Pages

Tuesday, September 22, 2015

ජිනීවා වාර්තාව: ප්‍රතිවිපාක සහ අභියෝගයන්

"රාජ්‍ය ආරක්‍ෂක බළකායන් විසින් දිගුකාලීනව සහ විධිමත්ව ක්‍රියාත්මක කරන ලද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් නිරන්තරයෙන්ම වාර්තා වූ බලහත්කාර අතුරුදන්කරවීම්වලට සහ නීති විරෝධී ඝාතනවලට තුඩුදුන් බව ශ්‍රී ලංකාව පිළිබඳව විමර්ශනයේ යෙදෙන මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌වරයාගේ කාර්යාලයෙන් (OISL) වාර්තා කර සිටියා". 'ශ්‍රී ලාංකීය ආරක්‍ෂක බළකායන් විසින් වධහිංසා පැමිණවීම් කෲර ලෙස සිදුකර ඇති බවට OISL කරුණු දක්‌වා සිටියා. 

දිගු කාලයක්‌ තිස්‌සේ බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් වාර්තාව දැන් නිකුත් වී ඇත. එකී වාර්තාවේ අන්තර්ගතයන් අප රටෙහි ඉරණම කෙරෙහි තදබල බලපෑමක්‌ ඇති කරන හෙයින් මෙම තීරණාත්මක ලේඛනයේ අන්තර්ගත සොයා ගැනීමවල ස්‌වභාවය සහ බලපෑම පිළිබඳ පූර්ණ අවබෝධයක්‌ මුල් අවස්‌ථාවේදීම ශ්‍රී ලාංකීය ජනතාව ලබා තිබීම අතිශයින්ම වැදගත් කරුණක්‌ වන්නේය.

පක්‍ෂග්‍රාහී දේශපාලන ප්‍රවේශයන් අභිබවා යන දැනුවත් මහජන සංවාදයක තදබල අවශ්‍යතාවක්‌ පවතින බැවින් මාගේ අරමුණ වනුයේ එම වාර්තාවේ සඳහන් අතිශය වැදගත් කරුණු කිහිපයකට අවධාරණය යොමු කරවීමයි.

විමර්ශනය දේශීය වියයුතුද ජාත්‍යන්තර විය යුතුද?

මහ කොමසාරිවරයාගේ නිර්දේශ මාලාවේ වැදගත්ම අංගය ලෙස ඔහු විසින් ප්‍රබල ලෙස අවධාරණය කර සිටිනු ලබන්නේ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන්, අභිචෝදකවරුන්ගෙන්, නීතිඥවරුන්ගෙන් සහ විමර්ශකවරුන්ගෙන් සමන්විත විශේෂ, දෙමුහුන් අධිකරණ ස්‌ථාපිත කිරීමයි. යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරනු ලැබූ අපරාධ විභාග කිරීම මෙම අධිකරණයන්ගේ කාර්යභාරය ලෙස විශේෂයෙන් සඳහන් කරනු ලැබ ඇත. 

මහකොමසාරිස්‌වරයා ඔහුගේ නිශ්චයන් තුළ පැහැදිලිව කියාපාමින් ඉල්ලා සිටිනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වගවීම් සාක්‌ෂාත් කර ගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයෙන් ඔබ්බට ගිය යමක්‌ අවශ්‍ය වන බවයි. ඔහු තවදුරටත් සඳහන් කරනු ලැබුවේ පූර්ණ දේශීය යාන්ත්‍රණයක්‌ තුළ, සිදුවුණා යෑයි චෝදනා කරනු ලබන අපරාධවල වින්දිතයන්ට සහනශීලී ප්‍රතිකර්මයක්‌ නොලැබිය හැකි බවයි.

ඒ අනුව කිසිදු සැකයකින් තොරව ප්‍රකාශ කළ හැකි වන්නේ ස්‌ථාපිත කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ හෝ දේශීය යාන්ත්‍රණයක්‌ නොවන බවත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාත්‍යන්තර අධිකරණමය ව්‍යුහයක්‌ වන බවත්ය. 

මෑත කාලයේදී මා පාර්ලිමේන්තුවේදී කිහිප අවස්‌ථාවකදීම ගෙනහැර දක්‌වනු ලැබුවේ ජාත්‍යන්තර අධිකරණයකට අවම වන යමක්‌ පිළිගත හැකි නොවන බවට බලගතු විදේශීය රාජ්‍යයන්වලදී නැවත නැවතත් සිදුකරනු ලැබූ ප්‍රකාශවල ගැබ්ව ඇති අන්තරායකාරී බවයි.

මෙයට පිළිතුරු වශයෙන් රජය අවධාරණාත්මකව සඳහන් කරනු ලැබුවේ එම ප්‍රකාශයන් බලාත්මක නොවන බවත්, ශ්‍රී ලංකා රජය කිසිදු අවස්‌ථාවකදී ජාත්‍යන්තර යාන්ත්‍රණයකට එකඟ නොවන බවත්, රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන්කරුවකු නොවන බැවින් එසේ සිදුකිරීමට කිසිදු බැඳියාවක්‌ ශ්‍රී ලංකාවට නොමැති බවත්, රජයේ ස්‌ථිර ප්‍රතිපත්තිය වන්නේ ජාතික නීති පද්ධතියේ රාමුව තුළ තම කාර්යයන් ඉටුකරන දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම බවත්ය.

නමුත් සිදුව ඇත්තේ මීට හාත්පසින් ම වෙනස්‌ වූ කරුණකි. එනම් කවුන්සිලයේ ප්‍රධාන යෝජනාව ලෙස ජාත්‍යන්තර අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමේ නිර්දේශයෙන් නොනැවතී කවුන්සිලය තවදුරටත් අන්තරායකාරී ලෙස ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාත්‍යන්තර විමර්ශනය වෙනත් රටවල ස්‌ථාපිත කරනු ලැබූ විශේෂ දෙමුහුන් අධිකරණවල සාර්ථකව භාවිත වුණු යහපත් පරිචයන් සහ උගත් පාඩම්වලින් උකහා ගත යුතු බවයි.

ඒ අනුව මෙමගින් අදහස්‌ වන්නේ බටහිර අප්‍රිකාවේ ජාත්‍යන්තර යුද අපරාධ සඳහා වූ සියෙරා ලියොන්හි විශේෂ අධිකරණය සහ පෙර යුගොස්‌ලාවියාව, ලයිබීරියාව හා කාම්බෝජය යන රටවල්වල ස්‌ථාපිත කරනු ලැබූ ඒ සමාන විනිශ්චය සභාවලට විෂය වූ අවස්‌ථාවන්ට සම වූ තත්ත්වයකලා ශ්‍රී ලංකාව සලකනු ලැබීමට අදහස්‌ කරන්නේද? එම සන්දර්භයන් සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය අතර පවතින පැහැදිලිව වෙන්කර දැක්‌විය හැකි සහ මූලික වෙනස්‌කම් සැලකීමකින් තොරව මෙම සමීකරණය ගොඩනඟනු ලබන්නේද? එසේම අප යම් හෙයකින් මෙසේ කිරීමට සූදානම් වන්නේ නම් එමඟින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ බළකායන්ට සිදුවිය හැකි භයානක ප්‍රතිවිපාකයන් පිළිබඳව අප පූර්ණ වශයෙන් දැනුවත් වී සිටින්නෙමුද?

ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් වාර්තාවට අනෙකුත් කරුණු අතර පහත සඳහන් අයුරින් එකිනෙහිම ප්‍රතිචාර දක්‌වමින් කියා සිටියේ මෙම වාර්තාව රජය විසින් පූර්ණ ලෙසම හඳුනා ගන්නේ මානව හිමිකම් නියෝජනය කරන පරීක්‍ෂණයක්‌ ලෙස මිස අපරාධ පරීක්‍ෂණයක්‌ ලෙස නොවන බවයි. අවාසනාවකට මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම නිරවද්‍ය නොවේ. සන්නද්ධ බළකායන් විසින් සිදුකරනු ලැබුවා යෑයි කියන අපරාධයන්ගේ සහ එයින් පැන නඟින අපරාධ වගකීම්වල බරපතළ බව මහ කොමසාරිස්‌වරයා කිසිදු මැළිකමකින් තොරව සඳහන් කරනු ලැබ ඇත. ජිනීවාහි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කරනු ලැබුවේ අපරාධවල දරුණු බව පුදුමසහගත බවයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ ලිංගිකමය ස්‌වභාවයේ අපරාධ පිළිබඳව කියවීමට ලැබෙන දේ අතිශය ඛේදජනක බවයි. කිසිදු විවාදයකින් තොරවම, ජාත්‍යන්තර නීතියේ දක්‌නට ලැබෙන දරුණුතම අපරාධය වන වර්ග ඝාතනය නම් වූ විෂයට අදාළව මහ කොමසාරිස්‌වරයා පවසා සිටියේ, දැනට ලංකාව තුළ එසේ සිදුව ඇතැයි ඔවුන් නොසිතන නමුත්, පසු අවස්‌ථාවකදී එම නිගමනයට එළඹීමට ඉඩ ප්‍රස්‌ථා ඇති බවත්ය.

යුද හමුදා නිලධාරීන්ට එරෙහි බරපතළම සොයා ගැනීම්

ජිනීවාහි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ කොමසාරිස්‌වරයා නිවේදනය කරනු ලැබුවේ සිදුකරනු ලැබූ සොයා ගැනීම් බොහෝ බරපතළ ස්‌වභාවයක්‌ උසුලන්නේ ඒවායේ ඇති විධිමත් වූ රටාව සහ අතිශය නින්දිත ස්‌වභාවය හේතුවෙන් බවයි. වාර්තාවේ පැහැදිලිවම දක්‌වා ඇත්තේ ශ්‍රී ලාංකීය සන්නද්ධ බළකායන් විසින් බරපතළම අපරාධ කර ඇති බව නිගමනය කිරීම සඳහා සාධාරණ පදනම් ගණනාවක්‌ පවතින බවයි.

වාර්තාවේ වචනානුසාරයෙන් උකහා ගත් පසු දැක්‌වෙන ස්‌ථිර ප්‍රකාශයන් මොනවට කියාපාන්නේ එහි ගැබ්ව ඇති අපරාධ වගකීම්වල සීමාන්තයන් සහ එයින් පැන නඟින මහත් අන්තරායදායක තත්ත්වයයි. "ශ්‍රී ලංකා සන්නද්ධ බළකායන් සහ ඒවාට සම්බන්ධ වී ක්‍රියාත්මක වූ හමුදා බළඇණිවලට සමානකම් දක්‌වන කණ්‌ඩායම් විසින් සිවිල් ජනයාට එරෙහිව දැඩිව පැතිරුණු ලෙස නීති විරෝධී ඝාතනයන් ක්‍රියාත්මක කළායෑයි හැඟවෙන, විශ්වාස කළ හැකි සාධාරණ පදනම් පවතිනවා.

"රාජ්‍ය ආරක්‍ෂක බළකායන් විසින් දිගුකාලීනව සහ විධිමත්ව ක්‍රියාත්මක කරන ලද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් නිරන්තරයෙන්ම වාර්තා වූ බලහත්කාර අතුරුදන්කරවීම්වලට සහ නීති විරෝධී ඝාතනවලට තුඩුදුන් බව ශ්‍රී ලංකාව පිළිබඳව විමර්ශනයේ යෙදෙන මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌වරයාගේ කාර්යාලයෙන් (ධෂීඛ) වාර්තා කර සිටියා". 'ශ්‍රී ලාංකීය ආරක්‍ෂක බළකායන් විසින් වධහිංසා පැමිණවීම් කෲර ලෙස සිදුකර ඇති බවට ධෂීඛ කරුණු දක්‌වා සිටියා. 

'ධෂීඛ විසින් රැස්‌ කරගන්නා ලද කරුණුවලින් පිළිබිඹු වන්නේ ආරක්‍ෂක බළකායන්හි සේවක පිරිස්‌ දැඩිව පැතිරුණු ලෙස දූෂණය කිරීම් සහ අනෙකුත් ලිංගික ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුකර ඇති බව සාධාරණ පදනම් මත විශ්වාස කිරීමට හැකි බවයි' 'ආරක්‍ෂක බලඇණි, පොලිසිය සහ බුද්ධි අංශයන් පූර්ණ වගකීමෙන් මුක්‌ත තත්ත්වයක්‌ භුක්‌ති විඳ ඇත' මෙම පුළුල් ප්‍රකාශයන් ස්‌වයං ප්‍රත්‍යක්‌ෂ වන අතර, ඒවායින් පැන නඟින ප්‍රතිවිපාකයන් පිළිබඳව සැකයෙන් තොරව පැහැදිලි වේ.

මෙය බැලූ බැල්මට පෙනෙන සොයා ගැනීම්වල බරපතළකමින් පැහැදිලිsවම විද්‍යාමාන වන්නේ එමඟින් පැන නැඟිය හැකි ඉහළම අපරාධ වගකීම්වලට හා දඬුවම්වලට හමුදා සහ පොලිස්‌ භට පිරිස්‌ ලක්‌වීමට ඇති ඉඩ ප්‍රස්‌ථාවන්ය.

මේවා කුමන සාක්‍ෂීන් මත පදනම් වී ඇත්ද?

එසේ නම්, මෙම බලවත් ප්‍රතිවිපාක සහිත සහ බැරෑරුම් ලෙස අගතිගාමී වූ නිගමනයන්ට පැමිණ ඇත්තේ කුමන සාධක පදනම් කරගෙනද යන්න විමසීම යෝග්‍ය වේ.

මෙම වැදගත් සොයා ගැනීම්වලට පදනම්ව ඇතැයි කියා ප්‍රකාශ වන සාක්‍ෂි රහස්‍ය භාවයෙන් වැසී පවතී. සාක්‍ෂි දුන්නා යෑයි කියනු ලබන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම දිගුකාලීනව බලපාන පරිදි අත්හිටුවා ඇත. සෙවණැලි පිටුපස සැඟවී සිටිමින් සහ නිර්නාමිකත්වයේ ප්‍රයෝජන භුක්‌ති විඳිමින්, කිසිදු බාධාවකින් තෙරව, ඔවුන්හට දේශපාලනික හෝ වෙනත් අභිමතාර්ථයන් මත පදනම් වූ විවිධ චෝදනා එල්ල කිරීමේ හැකියාව පවතී. එහෙයින් සාධාරණත්වය සහ පාරදෘශ්‍යභාව පිළිබඳව ඇති අවශ්‍යතාවන්හි උල්ලංඝනය වීමක්‌ මූලාරම්භයේදීම දක්‌නට ලැබේ.

තවද මෙම වාර්තාවේ අපූර්ව ප්‍රමාද දොෂයක්‌ ද ඇත. ඇමරිකා එක්‌සත් ජනපද තානාපති, යුරෝපයීය කොමිසමේ නියෝජිත මණ්‌ඩලයේ ප්‍රධානියා, ජර්මානු තානාපති, එක්‌සත් රාජ්‍යයේ මහ කොමසාරිස්‌වරයා, ජපන් තානාපති හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත කාර්යාංශ 11 කට නොඅඩු ප්‍රමාණයකින් සමන්විත වූ කාරක සභාවක්‌ මඟින් උතුරු පළාතට යවන ලද ආහාර සහ වෛද්‍ය සැපයුම් කටයුතු අධීක්‍ෂණය කරන ලද බව මෙම වාර්තාව විසින් කිසිසේත්ම වැදගත් ලෙස සැලකීමට භාජනය කර නොමැත.

'විශේෂ' අධිකරණවල ගැබ්ව ඇති උගුල් සහ උපද්‍රවයන් - 

මා මූලිකවම සැලකිල්ලක්‌ දක්‌වන්නේ, ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ යුද හමුදා බලධරයන්ට එරෙහිව බරපතළ අපවාද ගොනුකිරීම සඳහා පදනමක්‌ ලෙස භාවිත කර ඇති සාක්‍ෂිවල පවතින ස්‌වායත්ත දුර්වලතා සම්බන්ධයෙනි.

මෙම හේතුව කරණ කොට ගෙන 'විශේෂ' අධිකරණ මඟින් එම පුද්ගලයන්ට එරෙහිව බරපතළ අපරාධ සඳහා නඩු විභාග කිරීම්වලට දැඩි ලෙස විරෝධය පළකළ යුතුව ඇත. කිසිදු වෙනස්‌කමකට භාජනය නොකොට නීතියේ ආධිපත්‍යය රැකීම සහ එය බලාත්මක කිරීම නියත වශයෙන්ම කළ යුතුව ඇත. එනමුත් වාර්තාවේ ගැබ්ව ඇති අවමානශීලී ප්‍රතිබිම්බය හෙළා දකින පුද්ගලයකුට සමාවක්‌ හිමිවිය යුතුය. "අවාසනාවන්ත යථාර්ථය වන්නේ ශ්‍රී ලාංකීය අපරාධ නීති ක්‍රමවේදය තවමත්, අපක්‍ෂපාතී සහ විශ්වසනීය විමර්ශනයක නියෑළීමට තරම් සූදානමක්‌ හෝ සුදුසුකමක්‌ නොදැක්‌වීමයි.

'විශේෂ' අධිකරණ නිසාවෙන් හටගත හැකි මහත් විනාශය හා අයුක්‌ති සහගත බව මෙරට වේදනාකාරී ලෙස අත්විඳ ඇත. ඇතැම් විට මෙයට ගැළපෙනම උදාහරණය ලෙස දැක්‌විය හැක්‌කේ අපරාධ යුක්‌ති කොමිෂන් සභාවක්‌ මඟින් නැසීගිය අගමැතිනිය සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරවීමයි. 

සංහාරයක්‌ හා යුද අපරාධ පිළිබඳව පවතින සැකසහිත චෝදනා සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකීය පොදු ජනයා එවන් මඟක්‌ අනුගමනය කිරීමට කැමැත්තක්‌ දක්‌වනවාද යන්න පිළිබඳව බරපතළ සැකයක්‌ පැන නඟී.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයක විමර්ශනයට ලක්‌ කිරීමේ යෝජනාව අනපේක්‍ෂිත සංක්‍රාන්තියක්‌ද?

මෙම වාර්තාවේ අන්තර්ගත ඇතැම් නිර්දේශයන්හි ප්‍රකට අවදානමක්‌ ගැබ්ව පවතී. උදාහරණයක්‌ ලෙස ගත් කල, ජාත්‍යන්තර යුද අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුගත වන ලෙස ශ්‍රී ලංකාවට නියමයන් සිදුකර ඇත. මෙයින් අදහස්‌ වන්නේ, රාජාධිකරණයේ විනිශ්චය කමිටුවට අභියාචනා ඉදිරිපත් කිරීම අහෝසි කර අඩ සියවසකටත් අධික කාලයක්‌ ගත වූ පසුව, යළි ප්‍රථම වතාවට විදේශීය අධිකරණයකට, අපගේ දේශපාලනික සහ යුද හමුදා බලධරයන් සම්බන්ධයෙන් අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවයි.

මෙය අප දැයෙහි මූලික නීති නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කිරීමක්‌ බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි ලෙසම තීන්දු කර ඇත. යෝජිත විමර්ශනයේ ජාත්‍යන්තර පරිමාණයත්, එම හේතුවෙන් අනාගතයේදී අනුගමනය කළ යුතු වෙන ගමන් පථයත්, රජය විසින් නැවත නැවත කරන ප්‍රකාශයන්ට මුළුමනින්ම පරිබාහිර බව පැහැදිලිවම විද්‍යාමාන වේ. මෙම වාර්තාවේ නිගමනයන් සහ නිර්දේශයන් පැහැදිලිවම දක්‌වා සිටින්නේ, විමර්ශනය සහ නඩු විභාගය "පැහැදිලි ලෙසම විශ්ව අධිකරණ බලයට යටත්ව" සිදුකළ යුතු බවයි. එසේ තිබියදී අපෙන් ඉල්ලා සිටින්නේ මෙය දේශීය යාන්ත්‍රණයක්‌ බවට විශ්වාස කිරීමට ද?

මහාචාර්ය ජී. එල්. පීරිස්‌
http://www.divaina.com/2015/09/22/feature01.html

Pic Source

0 comments: