Pages

Sunday, August 25, 2013

අලුත්ම තාක්‍ෂණයත් සමග රටට එළිය දෙන්න හදන බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලවිදුලි බලාගාරය

ලක්‌ෂපානේ බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් පසුගිය 2013 ක්‌ වූ ජූලි මස 15 වැනි සඳුදා පෙරවරුවේ යෙදී තිබූ සුභ මුහුර්තියෙන් ආරම්භ විය.

බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලවිදුලි බලාගාරය මගින් මෙගාවොට්‌ 35 ක වදුලිය ධාරිතාවයක්‌ දෛනිකව ජාතික විදුලිබල පද්ධතියට එක්‌කෙරෙන අතර එහි වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට්‌ 126 ක්‌ ලෙස ගණන් බලා තිබේ.

කැලණි ගඟේ ප්‍රධාන අතුගංගා දෙකක්‌ වන මස්‌කෙළිය ඔය සහ කෙහෙල්ගමුව ඔය මෙම ව්‍යාපෘතියේ ජල මූලාශ්‍ර වේ. බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරයේ වේල්ල වැඩබිම මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වන අතර ජලවිදුලි බලාගාර වැඩබිම සබරගමු පළාතේ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේ.

මෙම ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා වැයකරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන අසූ දෙකකි. (82) ඒ සඳහා ප්‍රතිපාදන දේශීය හා විදේශීය වශයෙන් සැපයේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියට වැයවන සමස්‌ත ප්‍රතිපාදන වලින් දේශීය දායකත්වය 15% ක්‌ වන අතර 85% ක්‌ චීන මහජන සමූහාණ්‌aඩුවේ කර්මාන්ත හා වාණිජ බැංකුව මගින් සපයනු ලැබේ.

බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලවිදුලි ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ ප්‍රදේශයේ මහාමාර්ග විදුලිය, පානීය ජලය සැපයීම ආදී ජන ජීවිතයට අදාළ සියලු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට නියමිතය. මීට අමතරව බලාගාර ප්‍රදේශය දෙස්‌, විදෙස්‌ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවෙන අයුරින් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ. බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජලවිදුලි බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා අවස්‌ථා රාශියක්‌ද බිහිවනු ඇත.

මෙම නව ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමටද විදුලි බල හා බලශක්‌ති ඇමැතිනිය අපේක්‍ෂා කරයි.

ලක්‌ෂපාන ජලවිදුලි බලාගාරය නව ලක්‌ෂපාන ජල විදුලි බලාගාරය, විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය කැනියොන් ජල විදුලි බලාගාරය සහ පොල්පිටිය ජල විදුලි බලාගාරය යන ප්‍රධාන ජල විදුලි බලාගාර පහක්‌ (05) සහ කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර හයක්‌ (06) ක්‍රියාත්මක වීමෙන් පසුව කැලණි ගංගාවට ගලාඑන මහා ජලකඳ ප්‍රයෝජනයට රැගෙන බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර දවසේ පැය විසිහතර (24) පුරා වසර මුළුල්ලේම ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක්‌ නොමැත.

පල්ලේවත්ත ප්‍රදේශයේදී කෙහෙල්ගමුඔය හරස්‌ කර උමං මාර්ගයක්‌ මගින් මස්‌කෙළිය ඔයට ජලය රැගෙන යාමට නියමිතය. ඒ සඳහා ඉදිකරන හැරවුම් වේල්ල උස මීටර් 19 කි. දිග මීටර් 48 කි. හැරවුම් උමඟ දිග මීටර් 850 කි.

ඉන් පසු පොල්පිටිය සමනළ ජල විදුලි බලාගාරය අසල ඇති ආරුක්‌කු පාළමට පහළින් මස්‌කෙළිය ඔය හරස්‌කර ප්‍රධාන වේල්ල ඉදිකෙරේ. එහි උස මීටර් 24 කි. දිග මීටර් 114 කි. එතැන්සිට යද්දල කඳුවැටියට යටින් ප්‍රධාන උමං මාර්ගය ඉදි කෙරේ එහි දිග කිලෝමීටර් 03.5 කි. විශ්කම්භය මීටර් 5.4 කි.

විදුලිබලාගාරය කිතුල්ගල නගරයට ඉහල ප්‍රදේශයේදී කැලණි ගංගාවේ දකුණු ඉවුරේ භූමිය මතුපිට ස්‌ථාපිත කිරීමට නියමිතය.

මෙහි වහරු අංගනය සම්ප්‍රේක්‍ෂණ රැහැන් කිලෝවොට්‌ 132 අධිසැර ද්විත්ව පරිපථ විදුලි රැහැන් පද්ධතියකින් සමන්විත වේ.

බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලිබල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 වර්ෂයේ අගභාගයේදී නිම කිරීමට අපේක්‍ෂිතය.

දේශීය හා විදේශීය සංචාරකයින් අතර ප්‍රචලිත ශ්‍රීපාද වන්දනාව සඳහා ප්‍රධාන ගමන් මාර්ගයක්‌ වන කොළඹ ගිනිගත්හේන මාර්ගයද පිහිටා ඇත්තේ මෙම යෝජිත ව්‍යාපෘති ප්‍රදේශයේය. ලොව ප්‍රසිද්ධියට පත්ව ඇති ලක්‌ෂපාන දිය ඇල්ල හා ඇබර්ඩීන් දිය ඇල්ලද මෙම වැඩබිමට පේනතෙක්‌ මානයේ පවතී.

බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බල ව්‍යාපාතිය CDM යන්ත්‍රණය (Clean Deveopment Mechanism) යටතේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු වර්ෂ 2010 මැද භාගය වනවිට ආරම්භ කෙරුණ අතර සාර්ථකව කටයුතු නිමකරමින් වර්ෂ 2012 දෙසැම්බර් 27 වන දින සිට බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලිබල ව්‍යාපෘතිය CDM යාන්ත්‍රණය හා එක්‌වුණි.

බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලා ගාරය මගින් කාබන්ඩයොක්‌සයිඩ් ටොන් 88616 ක්‌ වාර්ෂිකව වායුගෝලයට මුදා හැරීම අවම කෙරෙන අතර CDM යාන්ත්‍රණය තුළින් ලැබෙන ආදායම ව්‍යාපෘතියේ මුළු වියදමින් 10% - 15% ත් අතර ප්‍රමාණයක්‌ පියවා ගත හැක. මෙම ආදායම අවුරුදු 21 ක කාලයක්‌ දක්‌වා ලබා ගත හැකි අතර අවුqරුදු 07 කට වරක්‌ ලියාපදිංචිය අලුත් කරවාගත යුතුය.

CDM යාන්ත්‍රණය තුළ ලියාපදිංචි කළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ පළමු වන ව්‍යාපෘතිය මෙයයි. තවද ලංකාවේ දැනට ලියාපදිංචි කළ ව්‍යාපෘතීන් අතරින් විශාලතම ව්‍යාපෘතිය වන්නේද බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලිබල ව්‍යාපෘතියයි.

ෂේන් වීරසිංහ, ගිණිගත්හේන
http://www.divaina.com/2013/08/25/feature12.html

2 comments:

www.emoneyd.blogspot.com said...

මෙවැනි ව්‍යාපෘති ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ලොකු බලපෑමක් කරවි. ඒ වගේම තමා සංවර්ධන ක්‍රියාකාරකමි පරිසරයට සිදුවන බලපෑම් අවම වන අයුරින් සිදු කිරීම ඉතාම වැදගත්.

දෙනෙත් හරින්න ! said...

අනිවාර්යයෙන්ම සහෝ! පෙර රජ දවස මෙන් පරිසරයත් සමඟ සංවර්ධනය! එයයි වැදගත්...