Pages

Tuesday, September 8, 2015

ඇස්‌බැස්‌ටස්‌ අංශුවලින් ඉන්නන් විශේෂයක්‌ද ඇති වෙන්න පුළුවන් - මහාචාර්ය රංජිත් කුමාරසිරි


ඇස්‌බැස්‌ටස්‌ භාවිතය නිසා පිළිකා ඇතිවන බවට සමාජයේ මුල්බැස ගෙන ඇති මතයට රජයෙන්ද කොළ එළියක්‌ දල්වා තිබේ. ඒ ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශනයකිනි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයට අනුව 2018 සිට ශ්‍රී ලංකාවේ ඇස්‌බැස්‌ටස්‌ භාවිතය තහනම් වනු ඇත. ඒ අනුව ඇස්‌බැස්‌ටස්‌ ආනයනය හෝ නිෂ්පාදනයද තහනම් වනු ඇත.

ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ සමාජයේ ඇති අනෙක්‌ කථිකාවතද වැදගත්ය. මෙම සෙවිලි තහඩු ලාභදායි මෙන්ම ප්‍රයෝජන අධික ද්‍රව්‍යයක්‌ ලෙස සැලකේ. එමෙන්ම ගින්නට විදුලියට ඔරොත්තු දෙන මලකඩ නොබැඳෙන නිසාත් පාවිච්චිය පහසු නිසාත් බහුතරයක්‌ මෙම ඇස්‌බැස්‌ටස්‌ ෂීට්‌ පාවිච්චියට පෙළඹී සිටිති.

ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදනයට වසර 4500 ක පමණ ඉතිහාසයක්‌ ඇත. අතීතයේදීද මෙහි ඇති හානිය පිළිබඳ වාර්තා වී ඇත. මෙම ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන සමාගම්වල සේවක පිරිස්‌ මිය යැමේදී ප්‍රධාන හේතුව ලෙස සොයා ගෙන තිබුණේ ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝග තත්ත්වයකි. ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත් වූවන් මෙම රෝග තත්ත්වයන්ට හේතු ඇස්‌බැස්‌ටස්‌ අංශු බව සොයාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව පුද්ගලයන් මිලියන 125 ක්‌ පමණ වාර්ෂිකව ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්තය හා ආකරවලදී නිරාවරණය වන බවත් එයින් පුද්ගලයන් 10,700 ක්‌ මියයන බවත් නිරීක්‍ෂණය කොට ඇත.

වෛද්‍ය මතය අනුව ඇස්‌බැස්‌ටස්‌ පාවිච්චිය මනුෂ්‍ය සෞඛ්‍යයට අහිතකරය. 1899 දී ලන්ඩන් හි මොන්ටේගු මරේ නමැති වෛද්‍ය විශේෂඥයා විසින් කරන ලද පර්යේෂණ අනුව ඇස්‌බැස්‌ටස්‌ පිළිකා කාරකයක්‌ බව සොයාගෙන ඇත. එහෙත් ඒ පිළිබඳ වාර්තා නිකුත් වී ඇත්තේ 1906 දීය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍යය ඒකකයේ මහාචාර්ය රංජිත් කුමාරසිරි මහතා සඳහන් කරන අන්දමට ඇස්‌බැස්‌ටස්‌වලින් සිදුවන හානිය කීපාකාරයකින් සිදුවිය හැකිය. ඇස්‌බැස්‌ටස්‌ වර්ග කීපයක්‌ තිබෙනවා. එයින් වඩාත්ම අනතුරුදායක වන්නේ නිල් හා දුඹුරු ඇස්‌බැස්‌ටස්‌ය. දැනට බහුලව භාවිත කරන සුදු ඇස්‌බැස්‌ටස්‌ වලින්ද හානි සිදුවන බව සොයාගෙන තිබෙනවා. මේ ඇස්‌බැස්‌ටස්‌වලින් ඉතා හීන් කෙඳි විශේෂයක්‌ වාතයට එකතු වෙනවා. ඒ කෙඳි ස්‌වසන මාර්ග ඔස්‌සේ ශරීරගත වූ විට ඇස්‌බැස්‌ටෝසස්‌  නමැති රෝගයට ගොදුරු වෙනවා. එහි ලක්‍ෂණ තමයි පෙනහළු අක්‍රිය වීම. විශේෂයෙන්ම මේ තත්ත්වයට බහුලව මුහුණ දෙන පිරිස තමයි ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්ත ශාලාවල සේවය කරන අය හා වාහන සේවා කරන ස්‌ථානවල කටයුතු කරන අය.

වාහනවල බ්‍රේක්‌ පෑඩ් නිෂ්පාදනය කර තිබෙන්නෙ ඇස්‌බැස්‌ටස්‌ භාවිත කරලයි. වාහන ධාවනයේදී තිරිංග තද කරන විට බ්‍රේක්‌ පෑඩ්වලින් ඩ්‍රම් එකට එකතු වන අංශු වාහන සේවා ආයතනවලදී පරිසරයට එකතු වෙනවා. වාහන ධාවනයේදීත් ඒ ආකාරයට බ්‍රේක්‌ පෑඩ් අංශු එකතු වෙනවා. නමුත් වාහන සේවා ආයතනවලදී වාහනයේ රෝද ගලවන විට එහි එකතු වී ඇති බ්‍රේක්‌ පෑඩ් අංශු එක පාරටම පරිසරයට එකතු වීමෙන් ඒවායේ සේවය කරන අයගේ පෙනහළුවලට ඇතුළුවීමේ ප්‍රවණතාව වැඩියි.

ඒ වගේම දැන් නිවාසවල වහලය සෙවිලි කරන්නට ඇස්‌බැස්‌ටස්‌ යොදා ගන්නවා වගේම බහුලව සිවිලින් සඳහාත් අස්‌බැස්‌ටස්‌ ෂීට්‌ යොදා ගන්නවා. සිවිලිමට යොදා ගන්නා ඇස්‌බැස්‌ටස්‌ ෂීට්‌ වලට රබර් පේන්ට්‌ ආලේප කිරීමෙන් හානිය වළක්‌වා ගන්න පුළුවන් කියල විශ්වාසයක්‌ තියෙනවා. ඒක තාවකාලිකයි.

දැන් දැන් විදේශ රටවල්ද ඇස්‌බැස්‌ටස්‌ ෂීට්‌ භාවිතයෙන් ඈත් වෙනවා. අපි දියුණු වෙමින් පවතින රටක්‌ නිසා එකවරම මෙම ෂීට්‌ තහනමට මුහුණ දෙන්න අමාරුයි. නමුත් ජනාධිපතිවරයා ඒ ගැන කල්පනා කරලා 2018 සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීම නිසා ඊට මුහුණ දෙන්න අපට සූදානම් වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම අපි මතක තියා ගන්න ඕනෑ තව දෙයක්‌ තිබෙනවා. ඇස්‌බැස්‌ටස්‌ අංශු වාතය මගින් ශරීරය ඇතුළු වී මාරාන්තික තත්ත්වයක්‌ ඇති කරනවා වාගේම මිනිස්‌ ශරීරයේ සම මතුපිට ඒ ඇස්‌බැස්‌ටස්‌ අංශු තැන්පත් වීමෙන් ඉන්නො විශේෂයක්‌ හට ගන්නවා. ඒක ගැන අපි හිතන්නෙ නෑනේ. මේ කොයි විදියට බැලුවත් ඇස්‌බැස්‌ටස්‌ අපිට හානි නිසා ඒවා භාවිතයෙන් ඈත් වීම තමයි අප කළ යුත්තේ" යෑයිද මහාචාර්ය රංජිත් කුමාරසිරි මහතා කීවේය. 

*ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/09/08/feature01.html

0 comments: