Pages

Saturday, August 24, 2013

අප දියුණු ජාතියක්‌ බවට පත්වීමට නම්

අපරදිග ලෝකයේ භෞතික අංශයෙන් උසස්‌ දියුණුවක්‌ ලබා සිටින සංවර්ධිත රටවල් අතර ඇමරිකාව හා කැනඩාව විශේෂ ස්‌ථානයක්‌ ගන්නා රාජ්‍ය දෙකක්‌ ලෙස හඳුන්වමින් මා ලියූ මුල් ලිපියෙන් ඊට අදාළ කරුණු කිහිපයක්‌ ද පැහැදිලිව දක්‌වා ඇත. මේ ලිපියෙන් මා අදහස්‌ කරන්නේ නොදියුණු රටවලට මේ දියුණු රාජ්‍යයන්ගෙන් ලද හැකි උපදෙස්‌ හා මගපෙන්වීම පිළිබඳ කෙටියෙන් අදහස්‌ ටිකක්‌ ඉදිරිපත් කිරීමටයි. එහි දී එක කාරණයක්‌ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කරවීමට මම කැමති වෙමි. එනම් මෙහි සඳහන් කරුණු අනුව ම මේ රටවල් සර්ව සම්පූර්ණ සර්ව නිර්දෝෂ සර්වතොභද්‍ර රටවල් හැටියට එකවිට ම තීරණය කිරීමට ඉක්‌මන් නොවන ලෙසටයි.

නිවනින් මෙ පිට ඇති හැම ලොවක්‌ ම දුකින් පිරුණු අවුලින් ගහන තැන් බව සලකන විට ඒ තත්ත්වයෙන් සහමුලින් නො මිදුණු මේ රටවල ද නොයෙකුත් අඩුපාඩු අගුණ දුර්වලකම් ඇතිවීම ස්‌වාභාවික බව ඔබට ම වැටහෙනවා ඇත. එහෙත් අපට අවශ්‍ය වන්නේ අන්‍යයන් ගේ ඇදකුද හෝ අඩුපාඩු ගැන සෙවීම හෝ කියාපෑම හෝ නොව ගත යුතු දේ ගැනීමත් හළයුතු දේ හැර දැමීමත් අගය කළයුතු දේ අගය කිරීමත් පමණකි. මෙහිලා ශුභ පක්‍ෂය ම මතුකොට දැක්‌වීමේ මූලික අදහස ද එය ම බව වැඩිදුරටත් සඳහන් කරමි.

ශ්‍රී ලංකාවේ වැදගත්කම වටිනාකම හා සෞභාග්‍යය මෙන් ම ඒ වාසනාවන්ත රටේ පරිහානියට හා විනාශයට තුඩුදුන් හේතු කාරකයන් ගැනත් හොඳින් තේරුම් ගත හැක්‌කේ ලංකාවෙන් ඈතට ගොස්‌ මෙවැනි දියුණු රටක සිට ලංකාව දෙස ආපසු හැරී බලන විටයි.

ලෝකයම මවිත කරවන තරමේ විස්‌මයජනක දියුණුවකුත් ශිඝ්‍ර සංවර්ධනයකුත් ඇති කරවමින් දියුණු රාජ්‍යයන් අතර ඉදිරි පෙළේ උසස්‌ තැනක වැජඹෙන ඇමරිකාව හා කැනඩාව ඒ තත්ත්වයට ගොඩනැංවු නායකයන්, වීර පුරුෂයන් සැබවින් ම ජාතියේ නියම නායකයන්, වීර පුරුෂයන් බව පළමු කොට ම සඳහන් කරනු කැමැත්තෙමි. ඒ ශ්‍රේෂ්ඨ නායකයන් තුළ පැවැති ජාත්‍යාලය, දේශානුරාගය මෙන් ම දූරදර්ශී ඥානය ද ස්‌වකීය කාර්යය සාර්ථක කර ගැනීමෙහිලා ඔවුන් දිරිගැන්වූ අසහාය ආධ්‍යාත්මික බලවේග වුවාට සැකයක්‌ නැත. 

"ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයකැයි මේ රටවල ජීවත්වන්නන් අද පවා දැඩි ලෙස විශ්වාස කරතත් දෙවියන් වහන්සේ ගේ කිසිදු අනුකම්පාවක්‌ ආශීර්වාදයක්‌ මේ රටවල ජනයාට ලැබී ඇති බවක්‌ නම් නො පෙනේ. අවුරුද්දේ වැඩි කාලයක්‌ (මාස 7 ක්‌ පමණ) දැඩි ශීත දේශගුණයේ කර්කශ භාවයටත් ඉතිරි කාලයෙන් මාස කීපයක්‌ ඉවසිය නො හැකි තරමේ තද උෂ්ණ දේශ ගුණයටත් මැදිවී පීඩා විඳිමින් ද ඒ අතරතුර වරින් වර හමා යන සුළිසුළං කුණාටු වලින් හා ජල ගැලීම් වැනි විපත්වලින් ද තොර නොවු මේ රටවල වැසියන් ස්‌වභාව ධර්මයේ පවා අනුග්‍රහය නො ලද්දවුන් යෑයි කීම ඔවුන්ට කරන නිගරුවක්‌ නො වේ. 

මෙසේ නොයෙක්‌ අතින් තම ජීවිතවලට එල්ල වී ඇති තර්ජන හා බාධක සියල්ල සාර්ථක ලෙස මැඩ පවත්වා ගැනීමටත් විද්‍යා දියුණවෙන් මුළු මහත් ලෝකය ම විස්‌මයට පත් කරවීමටත් කාර්මික දියුණුවෙන් උච්ච ස්‌ථානයකට පත්වීමටත් ශතවර්ෂ දෙකක්‌ තුනක්‌ තරම් ස්‌වල්ප කාලයක්‌ තුළ දී මේ රටවල වැසියනට හැකි වූයේ දේව වරප්‍රසාදයකින් හෝ වෙනත් අනුග්‍රහයකින් හෝ නොව හුදෙක්‌ ස්‌වශක්‌තිය කෙරෙහි තැබූ අචල විශ්වාසය මතයෑයි කීම නිවැරදිය. එහිලා මේ රටවල නායකයන් දක්‌වා ඇති ආදර්ශය ද සැබවින් ම ප්‍රශංසනීය වේ. 

තමා උපන් බිම සුරපුරක්‌ බවට පත්කර ගෙන එහි දෙවියන් ලෙස සුර සැප විඳීමට මහ පොළොවේ ජීවත්වන මිනිසාට ඇති ශක්‌තිය හා බලය මේ රටවල ජනයා ක්‍රියාත්මක කර පෙන්වා ඇති අතර රටේ වගකීම භාරගත් වගකිවයුත්තන් හැටියට ජාතියට මග පෙන්වූ මාර්ගෝපදේශකයන් හැටියට මේ රටවල නායකයන් අනුගමනය කර ඇති දූරදර්ශී, බුද්ධිමත්, අවංක ක්‍රියා මාර්ගය රටේ සංවර්ධනයට ජාතියේ උන්නතියට, ඒකායන මාර්ගය වූ බව සඳහන් කළ යුතු ය. 

මා මේ කරුණු කිහිපය පාඨකයන්ට ඉදිරිපත් කළේ මේ රටවල් හුවා දැක්‌වීමේ හෝ අන්‍ය රටවල් පහත් කොට සැලකීමේ ෙච්තනාවකින් නොව හුදෙක්‌ මේ රටවල දියුණුවට හා සංවර්ධනයට තුඩුදුන් හේතු සාධක කීපයක්‌ දැක්‌වීමේ අභිලාෂයෙනි. එසේම මේ රටවල වැසියන් තුළ පවත්නා ආත්ම ධෛර්යය පුරුෂ වීර්යය නො පසුබට උත්සාහය හා අධිෂ්ඨාන ශක්‌තිය වැනි මානුෂික ගුණාංග ජීවන ගැටළු විසඳා ගැනීමටත් සියලු බාධක හිරිහැර මැඩ පවත්වා ගැනීමටත් හේතුවී ඇති ආකාරය පෙන්වා දීමට ද වේ. 

ප්‍රජානත්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලධර්මයන්ට හා ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියා කිරීමේ උසස්‌ සම්ප්‍රදාය හැම නායකයකු විසින් ම අඛණ්‌ඩව පවත්වාගෙන එනු ලැබීම මෙරට දේශපාලන නායකයන්ගේ විශිෂ්ට ලක්‍ෂණයක්‌ සේ සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාව තුළ පවත්නා ගෞරවය හොඳින් ආරක්‍ෂා වීමටත් විශ්වාසය වඩාත් තහවුරු වීමටත් එය බොහෝ දුරට ඉවහල් වී ඇත. එමෙන් ම මේ රටවල නායකයන් මෙන් ම රට වැසියන් ද ප්‍රජාතන්ත්‍රවාදය මේ දක්‌වා හොඳින් රැකගෙන ඇත්තේ ද එමඟින් රටේ ශුභ සිද්ධිය හා ආරක්‍ෂාව සහතික කරගෙන ඇත්තේ ද මේ අයුරින් බව සඳහන් කළ යුතුය.

යුක්‌තිය හා නීතිය භේදයකින් තොරව සාධාරණව සමසේ ඉටුවීම මේ රටවල ප්‍රගතියට බලවත් රුකුලක්‌ වී ඇත. එය රට තුළ සාමය ආරක්‍ෂාවීමටත් ජනයා අතර අෙන්‍යාන්‍ය හොඳ හිත හා සුහදතාව වර්ධනය වීමටත් පාලකයන් හා රටවැසියන් අතර මත භේද ඝට්‌ටන ඇති නො වීමටත් විශේෂ වශයෙන් හේතු වී ඇත. එමතුදු නොව මේ රටවල දේශපාලකයන්ගේ අයුතු බලපෑම් වලින් හා අඟිලි ගැසීම් වලින් තොරව ස්‌වාධීනව පවතින අධිකරණය සැමවිට ම සැමට යුක්‌තිය සාධාරණය ඉටුකිරීම රටේ සාමකාමී පැවැත්මට විශාල අනුබලයක්‌ වී ඇත. ඒ අනුව නීතිය විසින් මිනිසා ආරක්‍ෂා කරනු ලබන අතර නීතිය කෙරෙහි මහජනයාගේ ගෞරවය හා සැළකිල්ල වැඩිවීමටත් නීති විරෝධී ක්‍රියාවන්ගෙන් රට වැසියන් වැළැක්‌වීමටත් විශේෂයෙන් හේතුවී තිබෙන බව පෙනේ. රටක පාලකයන් අයුතු ලෙස අසාධාරණ ලෙස නීති විරෝධී ලෙස කටයුතු කරන විට රට තුළ සමාජ යුක්‌තිය සමාජ සාධාරණය ඉටු වීමට කිසිසේත් ඉඩක්‌ නැති බව නායකයන් හොඳින් තේරුම් ගෙන ක්‍රියා කිරීම මේ රටවල නායකත්වයේ උසස්‌ ලක්‍ෂණයකි.

එපමණක්‌ නොව සමාජය තුළ සොරකම, වංචාව, අල්ලස, දූෂණය ආදී වැරදි ක්‍රියා බෙහෙවින් අඩුවීමට ද එය විශේෂ අනුබලයක්‌ වී ඇත. ඇත්ත වශයෙන් එවැනි වැරදි ක්‍රියාවල යෙදීමේ ඉඩකඩ හා අවස්‌ථා ඕනෑතරම් ඇතත් මේ රටවල මිනිසුන් එවැනි වැරදි වලින් බොහෝ දුරට වැළකී සිටින්නේ රටේ පාලනයේ අසහාය බලවේගය නීතිය බවට පත්වී ඇති හෙයිනැයි සිතමි. එසේම ආගමික අතින් එතරම් උෙද්‍යාaගයක්‌, සැලකිල්ලක්‌ මේ රටවල නැති වුව ද ආගමකින් ලැබිය යුතු ශික්‍ෂණය, සංවරය හා ආචාරශීලී භාවය ආදී ගුණාංග මිනිසුන් තුළ ඇතිවීමට ද එමඟින් ලැබී ඇති අනුබලය ද අතිශයින් වැදගත් බව පෙනේ. 

නීති ගරුක වීමේ වැදගත්කම මේ රටවල වැසියන් කොතරම් උසස්‌ ලෙස සලකා ක්‍රියා කරනවාද යනු හොඳින් තේරුම් ගත හැකි වන්නේ ඔවුන් අතර ටික කලක්‌ හෝ ගත කිරීමෙනි. මොන ම අන්දමකින් හෝ අන්‍යයන්ට හිරිහැරයක්‌, කරදරයක්‌, පීඩාවක්‌ හෝ මදිපුංචිකමක්‌ ඇති නොවන අන්දමට ක්‍රියා කිරීමේ උසස්‌ ශිෂ්ට සම්පන්න ගතිය මොවුන් අතර හොඳින් පවතින බව සඳහන් කළ යුතු ය. 

මේ රටවල වැසියන් වැඩ කිරීමට දක්‌වන උනන්දුව හා කැමැත්ත බෙහෙවින් අගය කළ යුතු අතර රටේ සංවර්ධනයට හා ප්‍රගතියට එය ද විශාල අනුබලයක්‌ වී ඇත. නොමිළයේ දෙන නිකම් දෙන කිසිවක්‌ ගැන බලාපොරොත්තුවක්‌ නැති මේ රටවල වැසියන් ජීවත්වීම සඳහා බලවත් පරිශ්‍රමයක්‌ දරන බව කිව යුතුයි. එක්‌ අතකින් ඔවුන් ස්‌වකීය දෛවය වාසනාව උදාකරගෙන ඇත්තේ මහන්සි වී නොමැළිව උත්සාහවන්ත ව වැඩ කිරීම නිසාය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු ජීවන අවශ්‍යතා සඳහා දිනපතා විශාල ධනයක්‌ වැය කිරීමට හැම පුරවැසියකුට ම සිදුවී ඇති නිසා ඔවුහු වෙහෙස වී වැඩ කරති. උනන්දුවෙන් වැඩ කරති. තමන්ට හිමි නිවාඩු පවා නො ගෙන වැඩ කරති. අවශ්‍ය සියලු සැප සම්පතින් රට සමෘද්ධිමත් වී ඇති අතර මහන්සි වී වැඩ කළ තරමට සිය ශ්‍රමය අවංකව යෙදූ තරමට ධනය උපයා ගත හැකිය. ධනය ඇති තරමට සැප සම්පත් ලද හැකිය. එසේ ම දක්‍ෂකම, බුද්ධිය, උත්සාහය ඇති කවර තරාතිරමක කෙනකුට වුව ද ජාති, කුල, පංති, ආගම් ආදි භේදයකින් තොරව උසස්‌ වීමට, දියුණු වීමට ධනය උපයා ගැනීමට අවස්‌ථාව සැලසී තිබීම මේ රටවල ඇති තවත් වැදගත් ලක්‍ෂණයකි. අගතියෙන් වෙන්වීම, සුදුස්‌සාට සුදුසු තැන ලැබීම, සාධාරණය ඉටුවීම සමාජයේ ප්‍රගතියට රටේ දියුණුවට හේතු වී ඇති ආකාරය මේ රටවල් පැහැදිලිව ම පෙන්වා දී ඇත. 

පක්‍ෂ දේශපාලනය කෙතරම් උග්‍රව පැවතුණ ද මහජන ඡන්දයෙන් බලයට පත් දේශපාලන නායකයන් කිසි විටෙකත් ස්‌වකීය ප්‍රතිවාදීන් ගෙන් පළි ගැනීමේ පහත් ගතිය අනුගමනය නො කිරීමෙන් මේ රටවල නායකයන් දන්වා ඇති විශිෂ්ටාදර්ශය මහත්මා ගතිය සැබවින්ම ප්‍රශංසනීය වේ. ඡන්දයකින් පසුව ඇතැම් රටවල සිදුවන ජීවිත හානි, දේපොළ විනාශය හා ඔවුනොවුන් අතර ඇතිවන නොහොඳ, අමනාපකම් ආදී නොයෙකුත් කටුක අමිහිරි අවස්‌ථා මේ රටවල ඇසීමටවත් නොලැබෙන්නේ නායකයන් දක්‌වන වැදගත් උසස්‌ ආදර්ශය නිසා යෑයි කිවයුතු යි. 

පුරුෂ වීර්යය, පුරුෂ ධෛර්යය හා උත්සාහය තුළින් මිහිබට සුරපුරක්‌ ගොඩ නැගීමේ භාරදූර උදාර කාර්යය ඇමරිකාවේ හා කැනඩාවේ පුරවැසියන් සාර්ථක ලෙස ඉටුකර ඇතැයි අතිශයෝක්‌තියෙන් තොරව සඳහන් කරනු කැමැත්තෙමි. ඔවුන් ගොඩ නගා ඇති රට සෑම අතින් ම සංවර්ධිතය. ස්‌වයං පෝෂිතය. දුගී දුප්පත්කම හා නැති බැරිකම ඔවුන් පිටුදැක ඇත්තේ සංවර්ධිත රටක්‌, ස්‌වයංපෝෂිත රටක්‌ ගොඩ නැගීම තුළින් යෑයි කීම වඩාත් සාධාරණ ය. 

රටවැසියන්ගේ ආරක්‍ෂාව හා සුභ සිද්ධිය සැලසීමත් රටේ සංවර්ධනය හා මහජන අවශ්‍යතාවන් සපුරා ඉටුකරලීමත් මේ රටවල පාලකයන් සතු වගකීම් අතර මුල් තැනක්‌ ගෙන ඇත. ඒ අනුව ඔවුහු සැබවින් ම සේවයට කැපවුණු මහජන සේවකයන් ලෙස හඳුන්වා දිය හැකිය. ඔවුන් මහජනතාවගේ සිත් දිනාගෙන ඇත්තේ අයුතු අන්දමින් හෝ කපටිකමින් හෝ නොව මහජන සේවය නිසිලෙස ඉටුකිරීමෙන් බව පෙනේ. මෙහිදී මා විශේෂයෙන් සඳහන් කිරීමට කැමැතිවන කාරණයක්‌ නම්, ඔවුන් තුළ පවතින අවංක භාවය යි. කියන දේ ම කරන, කරන දෙය ම කියන "යථාවාදී තථාකාරී" නම් වූ මහත්ම ගුණය ඔවුන් තුළ පිහිටා තිබෙන බවයි.

තමන්ට ඡන්දය දුන් හෝ නොදුන් වශයෙන් වර්ග කිරීමක්‌ හෝ බෙදීමක්‌ නො මැතිව පොදු මහජන නියෝජිතයන් ලෙස ඔවුන් අනුගමනය කරන ක්‍රියා මාර්ගය ද අතිශයින් වැදගත් ය. ආදර්ශවත් ය. ඒ නිසාම ඥාති සංග්‍රහ හෝ තම පාක්‍ෂිකයන්ට දක්‌වන විශේෂ සැළකිලි මේ රටවල මැති ඇමැතිවරුන් අතර නැතිවීම අගති විරහිතව මහජන සේවය ඉටුකිරීමෙහිලා විශේෂ ආධාරයක්‌ වී ඇත. එහෙයින් තොරණ ඉදිකොට අලි ඇතුන් සහිත මහ පෙරහරවලින් කැඳවාගෙන ගොස්‌ මල්මාලා පළඳවා මැති ඇමැතිවරුන් පිළිගැනීමේ හා වන්දිභට්‌ටයන් සේ ඔවුන් ගේ ගුණ ගී ගැයීමේ සිරිත මේ රටවල ජනයා අතර කොහොමවත් නැත. එවැනි නිරර්ථක හිස්‌ වැඩ සඳහා වටිනා කාලය මිඩංගු කිරීමට තරම් මේ රටවල මින්සුන් මෝඩයන් හෝ හිස්‌ මිනිසුන් නොවීම මේ රටවල භාග්‍යයකැයි සිතමි. 

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයන් අතර විශේෂ ස්‌ථානයක්‌ හිමිකර ගෙන සිටින බෞද්ධ මහාධිරාජ අශෝaකයන් ගේ දැහැමි පාලනයේ ඇතැම් සංකල්ප මේ රටවල පාලකයන් අතර හොඳින් ක්‍රියාත්මක වෙතැයි සඳහන් කළ හැකිය. ධර්මයෙන් ලෝකය ජයගැනීම හෙවත් ධර්මවිජය ඔහු අනුගමනය කළ උසස්‌ ප්‍රතිපත්තිය විය. පාලකයකු හැටියට ඔහු රට වැසියන් දෙස බැලුවේ "රට වැසි සියලු මිනිස්‌සු මගේ දරුවෝ ය"යන හැඟීමෙනි. ඔහු සේවයෙහි යෙදුණේ "සේවයෙහි දී වෙහෙසට පත්වන පාලකයා උසස්‌ නොවේ"යන ප්‍රකාශයන් ඉදිරිපත් කරමිනි. එ පමණක්‌ නොව එදා විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන් ගේ පාලනයේ පැවති වැදගත් උසස්‌ ලක්‍ෂණ අද මේ රටවල පාලන ප්‍රතිපත්ති බවට පත්වී ඇති සැටිද දැකිය හැකිය. මෙසේ කාලයක්‌ පෙරදිගට උරුමවී පැවති උසස්‌ ප්‍රතිපත්ති හා උතුම් සංකල්ප පාලකයන් තුළින් ගිලිහීයාම ලංකාව වැනි රටවල පරිහානියට හේතු වූවා පමණක්‌ නොව අභ්‍යන්තර අවුල් වියවුල්වලට මූලික හේතුවක්‌ වී යයි අකමැත්තෙන් වුව ද පිළිගතයුතුව ඇත. එසේ ම ඒ උතුම් සංකල්පයන් හා උසස්‌ ප්‍රතිපත්ති හිමිකරගෙන සිටින අපරදිග පාලකයන් ඒ අනුව ක්‍රියා කිරීම ඔවුන් ගේ ශීඝ්‍ර දියුණුවට හා රටේ උන්නතියට විශේෂ අනුග්‍රහයක්‌ වී ඇතැය්s ද කිවයුතු ය.

සමාජගත මිනිසා ගේ සම්පූර්ණ සංවර්ධනය සඳහා පුද්ගලයා ගේ අභ්‍යන්තර සන්තානය තුළ මෙන් ම බාහිර සමාජගත සංස්‌ථා තුළ ද මූලික වෙනසක්‌ අවශ්‍ය යි. පුද්ගලයා සමාජයෙන් වෙන් වී සිල්වත් වුවත් සමාජගත ආයතන හා සංස්‌ථා අයුක්‌ති සහගත ලෙස ක්‍රියාත්මක වේ නම් සමාජ යුක්‌තිය සමාජ සාධාරණය එමඟින් ඉටු නොවේ. සමාජ ක්‍රමය ඒකාධිකාරී ලෙස අසාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන විට ඇති අය නැත්තන් පෙළති. හැකි අය නොහැක්‌කන් පෙළති. ධනවන්තයෝ ධන හීනයන් පෙළති. කුලවන්තයෝ කුලහීනයන් පෙළති. උගත්තු නූගතුන් පෙළති. මේ සමාජ සත්‍යය මැනවින් වටහා ගෙන තිබීම නිසා තෘෂ්ණා පූර්වක පරිග්‍රහණය හා සාමුහික පරිග්‍රහණය හේතු කොටගෙන උද්ගත වන භේදකාරී බලවේග සමාජයෙන් තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග මේ රටවල පාලකයන් විසින් යොදා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය හෝ ශ්‍රේෂ්ඨ පාලන ක්‍රමයක්‌ වන්නේ එය රටතුළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. ඇමරිකා එක්‌සත් ජනපදය, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, සෝවියට්‌ රුසියාව, මහජන චීනය වැනි රටවල් ආර්ථික, සාමාජික හා සංස්‌කෘතික අතින් උසස්‌ දියුණුවක්‌ ලබා ඇත්තේ එකී පාලන ප්‍රතිපත්ති නිසි පරිදි ඒ රටවල ක්‍රියාත්මක වීම නිසා බවට සැකයක්‌ නැත. ඒ අනුව සලකන විට ශ්‍රී ලංකාව විනාශ මුඛය කරා ළඟාවුයේ පාලනමය සිද්ධාන්තවල වරදක්‌ නිසා නොව එය ක්‍රියාවට නැංවූ පාලකයන් තුළ පැවති දුර්වලකම් නිසා බව අකමැත්තෙන් වුව ද සඳහන් කළ යුතුව ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය ශ්‍රේෂ්ඨ පාලන ක්‍රම දෙකක්‌ වුවත්, මුළු ලොව ම පිළිගත් උසස්‌ පාලන ක්‍රම දෙකක්‌ වුවත් මේ දෙක ම ලංකාවට ඔරොත්තු නො දෙන තත්ත්වයකට පත්වීම සැබවින් ම ෙ€දජනකය. වරින් වර බලයට පත් අප රටේ දේශපාලන නායකයන් තුළ පැවති ආත්මාර්ථකාමීත්වයත් බල ලෝභීත්වයත් එසේ ම ඔවුන් අනුගමනය කළ අයුතු අසාධාරණ ක්‍රියාමාර්ගයන් හේතු කොට ගෙන මේ ශ්‍රේෂ්ඨ පාලන ක්‍රම දෙකම ශ්‍රී ලංකාවේ පරිහානියට, විනාශයට මග පාදන්නක්‌ වු සැටි ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති භයානක තත්ත්වය අනුව හොඳහැටි පැහැදිලි වේ. 

ලිපිය අවසන් කිරීමට කලින් එක කරුණක්‌ පිළිබඳව ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි.

"ශ්‍රී ලංකාව උතුම් රටකි. වාසනාවන්ත රටකි. භාග්‍ය සම්පන්න රටකි. සෑම සැපතකින් ම පිරුණු රටකි. මහා කාරුණික බුදුන් වහන්සේ තෙවරක්‌ ම වැඩම කළ එක ම රටයි. උන් වහන්සේ ගේ සිරිපා පහසින් පිවිතුරු වු රටයි. රහතන් වහන්සේලා වැඩ සිටි රටයි. පැරණි හෙළ රජදරුවන් විසින් උතුම් වු බුදු සසුනට පුදන ලද එකම රටයි. එදා බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපෙන මොහොතෙහි සක්‌දෙවි රජුට බාර කළේ ද මේ රටයි. සක්‌දෙවි රජු උපුල්වන් දෙවියන්ට පවරා දුන්නේ ද මේ රටයි. එහෙයින් මෙය නිසැකව ම දෙවියන් ගේ රටයි. නිවනින් මෙහා සැනසිල්ලේ ජීවත් විය හැකිව තිබුණු හොඳ රටයි. එවැනි වාසනාවන්ත රටක්‌ මෙවැනි දුර්භාග්‍ය සම්පන්න අවස්‌ථාවකට පත්වුණේ මොන අවාසනාවක්‌ නිසා ද? දැන්වත් සිතා බලන්න."

කැනඩාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්‌ඩිත, පූජ්‍ය වැහිහේනේ පඤ්ඤාලෝක නාහිමි
http://www.divaina.com/2013/08/24/feature02.html

1 comments:

EMoney said...

දියුණු රටක් කිරීමට අවශ්‍ය සියලුසම්පත් තිබෙන මේ රටේ වෙසෙන සියල්ලෝම එකා වන්ව මේ රට සංවර්ධනය කිරීමට පෙළ ගැසෙත්වා.