Pages

Tuesday, September 22, 2015

තලෙයිමන්නාරම හා ඉන්දියාවේ දනුස්‌කොඩිය අතර පාලම රටේ ආරක්‌ෂාවට - ආර්ථිකයට තර්ජනයක්‌ - ගම්මන්පිල

තලෙයිමන්නාරම හා ඉන්දියාවේ දනුස්‌කොඩි අතර ඉදිකෙරෙන පාලම අප රටෙ ආරක්‌ෂාවට, ආර්ථිකයට හා ස්‌වෛරීත්වයට තර්ජනයක්‌ බැවින් එයට අප විරුද්ධ යෑයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පිටකෝට්‌ටේ පැවැති එම පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (21 දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවැසීය.

රටවල් දෙක අතර ඉදිකරෙන මෙම පාලම පිළිබඳව ශ්‍රී ලංකාව එකඟතාව පළකලද නැද්ද යන්න තවමත් මේ ආණ්‌ඩුව රටට හෙළිකර නැති බවත් සඳහන් කළේය.

මෙම පාලම ඉදිකිරීමට ඩොලර් බිලියන 5.2 ක ණයක්‌ ඉන්දියාව ආසියානු සංවර්ධන බැංකුවෙන් අනුමත කරගෙන තිබෙන බැවින් ශ්‍රී ලංකාව මේ සඳහා එකඟතාවක්‌ පළකර ඇතැයි යන්න උපකල්පනය කිරීමට සිදුවන බවත් පැවැසීය.

මෙම පාලම ඉදිකිරීමේ වාසිය දෙරටටම ලැබෙනවා නම් ණයෙන් කොටසක්‌ බාර ගන්නා ලෙස නිකමටවත් ශ්‍රී ලංකාවට ප්‍රකාශ කර නොමැති වීමෙන් පැහැදිලි වන්නේ මෙහි වාසිය ඉන්දියාවට ලැබෙන බව යෑයි ද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාවට කිලෝමීටර් 32 ක්‌ ආසන්නයේ පිහිටියත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්‌ ලෙස කවදාවත් සැලකුවේ නැති බැවින් ශ්‍රී ලංකාවට වසර දහස්‌ ගණනක්‌ ස්‌වාධීනව සිටීමට හැකිවූ බවත් පැවැසූ ගම්මන්පිල මහතා එම සුවිශේෂී ආරක්‌ෂාව මේ හරහා විනාශ කිරීමට සූදානම් වන බවත් පැවැසීය.

ඉන්දියාව මෙතරම් විශාල මුදලක්‌ වැය කරමින් මෙම පාලම ඉදිකරන්නේත්, සීපා ගිවිසුම අත්සන් කරන්නේත් ඔවුන්ගේ දැවැන්ත ප්‍රශ්න දෙකක්‌ වන විරැකියාවට හා දිළිඳු භාවයට විසඳුමක්‌ ලබාදීමට බවත් කීවේය.

ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ලංකාවේ අපරාධ විමර්ශන ක්‍රියාවලිය ලංකාවේ අධිකරණ පද්ධතියට නිර්දය ලෙස පහර දෙමින් මානව හිමිකම් කොමසාරිස්‌ සිය වාර්තාව ඉදිරිපත් කරමින් කතා කළා.

මේ අවස්‌ථාවේ ස්‌වාධීන රාජ්‍යයක විදේශ ඇමැතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ අභිමානය රැකෙන අයුරින් කතා කිරීමට අපේ විදේශ ඇමැතිවරයාට තිබුණා. නමුත් අපේ විදේශ ඇමැතිවරයා එම වාර්තාව අගයමින් වර්ණා කරමින් කතා කළේ. මෙවැනි දීනභාවයක්‌, යටත්ගැතිභාවයත් ශ්‍රී ලංකා ඉතිහාසයේ කවදාවත් ප්‍රදර්ශනය වෙලා නෑ.

මේ යුද අපරාධ අධිකරණය පිහිටුවන්නේ අපේ රණවිරුවන්ට බොරු චෝදනා එල්ල කර කොටින්ගේ මනදොල සපිරීමටයි කියලා අපි නොබියවම කියනවා. මෙහි පසුබිම අපි දන්න නිසා අපි යුද අපරාධ අධිකරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. අපි රණවිරුවන් බේරා ගැනීමට වගකීමෙන් නිදහස්‌ කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මානව හිමිකම් කොමිසම මෙවැනි අධිකරණයක්‌ ලෝකයේ වෙනත් රටකට නිර්දේශ කර තිබේදැයි ප්‍රකාශ කරන ලෙස විදේශ ඇමැතිවරයාට මා අභියෝගයක්‌ කරනවා. ඇයි අපිට විතරක්‌ ලෝකයේ කිසිම රටකට නොසලකපු ආකාරයෙන් කටයුතු කරන්නේ. මෙවැනි අධිකරණයක්‌ පිහිටුවන්නේ නම් මුලින්ම පිහිටුවිය යුත්තේ ඇමරිකාවයි. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌ථානයට ඉරාකයට ගිහින් ඒ රටවල ජනතාව දස දහස්‌ ගණනින් මරා දැම්මා. අපේ රටේ රණවිරුවන් කළේ ත්‍රස්‌තවාදීන් අප රටේදී මර්දනය කිරීම පමණයි. ස්‌වාධිපත්‍ය තිබෙන ඕනෑම රටක හමුදාවට තිබෙන අයිතියක්‌ අපේ හමුදාව කළේ.

පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා

දෙමහුන් ඒකාධිපති ජනාධිපතිවරයාගේ අලුත්ම ගොදුර මමයි. සන්ධානය වෙනුවෙන් කළ මෙහෙයට තෑග්ගක්‌ ලෙස ඊළඟ පළාත් සභා මන්ත්‍රීවරයා වීමට සිටි තමාට එය ලබා නොදීමයි. පක්‍ෂයේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමේ ගොදුරක්‌ බවට මා පත්ව තිබෙනවා.

මරණ දණ්‌ඩනය ගේන්න කිව්වම ජනාධිපතිවරයා කියනවා එතුමාට කරන්න පුළුවන් නමුත් එය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට භාර දෙනවා කියලා. නමුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පෝරකයට යවන්නේ එතුමා කාගෙන්වත් අසා නොවෙයි.

ජාත්‍යන්තර සබඳතා ලේකම් සුගීෂ්වර බණ්‌ඩාර මහතාද මෙයට එක්‌ විය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2015/09/22/news22.html

Pic Source

සබැඳි ලිපි -
[
ධනුෂ්කොඩියෙන් තලෙයිමන්නාරමට පාලමක්http://denethharinna.blogspot.com/2015/09/blog-post_56.html
]

0 comments: