Pages

Monday, September 7, 2015

"රාජවරෝතියම් සම්බන්ධන්" ඉල්ලන ඒකීය-ෆෙඩරල්

"රාජවරෝතියම් සම්බන්ධන්" ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකවරයාය. විපක්‍ෂ නායකවරයා ලෙස පත් වූ දා පටන් පසුගිය සතිය පුරාම බොහෝ මාධ්‍ය, සම්බන්ධන් ගැන බොහෝ දේ කතා කළහ. සම්බන්ධන් කතා කරන්නටත් පෙර බොහෝ දෙනෙක්‌ ඔහු හිතන ආකාරයත්, ඔහුගේ අනාගත දේශපාලන ක්‍රියාවලිය ගැනත් බොහෝ දේ කීහ.

ඒ අතරවාරයේ සති අන්ත පුවත්පත් කිහිපයකට සම්බන්ධන් කතා කර තිබිණි. ඔහු තමන්ගේ පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානයේ හා තමාගේ අනාගත දේශපාලන ගමන ගැන "පරිස්‌සමින්" කතා කර තිබිණි. මේ ප්‍රවේසම දේශපාලනඥයෙක්‌ වශයෙනුත්, දෙමළ ජාතික සන්ධානයේ විපක්‍ෂ නායකවරයා ලෙස ඔහු ගැන දකින, හිතන පතන උදවියගේ පැත්තෙනුත් අතිශය වැදගත්ය.

රාජවරෝතියම් සම්බන්ධන් විපක්‍ෂ නායකවරයා වශයෙන් පත්වීම ගැන කිසිවෙකුගෙත් සිතේ, කිසිදු කහටක්‌ නැති බව ඉඳුරාම විශ්වාසය. එසේ වන්නට හේතුවක්‌ද නැත. 1977 වර්ෂයේදී සම්බන්ධන් ද නියෝජනය කළ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ද විපක්‍ෂ නායක ධුරයට පත්විය.

විපක්‍ෂ නායක ධුරය ලැබීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේදී සේම, පුවත්පත්වලට ද ප්‍රකාශ කළ අයුරින්, කිසිදු ලෙසකින් රට බෙදන යෝජනාවකට ඔහු එකඟ වන්නේ නැත. මෙරටේ ජීවත්වන සෑම ජනතාවක්‌ම නියෝජනය කරමින් විපක්‍ෂ නායකයා ලෙස ක්‍රියාත්මක වන බව ඔහු කීවේය. එහෙත් බොහෝ දෙනා තුළ පොඩි සැකයක්‌ ඇතිව තිබුණේ සම්බන්ධන් රට නොබෙදීමේ පදනම යෑයි හඳුන්වා දෙන්නේ ඒකීය රටක්‌ තුළද ෆෙරල් රාජ්‍යයක්‌ තුළදී යන්නයි. ඊට ගැළපෙන පිළිතුරක්‌ ඊයේ (06 වැනිදා) "දිවයින ඉරිදා සංග්‍රහය"ට ආර්. සම්බන්ධන් විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ සටහන්ව තිබිණි.

"රට බෙදන්නේ නැතුව එකට කටයුතු කරන්න තිබෙන හොඳම විසඳුම තමයි ෆෙරල් පාලනයක්‌ ඇති කිරීම. ලෝකයේ ෆෙරල් පාලනයක්‌ තියෙන බොහෝ රටවලත් ඒක පැහැදිලිවම පේන්න තියෙනවා" සම්බන්ධන් එසේ කියන්නේය.

අප විශ්වාස කරන්නේ ආරම්භයේදීම ගරු විපක්‍ෂ නායකවරයා එවැනි ප්‍රකාශයක්‌ කිරීම එතරම් සුදුසු නොවන බවය. එය කිසි විටෙකත් එදා බී. බී. සියට කරන ලද ප්‍රකාශය සමඟ නොගැළපෙන අන්දමේ ප්‍රකාශයකි. තමන් කිසි විටෙකත් රට බෙදීමට කතා නොකරන බවත්, සිංහල දේශපාලන පක්‍ෂයක නායකයකු ආකාරයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස රට බෙදීමට "එරෙහිව" කටයුතු කරන බවත් සම්බන්ධන් එහිදී ප්‍රකාශ කර තිබිණි.

පුදන කොටම කාපි යකා මෙන් අප, සම්බන්ධන්ගේ ප්‍රකාශ ගැන විවේචනය කිරීමට හෝ දෙමළ සන්ධානයේ "විපක්‍ෂ භූමිකාව" ගැන අනාවැකි කීමට ඉක්‌මන් වනවා යෑයි කිසිවෙකුත් කලබල වීමට අවශ්‍ය නැත. එහෙත් සිහිපත් කළ යුතු සහ කට කෑවත් කිව යුතු බොහෝ දේ තිබේ.

දෙමළ සන්ධානය පිළිබඳව රටේ ජනතාව තුළ පැහැදීමක්‌ නොතිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. දෙමළ සන්ධානය ක්‍රියාත්මක වූයේ එල්. ටී. ටී. ඊ. යේ ඉලක්‌කවලට බව බොහෝ දෙනකුගේ විශ්වාසය විය. එය ඕනෑකමින් සිදුවූවක්‌ද, එල්. ටී. ටී. ඊ. යේ බලපෑම මත සිදුවූවක්‌ද යන්න අපි නොදනිමු. එහෙත් මේ මොහොතෙහිද එල්. ටී. ටී ඊ. හඬ නියෝජනය කරන දෙමළ ඩයස්‌පෝරාවේ "රට බෙදනා" සටන්පාඨවලට කොඩි ඔසවන්නේ දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ පිරිසම බව ද අප විපක්‍ෂ නායකවරයාට සිහිපත් කර සිටිමු.

විපක්‍ෂ නායකවරයාගේ පක්‍ෂයටත්, විපක්‍ෂ නායකවරයාටත් එල්ල වන එවැනි බොහෝ චෝදනාවලින් නිදහස්‌ වීමටත්, එය එසේ නොවේ යෑයි ඔප්පු කිරීමටත් මේ ලැබී ඇත්තේ අගනා අවස්‌ථාවකි. රට නොබෙදනවා යෑයි කියන අතරේම ෆෙරල් වැනි විසඳුම් සමඟින් ආණ්‌ඩුව සමඟ හෙට්‌ටු කිරීමට යැම එල්. ටී. ටී. ඊ යෙත්, දෙමළ ඩයස්‌පෝරාවේත්, දෙමළ සන්ධානයෙත් මුල් අරමුණේම දැඩිව පිහිටමින් කටයුතු කිරීමක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. එය රටේ ජනතාව තුළ ගොඩනැඟෙමින් තිබෙන සංහිඳියාවට හානිදායක බව නැවතත් කියමු. ගරු විපක්‍ෂ නායකවරයාත් විපක්‍ෂයත් ජාතිවාදය කරපින්නාගෙන යන පිරිසක්‌ නොව, රටේ පොදු ප්‍රශ්නවලට මැදිහත් වන සාමාන්‍ය විපක්‍ෂයක්‌ බවට ඒත්තු ගැන්වීමට පූර්වාදර්ශයෙන් ප්‍රායෝගිකව ක්‍රියා කිරීම මේ මොහොතේ වැදගත් බව ද සිහිපත් කරමු.

http://www.divaina.com/2015/09/07/editor.html

Pic Source

3 comments:

Anonymous said...

යහපාලනේට කඩේ ගිය ඔහෙල දැන් බොරුවට මේ පෙස්ට් දාල හරියන්නේ නෑ. ජනවාරි 8 කරපු වැරැද්ද ඉස්සර වෙලා පිළිගන්න.

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ඔබ නිවැරදියි ඇනෝ. මේ ගොල්ලන් යහපාලනේට කඩේ ගිහින් මහින්දට විරුද්ධව මහින්ද වට්ටන්න කතා කරා ජනවාරි 8ට කලින්. දැන් මේව ගැන කතා කරන්න ඉස්සර වෙලා තමන් කළදේ අනුව සම්පන්දන්ලා බලවත් වුන එක පුදුමයක් නෙවෙයි කියල තේරුම් ගතයුතුයි.

Anonymous said...

මහින්දගෙ ගොට්ටන්ට මහින්ද කරපුව ඔක්කොම හොඩයි. බඩ්ඩුද්දීන්ට විල්පත්තුව බෙදල දුන්න එකත් හොඩයි. සජින්වාස් අපේ සල්ලි වලින් නිල් බලපු එකත් හොදයි. හකීම් නීති විද්යලෙට තම්බි පුරෝපු එකත් හොඩයි. සාම විනිසුරුවො බහුතරයක් තම්බින්ට දුන්නු එකත් හොඩයි. අනේ බයියනේ, හරිදේ හරියටත් වරඩි දේ වරඩියටත් දකපල්ලා