Pages

Sunday, September 13, 2015

ගොවි බිමේ සිට ආහාර පිඟාන දක්‌වා ආහාර දූෂණය වෙලා

වර්තමානයේ පළිබෝධ නාශක භාවිතය ඇතුළු විවිධ හේතූන් මත ගොවි බිමේ සිට ආහාර පිඟාන දක්‌වාම ආහාර දූෂණය වීම සිදුවීම නිසා ජනතාවට පරිභෝජනය කිරීමට සිදුව ඇත්තේ පෝෂණය අඩු වස සපිරි ආහාරවේලක්‌ බව කාර්මික තාක්‍ෂණ ආයතනයේ (අයිටීඅයි) ආහාර තාක්‍ෂණ අංශයේ ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පැවසුවාය.

අප ආහාරයට ගන්නා බත්වල සිට එළවළු හා පලතුරු දක්‌වාම ආහාර වාර්ග ගොවිබිමේ සිට ආහාර පිඟාන දක්‌වා පසු කර එන ප්‍රවාහනය, ගබඩා කිරීම හා ආහාර පිළියෙල කිරීම යන අවස්‌ථාවන්හිදී දූෂණය වීම සිදු වන බව ආචාර්ය හේවාජුලිගේ මහත්මිය කීවාය.

මෙරට ආහාර දූෂණය වීම සිදු වන ආකාරයන් වශයෙන් ශාක විෂ, දිලීර විෂ, (මයිකොටොක්‌සින්ස්‌) බැක්‌ටීරියා ක්‍රියාකාරීත්වය මගින් නිපදවන විෂ, පශු වෛද්‍ය බෙහෙත් අවශේෂ, පළිබෝධනාශක අවශේෂ, බැර ලෝහ මගින් දූෂණය, දුම් ගසන ලද ආහාරවල ඇති විෂ, ආහාරවල තත්ත්වය යම් ද්‍රව්‍ය යොදාගෙන බාල කිරීම හඳුනාගෙන ඇතැයි ඇය සඳහන් කළාය.


පෙරේදා (10 දා) කොළඹ ජාතික රෝහලේ ස්‌නායු ක්‍ෂණික ඒකකයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී ඇය මෙම කරුණු අනාවරණය කළාය.

දේශීය වශයෙන් ආහාරවල තත්ත්වය බාල කිරීම සඳහා කුළුබඩු, කහ, මිරිස්‌ කුඩු, ගම්මිරිස්‌, තේ. හා කෝපි යොදා ගන්නා බව හෙළිවී ඇතැයි මෙහිදී සඳහන් කළ ආචාර්ය හේවාජුලිගේ වස විසෙන් තොර ආහාර වේලක්‌ ජනතාවට ලබා ගැනීමට ඇති අයිතිය සුරකින අයුරින් බලධාරීන් විසින් කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/09/12/news31.html

Pic Source

0 comments: