Pages

Sunday, September 13, 2015

විශාල ඇමැති මණ්ඩලයක හුටපටය

මේ දිනවල රූපවාහිනී ප්‍රවෘත්තිවලින් නිතර දකින්නට ලැබෙන්නේ ඇමැතිවරු සුබ මොහොතින් වැඩ ඇරඹීම් උත්සවය. මේ වැඩ ඇරඹීම මෙරට මහජනතාව බොහෝ වර දැක ඇති දෙයකි.

මෙරට පාර්ලිමේන්තුවේ මුල්ම ඇමැති මණ්‌ඩලය 14 දෙනෙකි. එකල ප්‍රජාචාරය විෂය හැදැරූ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ට ඒ ඇමැති මණ්‌ඩලය නමින් හා අමාත්‍ය ධුරයන් කට පාඩමින් කිව හැකිව තිබිණි. දැන් අග්‍රාමාත්‍යවරයාට වුවද අසුවල් විෂය භාර ඇමැති කවුදැයි සිහියට නගා ගන්නට ස්‌වල්ප වේලාවක්‌ කල්පනා කරන්නට සිදුවනු ඇත.

ඇමැති මණ්‌ඩලය විශාල වීම මේ රටේ දැන් පුරුද්දකි. පසුගිය රජයයන්වල ඇමැතිවරු සිය ගණන් සිටියහ. ඩී. එස්‌. සේනානායක යුගයේ මෙන් නොව දැන් රටේ ආර්ථික සමාජමය විෂය ධාරාවන් ඉතා පුළුල් ය. ඉස්‌සර හිටියේ ගුවන් විදුලි හා ප්‍රවෘත්ති ඇමැති එක්‌ අයෙකි. නමුත් දැන් ඒ විෂය ඉතා පුළුල් ය. සන්නිවේදන විෂය ජනමාධ්‍ය, විදුලි සංදේශ හා ඩිජිටල් තාක්‍ෂණය වශයෙන් පුළුල්ව ඇත. ඒ නිසා ඊට ඇමැතිවරු දෙදෙනෙක්‌ සිටිය යුතුය. නමුත් මේ විෂය තුනම එක්‌ ඇමැතිවරයකුට කරන්නට බැරි කමක්‌ ද නැත.

අවශ්‍යව ඇත්තේ විෂය පථයන් පිරිමැසීම නොව ඇමැතිවරු ප්‍රමාණය වැඩි කර ගැනීම බව රටේ ජනතාවට රහසක්‌ නොවේ. ජනතාව මේ දිනවල සිනහසෙමින් සිටින්නේ එබැවිනි.

ජනතාව බලා සිටින්නේ පිරිත් කියා කැවුම් කිරි බත් කා කොලයකට අත්සන් තබා වැඩ අල්ලන රූප රාමු දෙස නොවේ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනතාව මේ ජවනිකා දැක ඇත. දැන් මිනිසුන් ම වුවමනා ඇමැතිවරු වැඩ කරනු දකින්නටය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ බැස ඇතත් තවම ඒ සහනය මිනිසුන්ට ලැබී නැත. මිල සූත්‍රය කවදා හැදේදැයි චන්දිම වීරක්‌කොඩි ඇමැතිතුමා දෙස මිනිස්‌සු බලා සිටිති.

ඖෂධ පනත විශාල හා හෝවාවක්‌ නගා සම්මත කර ගෙන දැන් බොහෝ දවස්‌ ය. එහෙත් ඖෂධ මිල තවමත් එලෙසමය. මිනිස්‌සු සෞඛ්‍ය ඇමැතිවරයා දෙස බලා හිඳිති.

අධිකරණයේ නඩු ගොඩගැසීම ප්‍රශ්නයක්‌ බවත්, එය විසඳීමට ක්‍රමවේදයක්‌ සකස්‌ කරන බවත් අලුතින් පත්වන හැම අධිකරණ ඇමැතිවරයෙක්‌ම කියන කතාවය. එහෙත් තවමත් මිනිහෙක්‌ මැරූ මිනිහෙකුට මරණ දඬුවම හිමි වන්නේ අවුරුදු පහ හයකට පසුවය. නොබෝදා අවසන් වූ ඝාතන නඩුවක විත්තිකරුට මරණ දඬුවම ලැබුණේ 20 වසරකට පසුවය.

විජයදාස රාජපක්‍ෂ අධිකරණ ඇමැතිවරයා නීතිඥයෙකි. නඩු පමාව ගැන ඔහු හොඳින් දනී. ඉදින් ඔහු කරන්නේ කුමක්‌ දැයි ජනතාව බලා සිටිති.

හැමදාමත් යල මහ කන්න දෙකට අස්‌වැන්න නෙළා ගත් ගොවියන් වී විකුණාගත නොහැකිව මහ පාරේ උද්ඝෝෂණය කරති. කෘෂිකර්ම විෂයට ඇමැතිවරු තිදෙනෙක්‌ පසුගිය රජයේ සිටියහ. එහෙත් ගොවියා සිටියේ ද තවමත් සිටින්නේ ද මහපාරේ වී ගෝනි උඩ නම් ඒ ඇමැතිවරු ඇමැති විෂයෙහි වැඩ කළා දැයි ප්‍රශ්න කරන්නට සිදුවේ.

වී ගැනීමේ විෂය අයත් වන්නේ කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාට ද නැත්නම් ග්‍රාමීය කර්මාන්ත ඇමැති පී. හැරිසන් ඇමැතිතුමාට දැයි අපට නොතේරේ. කවුරුන් නමුත් ඔවුන් ද සිටිය යුත්තේ මහ පාරේ ගොවීන් සමඟය. වී ගබඩා වී ගැනීම නතර කර ඇත්තේ ඇයි. ගබඩා පහසුකම් නැත්තේ මොන ප්‍රදේශවලට ද වී ගබඩා අලුතින් හැදිය යුතු ද ආදී වශයෙන් ගොවියන් සමඟ කතා බහ කරමින් ඒ ඇමැතිවරු සිටිය යුත්තේ මහ පාරේය. කෘෂිකර්ම ඇමැතිවරයා යනු ගොවියෙකු මෙන් දුක්‌ විඳිය යුතු මිනිසෙකි. අවු. 50 කට පසුත් ඩී. එස්‌. සේනානායක කෘෂිකර්ම ඇමැතිවරයා ගැන මෙරට ගොවි ජනයා දොහොත් එකතු කොට වැඳ නමස්‌කාර කරමින් සිහිපත් කරන්නේ ඔහු ගොවියන් සමඟ වැඩ කළ මහත්මයෙකු හෙයිනි.

ඩී. ඡේ. විමලසුරේද්‍ර මහතා අදටත් බුහුමන් ලබන්නේ මෙරට ජල විදුලියේ පියා ලෙස ය. ඔහු සිය සියලු දැනුම සහ ශක්‌තිය පූජා කළේ සිය මව්බිමේ විදුලි නිෂ්පාදනය සඳහාය. ලක්‍ෂපාන යෑයි කියන විට ඊට පර්යාය ලෙස සිහිපත් වන්නේ විමලසුරේද්‍රය. නමුත් ඔහු ඇමැතිවරයකු නොවේ.

මන්ත්‍රීවරු ඇමැතිවරු සියල්ලෝම දූෂිතයෝ නොවේ. පගාකාරයෝ අල්ලස්‌කාරයෝ නොවේ. එවැන්නන් සිටින්නේ ඉතා ස්‌වල්ප දෙනෙකු පමණි. වැඩි දෙනෙක්‌ මැති ඇමැතිවරු අල්ලස්‌ දූෂණ පැල්ලම් අත්වල නොගෑවුනු අය බව අප පිළිගත යුතුය.

එහෙත් එපමණකින් ඔවුන් ගෞරවාන්විත නොවේ. ඔවුන් වැඩ කළ යුතුය. අවංකවම වැඩ කළ යුතුය. අපේ අසුවල් ඇමැතිතුමා බුදු වේවායි ජනතාව කියන්නේනම් එය ඒ ඇමැතිවරයාට මොන තරම් ප්‍රීතියක්‌ ද

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2015/09/13/feature03.html

Pic Source

0 comments: