සමථකරුවන් නම්කොට, සමථ මණ්‌ඩලයේ සභාපතිවරයාද ඔහු විසින්ම නම්කොට සමථ මණ්‌ඩලය පිහිටුවනු ලබයි. මෙය සමථ මණ්‌ඩල කොමිෂන් සභාවේවත් නීතියේවත් අපේක්‌ෂාව නොවේ. සමථ මණ්‌ඩලය නිරන්තරයෙන් වෑයම් කරන්නේ සමථ මණ්‌ඩල ක්‍රියාවලිය උපරිම වශයෙන් ජනගත කිරීමටය.

සමථ මණ්‌ඩල ක්‍රමවේදයේ මූලික හරය වන්නේ ආරාවුල්ගත පාර්ශ්වකරුවන් සමථයකට, සමාදානයකට පත්කිරීමයි. සෑම සමථකරුවකුටම සමථ මණ්‌ඩල කොමිෂන් සභාව හරහා සමාදාන විනිශ්චයකාර ධුරයක්‌ පිරිනමා ඇත්තේද ඒ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහාය. "මේ ආරවුල අපට විසඳන්නට බැරි යයි" යන අදහස මතුවන ආරවුල් ආපසු අධිකරණය වෙත හරවා යෑවීම හෙවත් නිරවුල් නොකිරීමේ බලකඩදාසි නිකුත් කිරීම කාර්යශූර සමථ මූල මණ්‌ඩලයක නියත වගකීම නොවේ. නියත වගකීම වන්නේ ආරවුල සමථයකට පත් කිරීමයි. ඒ සඳහා අධිකරණගත නොවන ආරාවුල්වලදී දින 60 ක කාලයක්‌ සමථ මණ්‌ඩලයකට නීතියෙන්ම ලැබී ඇත.

දෙපක්‍ෂයක්‌ අතර ඇතිවී ඇති ආරවුලකදී සැබැවින්ම ඔවුන් මුණගැස්‌වූ ප්‍රථම වාරයේදීම ඔවුන් සමථයකට ගෙන ඒම අපහසුවිය හැකිය. ස්‌ථාවරය තුළ නොසෙල්වී සිටින මිනිසුන්, ඇට්‌ටරවූ මිනිසුන්, අනුන්ගේ උපදෙස්‌වලට මුලාවූ මිනිසුන්, ආරාවුල්කරුවන් අතර සිsටියහැකිය. ඔවුන් අවශ්‍ය තැනට ගෙනයැම සඳහා යොදා ගතහැකි එක්‌ උපාය මාර්ගයක්‌ විය හැක්‌කේ කාලයයි. ඒ සඳහා සති අටක කාලයක්‌ නීතියෙන්ම ලැබී ඇත. මෙල්ල නොකළ හැකි ආරාවුල් පැමිණි විට දක්‌ෂ සමථකරුවා කරන්නේ ආරාවුලේ අග විභාගය කල්දැමීමය. සතියකට වරක්‌ සමථ මණ්‌ඩලයේ සැසිවාරයෙක්‌ පැවැත්වේ. මේ කාලය උපයෝගී කරගෙන එක්‌ උපාය මාර්ගයක්‌ වශයෙන් ආරාවුල කල් තබමින් ඉදිරියට ගෙන යැමට බාධාවක්‌ නැත. දක්‌ෂ සමථකරුවා කල් තබා ගනිමින් හෝ තමන් ඉදිරියට එන ආරවුල්කරුවන් සමථයකට ගෙන ඒමට උනන්දු වෙයි. මේ හේතුව සමථ මණ්‌ඩල ක්‍රමවේදයේ මූලික අරමුණ වන්නේ ආරාවුල්කරුවන් සමථයකට පත්කිරීම වන බැවිනි. ආරාවුල්වලදී නිරවුල් නොකිරීමේ නියෝග නිකුත් කිරීම දක්‍ෂතාවයක්‌ නොවේ.

අධිකරණයවත්, සමථ මණ්‌ඩල කොමිෂන් සභාවවත් ආරාවුල්වල නිරවුල් නොකිරීම බලාපොරොත්තු නොවේ. කිසිසේත්ම සමථයකට ගත නොහැකි ආරවුල් කලාතුරකින් හමුවෙයි. එවැනි ආරාවුල්වලදී නිරවුල් නොකිරීමේ නිකුත් කිරීම් හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැත. නමුත් අතිබහුතරය සමථයකට පත්වනු දැකීම සමථ මණ්‌ඩල කොමිෂන් සභාවේ අරමුණ විය හැකිය.

අධිකරණගත විෂයවලදී සමථ මණ්‌ඩලයකට කාලය ලැබී ඇත්තේ උපරිම වශයෙන් මාසයකි. සමහරවිට සමහර විෂයවලදී ඊළඟ නඩු දිනය දක්‌වා ඇත. එවැනි හදිසි අවස්‌ථාවලදී අධිකරණයට ගරු කරමින් නියමිත කාලය තුළ විසඳුමක්‌ යෑවීම සමථ මණ්‌ඩලයක වගකීමකි.

රුපියල් දෙලක්‍ෂ පනස්‌ දහසකට අඩු ණය ගනුදෙනු පිළිබඳ ආරවුල් එක එල්ලේම අධිකරණයට ගෙන යැමට නුපුළුවන. නීති ප්‍රතිපාදන අනුව එවැනි මූල්‍ය ගැටළු ප්‍රථමයෙන් සමථ මණ්‌ඩලයක සමථකරණයකට යොමු කොට, එසේ සමථයට පත් නොකළ හැකි මූල්‍ය ආරාවුල් පමණක්‌ සමථ මණ්‌ඩලයක නිරවුල් නොකිරීමේ බලකඩදාසියක්‌ සමඟ අධිකරණයට ගෙන යා හැකිය. මෙහිදී බොහෝවිට පැමිණිලිකරුවන් වන්නේ බැංකුය. බැංකුවලින් ලබාගත් ණය ආපසු බේරාගත නොහැකිව බොහෝවිට අධිකරණය යැමට නිරවුල් නොකිරීමේ බලකඩදාසි ලබා ගැනීම සඳහා බැංකු නියෝජිතයෝ සමථ මණ්‌ඩලවලට පැමිණෙති. මෙහිදි බැංකුවල මුදල් බේරාදීම සමථ මණ්‌ඩලවල වගකීම වන තරමටම ණය බරින් මිරිකී සිටින නැති බැරි මිනිසුන්ට හැකිතරම් දුරට ණය ගෙවීමට සහන සලසාදීමට සමථ මණ්‌ඩල උනන්දු වෙයි.

සමථ මණ්‌ඩල ක්‍රමවේදය විශේෂයෙන් මේ රටේ දුප්පත් ජනතාවට සලසා දී ඇති සහන සේවාවකි. අද මහෙස්‌ත්‍රාත් අධිකරණයකට ගියොත් එහි දකින්නට ලැබෙන අතිබහුතරය සාමාන්‍ය පොදු ජනතාවය. එයින් සනාථ වන්නේ සුළු සුළු ආරාවුල් වැඩි වැඩියෙන් ඇතිවන්නේ පොදු ජනතාව අතර බවකි. මේ නිසා පොදු ජනතාවට සහන සැලසිමක්‌ වශයෙන් රජය මගින් සමථ මණ්‌ඩල කොමිෂන් සභාව හරහා සමථ මණ්‌ඩල ක්‍රමවේදය මේ වනවිට රට පුරාම සමථ මණ්‌ඩල පිහිටුවා ක්‍රියාත්මක කර තිබේ.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/09/12/feature02.html

0 comments: