Pages

Tuesday, September 1, 2015

මහා සිංහලයේ සුජාත උරුමය සොයා ගියෙමි

මේ උතුම් මිනිසුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට නව තාක්‌ෂණය තවම ළඟාවී නැත. කොටින්ම මේ ගමට විදුලිය පවා ලැබුනේ මීට දශක දෙකකටත් වඩා අඩු කාලයකදීය. දේශපාළුවන් ගේ අවධානය කිසිසේත්ම යොමුවී නැති දොරමඬලාව ගමට තවමත් ඇති එකම ප්‍රවේශ මාර්ගය නිබඳවම දූවිල්ලෙන් පිරුණු ගුරු පාරය.


මහා වංශයේ දසවෙනි පරිච්චේදයේ දොරමඩලාව නම් වසර 4000 ක්‌ පැරණි හෙළ ගම්මානය ගැන මෙසේ සදහන් වේ.

උම්මාද චිත්තාය ආණත්තා දාසී ආදාය දාර කං සමුගෙන පක්‌ය්භීපිත්වාන ද්වාර මණ්‌ඩළකං අගාල

එහි අදහස මෙසේය. උන්මාදචිත්රා වන් විසින් අණ කරණු ලැබූ දාසී දරුවා ගෙන සුමුගක (පෙට්‌ටියක) හොවා දොරමඩලා ගමට ගියාය. මෙලෙස පෙට්‌ටියක සඟවාගෙන දොරමඬලාවට රැගෙන ගිය පිංවත් රජ කුමරා අන්කිසිවෙක්‌ නොව, ධීඝ ගාමිණී (සිංහලේ රෝමියෝ) සහ එක්‌ ටැම් මැදුරක සිරගතව සිටි චිත්රාවන් (සිංහලේ ජුලියට්‌) ට දාව උපන් පන්ඩුකාභය කුමාරයාය.

මේ කුමාරයාගේ ජීවිතයට සිය මාමා වරුන්ගෙන් එල්ලවූ තර්ජන වලින් ඔහු බේරාගෙන, ඔහු ගේ දිවි රැක දුන් දොරමඬලාවේ, මේ උතුම් මිනිසුන් නොවන්නට, එදා අනුරාධපුරය අංගසම්පුර්ණ අලංකාර නගරයක්‌ වන්නේ නැත. රජ මැදුරක නොව, සිංහලේ පිටිසර ගමක හැදී වැඩී සිරිලක රජ වන්නටත්, අපේ පළමු සිංහළ රජු ලෙස විරුදාවලී ලබන්නටත්, පන්ඩුකාභය කුමරාට කිසිදාක හැකි වන්නේද නැත.

අදටත් මේ ගම්මානයේ ජීවත් වන්නේ අපේ උතුම් නරපතියෙකු රැක බලා ගත් පරපුරේ මිනිසුන් ය. ගොවිතැන සේම පශු සම්පතද සිය ජීවන මාර්ගය කරගත් ගොවි පවුල් 500 ක්‌ අදට, දොරමඩලාවේ ජීවත් වේ.

එහෙත් මේ උතුම් මිනිසුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට නව තාක්‌ෂණය තවම ළඟාවී නැත. කොටින්ම මේ ගමට විදුලිය පවා ලැබුනේ මීට දශක දෙකකටත් වඩා අඩු කාලයකදීය. දේශපාළුවන් ගේ අවධානය කිසිසේත්ම යොමුවී නැති දොරමඬලාව ගමට තවමත් ඇති එකම ප්‍රවේශ මාර්ගය නිබඳවම දූවිල්ලෙන් පිරුණු ගුරු පාරය.

"එක ගමකට එක වැඩක්‌, කළ අයට සේම "දිවි නැගුම" කළ අයටද මේ ඓතිහාසික දොරමඬලාව ගමට යන පාර පෙනුණේ නැත. තත්වය එසේ වුවත් මේ අහිංසක මිනිසුන්ට අපුරු ආශීර්වාදයක්‌ ලැබේ. ඒ දොරමඬලාව පුරාණ විහාරය සහ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්‌ඩිත අති ගරු පමුණුවේ සුමනජෝති නායක හිමිපාණන් ඇතුළු මහා සඟරුවනයි. මෙම පිං බිමේ අතීත උරුමය සේම අපේ උරුමයද කියාපාන, සෙල් ලිපි, ටැම් ලිපි හා ලෙන් ලිපිද එහිදී ඔබට දැකගත හැකිය. ඉතා කණගාටුවට හේතුව වන්නේ මේ උරුමයන් රැක ගැනීමට නිසි බලධාරීන් මේ තාක්‌ කිසිම උනන්දුවක්‌ නොගෙන තිබීමය.

එය බෝඩ් ලෑල්ළකට සීමා වී ඇත. ආරක්‌ෂිත වැටක්‌ පවා නැති, විශාල සෙල් ලිපියක්‌ ලියුම් කරු දුටු වේය. තවද, මෙම ලෙන් විහාර ගෙය දැනට ලංකාවේ ඇති දිගම ලෙන් විහාර ගෙය වේ. එසේම ඊට යාබදව ඇති විශ්ණු දේව මන්දීරයේ වු වසර 2300 ක්‌ පමණ පැරණි රත්හඳුන් දේව ප්‍රතිමාවද, ඔබ විසින් දැකිය යුතුම අසිරිමත් දසුනකි. පණ්‌ඩුකාභය රජ සමයේදී මෙය කරවන ලැදැයි කියති.

විහාරාධිපති රාජකීය පණ්‌ඩිත අතිගරු පමුණුවේ සුමනජෝති නායක හිමිපාණන්ගේ කැපවීමේ ප්‍රතිපලයක්‌ ලෙස දොරමඬලාව ගමට බැංකුවක්‌ ලැබුණේය. ලංකා බැංකුව ගමට ආවේය. ඔයාමඩුව ගම් උදාවට, රැගෙන යාමට සැරසුන බැංකුව දොරමඬලාවට ගත්තේ මේ සංඝ පිතෘන්ගේ දැඩි කැපවීම නිසාය.

පන්සල් බිමක ඇති බැංකුවත්, ඔඵ මැසිමත්, අපේ කුහුල දනවයි, ලංකාවේ ඔඵ මැසිමක්‌ පන්සල් බිමක වේ නම්, ඒ දොරමඬලාව ගමේ ඇති ඔඵ මැසිම මිස අන් කිසිවක්‌ නොවේ. ඉකුත් මහා නියන් සායෙදී කන්න දෙකේදීම සිය වගා පාලු වූ දොරමඬලාව ගොවි පවුල් සියල්ලටම පාහේ රුපියල් මිලියන ගණනක ණය ආධාර ලැබුණේ මේ ගමේ ලංකා බැංකු ශාඛාවක්‌ තිබුන නිසාය. මිහින්තලාව නගරයේ සිට කිලෝ මීටර් 8 දුරින් පිහිටි මේ පුණ්‍ය භූමියට ඔබ පා තැබිය යුතුමය. ඤපචමඑeර ඨ්‌පැs වලින් ඔද්දල් වූ ඔබේ දූ දරුවන්ගේ ළමා මනසට සුව දසුනක්‌ සහ අභීමානයක්‌ ගෙනෙන වසර 4000 ක ඉතිහාසයක්‌ ඇති දොරමඬලාව සැබැවින්ම ඔබේ දරුවාට පෙන්විය යුතුමය.

අවසාන වශයෙන් තව එක දෙයක්‌ කිව යුතුය. මෙම පුරාණ ලෙන් විහාරගේ තුළ වඩා හිඳුවා ඇති ඉතා ශාන්ත සමාධි පිළිම වහන්සේ නමක වේ. වසර 60 ක්‌ පැරණි මේ පිළිම වහන්සේ කසා වස්‌ත්‍රයකින් සරසා තිබෙනු පෙනේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව, පිළිමවහන්සේගේ සිරුරේ ස්‌ථාන ගණනාවකට දැඩි ලෙස හානි සිදුවී තිබීමයි.

මෙම පිළිම වහන්සේ වහාම පිළිසකර කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මැදිහත් වන්නේ නම් මැනවි. මන්ද එදා හද්දා පිටිසර දොරමඬලාව ගමේ හැදී වැඩී අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය ලොවට දායාද කළ පණ්‌ඩුකාභය මහරජ තුමා සේම මේ කාලයේදී, අපේ රටේ පාලකයා වී සිටිනේද පිටිසර ගමක හැදී වැඩුණු අපේ කම, ගමේ කම හඳුනන සොඳුරු මිනිසෙකු නිසාය.


(විශේෂ ඉස්‌තුතිය අනුරාධපුර Forest Rock Garden සංචාරක නිකේතනයේ අධිපති, පාරිසරික වාස්‌තුවේදී, බී. චන්ද්‍රසිරි මහතාට,)

ඡායාරූපය සහ සටහන - ජයන්ත විඡේසිංහ
http://www.divaina.com/2015/09/01/feature03.html

0 comments: