Pages

Tuesday, September 22, 2015

ජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමා

සිංහල ජාතියේ පිනට උපන්, බුද්ධ ශාසනයේ වාසනාවට පහළ වූ උදාර ජන නායකයාණන් වූ අනගාරික ධර්මපාලතුමා දෙදහස්‌ පන්සීයේ සම්බුද්ධ ජයන්තියට අප ධර්මද්වීපයට උචිත පසුබිමක්‌ සකස්‌ කිරීමට පෙරුම්පුරා පැමිණි බෝධිසත්වයෙකි. සිංහල ජාතියත් බුද්ධාගමත් ගහත් පොත්තත් මෙන් එකට බැඳී වැඩුණු බව පසක්‌ කළ දම්පල්තුමන් ගේ චින්තනය ක්‍රියාව, වචනය හැම විට ම යොමු වූයේ යටත් විජිතයක්‌ වූ එදා අප රටේ පාලකයන්ගේ ඇස්‌ ඇරවීමටය. සිංහල බෞද්ධයාගේ පරිහාණිය නිද්‍රෝපගත ඔවුන්ට කියාදී දැනුවත් කිරීමටය. පරාධීන මනස ගැති ගතිය දුරුකොට, ස්‌වාධීන මනසක්‌ ස්‌වෛරී චින්තනයත් මතුකර දී අනාගත ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ කිරීමට ය.

මෙයින් වසර එක සිය පණහකට පෙර ධර්මපාලතුමා බිහි වූ ලංකාවේ බෞද්ධකම මෙන්ම, සිංහල නම් ගම් ද, එදා අපේම සිංහල බෞද්ධ ප්‍රභූ සමාජයටත් වහ කදුරු මෙන් වූයේ යටත් විජිත සමයේ දී අධිරාජ්‍යවාදීන්ගේ දැඩි මර්දනකාරී පිළිවෙත නිසා ය. විවාහය ලියා පදිංචි කිරීම, නමක්‌ ලබා දීම යනාදී මූලික මිනිස්‌ අයිතිවාසිකම් සියල්ලක්‌ම පල්ලියට යට විය. සියලු වරප්‍රසාද ලැබුණේ මිෂනාරි අණසකට යට වූ විදේශාධිපත්‍යයේ ගැත්තන්ටය.

නිතර "ඉතිපිසෝ" ගාථාව සිහිපත් කළ ශ්‍රද්ධාවන්ත හේවාවිතාරණ මැතිඳුන් ගේ පුත්‍ර රත්නයට ද ඒ නිසා ම පල්ලියෙන් "දොන් ඩේවිඩ්" යන නමක්‌ ලැබිණි. පල්ලියේ ඉස්‌කෝල අධ්‍යාපනයට, ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කරන ලදුව ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය යනාදියට නොදෙවැනි ව බයිබලය ඇතුළු කිතුනු සාහිත්‍යය මැනවින් උගත් මේ උදාර තරුණ ශිෂ්‍යයා තමාගේ මුල් නම "ඩේවිඩ්" වූව ද, බයිබලය හැදැරීමෙන් පසුව ඒ නම අත්හරින ලදී. ඊට හේතුව වූයේ බයිබලයේ කියෑවෙන පරිදි ඩේවිඩ් යූරි ආ ගේ මරණය සිදු කළ මිනීමරුවා බවත්, ඔහු මරා ඔහුගේ බිරිය අනියම් බිරිය ලෙස පාවාගත් බවත් දැනගැනීම යි. ඒ නයින් දොන් ඩේවිඩ් වෙනුවට ධර්මපාල වූ නම වැළඳ ගත්තා පමණක්‌ නොව සිංහල බෞද්ධයන් ක්‍රිස්‌තියානි නම් අත්හැර බෞද්ධ නම් යොදා ගත යුතු බවට ජාතික ව්‍යාපාරයක්‌ ද ක්‍රියාත්මක කර ලදී.

දොන් ඩේවිඩ් තරුණයා ධර්මපාල නම වැළඳ ගැනීම ඓතිහාසික සිද්ධියකි. කෝට්‌ටේ රාජධානියේ සිටි බුද්ධාගම අතහැර ක්‍රිස්‌තියානි වැළැඳගත් අපේ රට පරංගින්ට ලියා පවරා දුන්නේ ධර්මපාල නම දැරූ උපතින් සිංහල බෞද්ධ රජෙකි. එදා ඔහු සිය දෙමාපියන්ගෙන් ලැබුණු ධර්මපාල නාමය හැර දා "දොන් ජුවන්" වීමට තරම් දේශෙද්‍රෝහීයෙක්‌ විය. ඒ එදාය. මෙදා සිය නුවණ මෙහෙයවා කරුණු විමසා බලා කුඩා කාලයේ දී පල්ලියෙන් දුන් "දොන් ඩේවිඩ්" නම අත් හළ උදාර දේශප්‍රේමියකු වූයේ ශත වර්ෂ එකහමාරකට පෙර උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය.

කිසිම නිල බලයක්‌ තනතුරක්‌ පදවියක්‌ නොදරා, උට්‌ඨාන වීර්යයත්, අධිෂ්ඨානපරවශ ඇප කැපවීමත් නිසාම, දඹදිව බුද්ධගයාව බේරා ගැනීමට, සාරානාථයේ ඉසිපතනය රැක ගැනීමට, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දම්පල් උතුමාණන්ට අප රට ඊනියා සිංහල බෞද්ධ ජන නායකයන් ගෙන් කිසිදු තැකීමක්‌ පිහිටක්‌ නොලැබිණි. එසේ වුව ද ඒ යටත් විජිත සමයේ බටහිර ලෝකයා මවිත කළ මහත්මා ගාන්ධි, රාෙ-න්ද්‍ර ප්‍රසාද් වැනි මහා භාරතයේ ජන නායකයෝ ද, රබීන්ද්‍රනාත් තාගෝර්, ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ් වැනි දාර්ශනික මහා කිවියෝද, විවේකානන්ද තුමන් වැනි අධ්‍යාත්මික ගුරුවරුන්ද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමණන්ගේ කුළුපග මිතුරෝ වූහ.

පානදුරා වාදයේ අනුහසින් ලංකා ද්වීපය සොයා පැමිණ ආනන්ද විද්‍යාලය ප්‍රමුඛ බෞද්ධ පාසල් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක්‌ සිදු කළ හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමන්ගේ පරහිතකාමී උදාර සේවාව සාර්ථක වූයේ ධර්මපාල තරුණයා එවක ඉතා උසස්‌ තනතුරක්‌ වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තමා දැරූ නිලය අතහැර ඕල්කට්‌තුමාගේ භාෂා පරිවර්තකයා වශයෙන් රට පුරා ගමන් කිරීමට මහත් අභිරුචියෙන් ඉදිරිපත්වීම නිසාය. ඒ ගිය චාරිකාවලදී අප රටේ ගම් නියම්ගම්වල ඇති තතු දැනගැනීමේ ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණයක්‌ ලැබූ ධර්මපාලතුමා නිද්‍රෝපගත සිංහල බෞද්ධයා නඟා සිටුවීමට තරයේ අදිටන් කළ බව පෙනේ.

දෙදහස්‌ පන්සීය වන විට සමස්‌ත ලෝක බෞද්ධ ප්‍රජාව එකමුතු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ඵ්ය්ඉදායස නම් සඟරාවක්‌ ද, මර නින්දේ නිදාහුන් සිංහල බෞද්ධ ජනතාව අවදිකිරීමට 'සිංහල බෞද්ධයා' ජාතික පුවත්පත ද ඇරැඹීම, එතුමාගේ ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරේ අනුස්‌මරණීය සිහිවටන වැන්න. දූරදර්ශී තීක්‍ෂණ කල්පනාවෙන් එතුමන් කරන ලද උදාර මෙහෙවර සිහිපත් කරමින් කල්කටාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායකතුමන් වූ මුඛර්ජි තුමා පවසා සිටියේ, එදා ධර්මාශෝක අධිරාජයාණන් ශ්‍රී ලංකා දීපයට අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවකයන් මගින් ලබාදුන් ශ්‍රී සද්ධර්මය නමැති අනඟි දහම් පඬුර නිසා ලංකාද්වීපය ජම්බුද්වීපයට යම් ණය බරක්‌ වීද මෙදා ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහෝත්තමයාණන් විසින් බුද්ධගයාව බේරා ගෙන සාරානාථයේ ඉසිපතනය වැනි බෞද්ධ සිද්ධස්‌ථාන රැක දීමෙන් කරන ලද අමිල මෙහෙවර නිසා ඉන්දියාවට ඒ ණය බර සපුරා ගෙවා දමා ඇති බවයි.

1922 ජනවාරි මස පළමුවැනි දින දේවප්‍රිය මහතා අමතා ලියන ලද ලිපිය, එතුමා ලියන ලද ලිපි ලේඛන සම්භාරයෙන් සුවිශේෂී ලිපියකි.

"බ්‍රහ්ම චරියාව රක්‍ෂා කිරීමට මට සිතට ආවේ අවුරුදු 18 වයසේ දීය. කෑමට ඇති ගිජුකම නැති කරගත්තේත්, ඒ කාලයේ දීමය. විසි වයසේ දී ලෝක ශාසනය උදෙසා වැඩ කිරීමට මට හිත උපන්නා.

දාහත් අවුරුද්දක්‌ මම ඇඳක නිදා ගත්තේ නැහැ. රාත්‍රි පොත් බලන්නට එළියක්‌ ලැබුණේ නැත. පයට සපත්තු සෙරෙප්පු නොදමා හැම තැනම දඹදිව සංචාරය කළේ බුදුහාමුදුරුවො සිහිකරගෙන.

මම තුට්‌ටුවක්‌ වත් වියදම් කරන්නේ කල්පනා කරලයි. තුට්‌ටුව වියදමත් සටහන් කර ගත්තා.

හැම දේම පවිත්‍රව තබා ගනින්. නානකාමරයේ බිම සෝදාපන්. බේසම සබන් දා හෝදන්ට හොඳට ඉගෙන ගනින්. කුණු දැක දැක ඉඳීම දුක්‌ධාපන්තියකි. විහාර හොඳට ශුද්ධ කරවාපන්".

මම කිසි කලෙක කාම සැප සෙව්වේ නැහැ. රහත්වීමට ව්‍යායාම කරපන්. රහත් වෙනවා කියන්නේ චිත්ත සුද්ධිය සම්පූර්ණයෙන් ඇතිකර ගැනීම යි.

අප රටේ ජනනායකයෝ අතුරින් එතුමා තරම් ක්‍රමානුකූලව දින සටහන් පවත්වන ලද ඉංග්‍රීසියේ හා සිංහලයේ අති ව්‍යක්‌ත ලිපි සම්භාරයක්‌ ලියන ලද දුක්‌ විඳපු නායකයකු ගැන කිව නොහැකිය.

ප්‍රකෝටිපති සිටු පවුලක ඉපිද ඒ සියලු ධන සම්භාරය බුද්ධාගමේත් ජනතාවගේත් අභිවෘද්ධියට කැප කළ දම්පල්තුමන්ගේ දර්ශනයේ පදනම වූයේ සිංහල ජාතිය, බුද්ධාගම, සිංහල දේශය, සිංහල භාෂාව යන සිව් මහ අමිල වස්‌තුවයි.

බුද්ධ ධර්මයේ ගැඹුරුම දැනුමක්‌ තිබුණු එතුමන් පටිච්ච සමුප්පාදය, සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම, යනාදිය ගැන සිංහනාද පවත්වමින් ලියා ඇති සටහන් අපට කියා දෙන්නේ බුදු දහමේ සාපේක්‍ෂක ප්‍රායෝගික වටිනාකම මැනවින් උගත් තරමය.

ඇමෙරිකාවේ දෘෂ්ටි සම්මේලනයේ දී බුද්ධාගම පිළිබඳ චතුර දේශනයක්‌ කරමින්, ශ්‍රී විවේකානන්ද තුමන් වැනි මුනිවරුන් ගේ ගෞරවාදරයටත් බටහිර විද්වත් පර්ශදයේ සම්භාවනාවටත් පත් ධර්මපාලතුමන් විසින් ජාත්‍යන්තරය දිනා, විදේශිකයන් විසින් සිංහල බෞද්ධයා ගසා කනු ලබන ආකාරය, "සිංහල බෞද්ධයා" පුවත් පතේ කවි පෙළවල් මගින් අවධාරණය කරන ලදී.

තණ බිම්, හේන් ගොවිතැන් කරන ලද ගම්බද කැලෑ, දයා රහිතව ස්‌වදේශිකයන් ගෙන් කොල්ලකා ගෙන රජයේ ඉඩම් බවට හරවා තේ රබර් වැවීම එතුමා ගේ උදහසට ලක්‌විය. කොම්පැනිකාරයන් රන් පවුම් උපයමින් පිටරට ධනය යෑවීම වේදනාවෙන් විවේචනය කළ එතුමන් සිංහල බෞද්ධ ජනතාවට හරක්‌ මස්‌ සහ අරක්‌කු පුරුදු කිරීමේ සාපකාරී අපරාධය පැහැදිලි කර දීමට ගම් නියම් ගම් නෑර දුර බැහැර දුෂ්කර පළාත් කරා ගිය අයුරු අද අපේ ජාතික ප්‍රතිපත්ති සකසන ජනතා නියෝජිතයන් හොඳින් හදාළ යුතුය.

එතුමා විරුද්ධ වූයේ ජාතිකත්වයෙන් තොර වූ එදා ක්‍රිස්‌තු සභාවට ය. බොහෝ ලිපිවල හා දේශනවල "කන්දඋඩ දේශනාව" මහත් සේ අගයා ඇති දම්පල්තුමන් කියා සිටියේ, කිතුරදුන්ගේ නිහතමානී භාවයත් බැගෑපත් භාවයත් වෙනුවට, අහංකාර පරවශව මිෂනාරීන්, ස්‌වදේශිකයන් ගේ අනන්‍යතාව අකා මකා ලන්නට සුදු අධිරාජ්‍යවාදී පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන කළ දේශ ද්‍රෝහී දුෂ්ට ක්‍රියාදාමය යි.

"අපට අවශ්‍ය වන්නේ, නිහතමානි වූත් බැගෑපත් වූත් යේසු සමිඳුන් ගේ ඉගැන්වීම්ය. එසේ කියන්නේ දැනට අපේම ආගම් තුළ ඒ නැති බැවින් නොව, ඒවා අපට වඩාත් අවශ්‍ය වන බැවිනි".

අතිශය සාධාරණ ව අනෙක්‌ ආගම් හා දර්ශන හදාළ අනගාරික ධර්මපාලතුමන් හට බුදු දහමත් බෞද්ධ චරිතයත් හදාරන්නට හදාරන්නට අපේ ජනතාව අත් හරින්නේ මිණි මුතුවන් අගනාතම දහම වන බුදු දහම බවත් ආර්ය සිංහල චාරිත්‍රවාරිත්‍ර බවත් පසක්‌ විය. මේ නිසා දම්පල්තුමන්ගේ හිතේ ඇතිවුණු සංතාපය දුරු කිරීම අපේ පරම වගකීමයි.

2015.9.17 ට යෙදී ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි උපන් දිනය නිමිත්තෙනි.

වි. ජ. මු. ලොකුබණ්‌ඩාර
http://www.divaina.com/2015/09/17/feature01.html

Pic Source

සබැඳි ලිපි -
[

අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් 1http://denethharinna.blogspot.com/2015/09/blog-post_84.htmlතම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: