Pages

Thursday, August 29, 2013

ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යය- 2013

සිරිලක පමණක්‌ නොව දේශාන්තරවල ජනී ජනයාගේ අභිමානයට පාත්‍ර වූ ඇසළ මහ පෙරහැරක්‌ පවත්වන මහ පුදබිමකි, බෙල්ලන්විල රාජමහා විහාරය. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුදබිමක්‌ වූ බෙල්ලන්විල රාජමහා විහාරය පෙර රජ දවස දෙවනපෑතිස්‌ යුගය දක්‌වා ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්‌ ඵල රුහ බෝධි අංකුරයක්‌ බෙල්ලන්විල රෝපණය කළ බව ක්‍රි. ව. 1303 - 1333 විල්ගම්මුල මාහිමිපාණන් විසින් රචිත සිංහල බෝධි වංශය නම් ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වීමෙන් ඒ බව සනාථ වේ. අරීසෙන් අහුබුදු ශූරීන් රචිත ''බෝ පුද'' නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

සිවුවන ඵලයෙන් හටගත් බෝධිය

බෙල්ලන්විල මහ වෙහෙරෙහි බෝධිය

බාර හාර නිම නැති මේ බෝධිය

තිස්‌ වෙනුවට නමදිමු මේ බෝධිය

මාතෘභූමිය අවස්‌ථා කීපයකදීම විදේශ ආක්‍රමණවලට ලක්‌වීමෙන් මෙරට ඓතිහාසිත පෞරාණික සිද්ධස්‌ථාන රාශියක්‌ විනාශයට ලක්‌විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බෙල්ලන්විල රාජ මහා විහාරයද ඒ අවට ප්‍රදේශයන්ද විනාශ වී ජනශූන්‍ය විය. 1860 ගණන් වලදී අත්තිඩියේ විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා වැටී ඇති කටු ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටියදී ජනශුන්‍ය වූ ප්‍රදේශයකින් ඇසුණ බෙරහඬ පිළිබඳව විමසිලිමත් වීමෙන් බෙල්ලන්විල බෝධීන් වහන්සේ දකින ලදුව මෙම ස්‌ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක්‌ බවට තේරුම් ගෙන ජනතාවටද වැඳුම් පිදුම් කරන ස්‌ථානයක්‌ බවට පත්කරන ලදී. මෙසේ පුදබිමක්‌ බවට පත් වූ බෙල්ලන්විල රාජමහා විහාරයේ වර්තමාන පුනරුදයට පුරෝගාමීව කටයුතු කරන ලද මහා යතිවරයාණෝ අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට විහාරස්‌ථානය දෙස්‌ විදෙස්‌ හි බෞද්ධ අබෞද්ධ ජනී ජනයා අතර අභිමානය දනවන අංග සම්පූර්ණ පුණ්‍ය භූමියක්‌ බවට පත්වී ඇත.

1946 වර්ෂයේ විහාරාධිපති ධුරයට පත්වූ සෝමරතන නාහිමිපාණන් වහන්සේ පොළොන්නරුව විහාර සම්ප්‍රදායට අනුකූලව විහාර මන්දිරය නිර්මාණය කරන ලදී. අර්ථාන්විත කැටයම් රූප ආදියෙන් මෙම විහාර මන්දිරය සමන්විත වන අතර ජනතාවගේ භක්‌තිය පමණක්‌ නොව නුවණද දැනුමද ඒ තුළින් වර්ධනය කරයි. සුවිශේෂී වූත් ආවේණික වූත් විශේෂ බිතුසිතුවම් කලාවක්‌ බෙල්ලන්විල විහාර මන්දිරය තුළ දක්‌නට ලැබෙන අතර අර්ථාන්විත වූ මෙම චිත්‍ර සම්ප්‍රදාය අප ගුරු දේවෝත්තම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති කලාකරුවන් විසින් අර්ථ ගන්වා ඇත.

ආගමික වශයෙන් ජනතාවට විශාල මෙහෙවරක්‌ සිදු කරන බෙල්ලන්විල රාජමහා විහාරස්‌ථානය පන්සලෙන් ජනතාවට යන තේමාව යටතේ විශාල සමාජ මෙහෙවරක ද නියුතුවේ. වසර මුළුල්ලේ ලක්‍ෂ සංඛ්‍යාවක මුදල් වැය කරමින් ළමා, යොවුන්, තරුණ පිරිස්‌ වෙනුවෙන් සිදු කරන අධ්‍යාපන සේවා, ප්‍රජා සංවර්ධන පදනමේ සේවාවන්, ප්‍රජා සත්කාරක සේවාවන්, අධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කරන සේවාවන්, වැඩිහිටි සත්කාරක සේවාවන්, වෛද්‍යාධාර හා උපකරණ ලබාදීම, ගම්මාන නඟා සිටුවීම නිවාස ලබාදීම ඒ 1983 වර්ෂයේදී අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 වර්ෂයේදී ආරම්භ කරන ලද බෙල්aලන්විල ඇසළ මහා පෙරහැර දේශීය කලාව හා සංස්‌කෘතිය ඔප් නැංවීමට දරන ලද ප්‍රයත්නයේ මල්පල ගැන්වීමකි. රටටත්, ප්‍රදේශයටත් සෙතක්‌ ශාන්තියක්‌ ලබාදීමේ අරමුණින් ආගමානුකූල චාරිත්‍ර විධි වලට ප්‍රමුඛස්‌ථානය ලබාදෙමින් ආරම්භ කරන ලද ඇසළ මහා පෙරහැර මෙවර පවත්වනු ලබන්නේ 63 වැනි වතාවටය.

සියලු ආගමික වතාවත් වලට මුල් තැනක්‌ දෙමින් ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පෙරහැරේ විශේෂත්වය වන්නේ දළදා පෙරහැරට ප්‍රමුඛත්වය ලබාදෙමින් විෂ්ණු, කතරගම සමන්, විභීSSෂණ, යන දේව රූප හා දේවාභරණ පෙරහැරේ වැඩම කරවීමයි.

පෞරාණික චාරිත්‍ර විධීන් නොඉක්‌මවා යමින් ඒ සඳහාම ප්‍රමුඛත්වය දෙමින් පවත්වන මෙම පෙරහැර ඒ නිසාම සාමාන්‍ය පෙරහැරේ සංදර්ශනයක්‌ ලෙස සැලකිය නොහැකිය. බුද්ධ වන්දනාවක්‌ හා දේව වන්දනාවක්‌ ලෙසින් ද මෙම ඇසළ උළෙල නව සංස්‌කෘතිකාංග සමගින් වසරින් වසර ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය වෙයි.

වර්තමාන බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක මාහිමිපාණන් හා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමිපාණන් වහන්සේ යන මා ගුරුදේවෝත්මයාණන් වහන්සේලාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ස්‌ථාපිත කරන ලද බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව හා ඒ හා බැඳුණු තවත් අනු කමිටු විසින් සංවිධානය කරන මෙවර ඇසළ පෙරහැර උත්සවයට පොදු ජනතාවගේත් දානපතියන්ගේත්, විහාරස්‌ථ දායක සභාව කුළඟන සමිතිය, තරුණ බෞද්ධ සංසදය, තරුණ බෞද්ධ සමිතිය, ප්‍රජා සංවර්ධන පදනම, ශ්‍රී බෝධිරාජ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් දෙකත් ආදී විහාරස්‌ථානයට අනුබද්ධ සියලු සමිති සමාගම්වල පූර්ණ සහයෝගය ලැබීම ඉතා අගේ කළ යුත්තකි.

උඩරට, පහත රට හා සබරගමු නැටුම් වලින්ද අලි ඇතුන් විශාල ප්‍රමාණයකින්ද සමන්විතව සිවු මහා දේවාල පෙරහැර ද සමග අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර එහි නිර්මාතෘ අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන සෝමරතන නාහිමිපාණන්ගේ ගුණසමරු ධර්මදේශනා පිංකම්මාලාව හා දානමය පිංකමත් සමගින් අරඹන ලදුව සති පිරිත් දේශනාවකින් රටටත් ජනතාවටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාදීමෙන් පසුව අගෝස්‌තු 25, 26, 27 හා 28 වැනි දිනවල මල් පෙරහැර පැවැත්වෙයි.

අගෝස්‌තු 29 වැනි දින පාවාඩ පෙරහැරද අගෝස්‌තු 30 වන දින රන්සිවිලි පෙරහැරද අගෝස්‌තු 31 වැනි දින රන්දෝලි මහා පෙරහැර ද පවත්වා සැප්තැම්බර් 01 වැනි දින දියකැපීමේ මංගල්‍ය හා දේව දානය පිදීමෙන් අනතුරුව මෙවර ඇසළ උත්සවයේ කටයුතු නිමාවට පත්වේ.

ආධ්‍යාත්මික වශයෙන්ද භෞතික වශයෙන්ද මහඟු සේවාවක්‌ සිදු කරන බෙල්ලන්විල රාජමහා විහාරය එහි සුවිශේෂී වූත් අභිමානී වූත් ආකර්ෂණීය වූත් ඇසළ මහා පෙරහැර තව චිරාත් කාලයක්‌ පැවතෙත්වා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

බෙල්ලන්විල විහාරවාසී, ශාස්‌ත්‍රපති බොරලැස්‌ගමුවේ පේමරතන ස්‌ථවිර
http://www.divaina.com/2013/08/29/news19.html

0 comments: