Pages

Sunday, August 25, 2013

මියෑදෙමින් තිබුණු ගමකට ජීවිතය ගෙනා විඡේසිරි

මේ වන විට හඳුනාගෙන ඇති ආකාරයට දිවයිනේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක්‌ මරුවාට මුහුණදී කල දවස ගෙවන්නේ මැදවච්චිය ප්‍රදේශයේය. මැදවච්චිය නගරයේ ඒ මේ අත ඇවිද්දාට වකුගඩු රෝගය ගෙඩිය පිටින්ම කඳවුරු බැදගත් ගම්මාන හමුන්නේ නැත. 

මැදවච්චිය නගරයේ සිට කැබතිගොල්ලෑව පාරේ කිලෝමීටර් පහක්‌ හයක්‌ ගියවිට වකුගඩු රෝගය පොදි බැඳගත් සියගණන් රෝගීන් සිටින පොකුරුපිටින් මියගිය බවට වාර්තා ඇති සැබෑ වකුගඩු ගම්මාන හමුවෙයි. ඉහළ තම්මැන්නාව ගමේ පවුල් 250 ක්‌ පමණ වෙසෙති. 2012 වසරේ පමණක්‌ මේ ගමේ වකුගඩු රෝගීන් දහ දෙනෙකු මිය ගොස්‌ ඇති අතර දැනට දරු පවුල් තිහක පමණ වකුගඩු රෝගීන් සිටිති. කොඩිය බැන්දවැව ගමේ අදට සිටින්නේ පවුල් 26 කි. මෙයින් පවුල් 19 කම වකුගඩු රෝගීහු සිටිති. ගුරුකන්දේගම මහ දිවුල්වැව කඩවත්ගම යන ගම්මානවල පවුල්වලටද වකුගඩු රෝගය වැළදී ඇත. මේ හැම ගමකම මේ වන විට වකුගඩු රෝගීන් විස්‌ස තිහ මැරී ගොස්‌ ඇති බව මරණයට කැපවී සිටින වකුගඩු රෝගීහු පවසති.

ප්‍රදේශය ගිලගෙන පවතින වකුගඩු රෝගය පිළිබඳ කරුණු හෙළිකළ ඉහළ තම්මැන්නාවේ නිග්‍රෝධාරාමයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක විරාගන්නොරුවේ අනුරුද්ධ හිමියෝ මෙසේ පැවසූහ.

මේ අහල පහළ ගම්වල මාසේ දවස්‌ තිහට මරණ දහයක්‌ සිද්ධ වුණොත් එයින් මරණ හත අටක්‌ම වකුගඩු රෝගයෙන් අකාලයේ මිය ගිය ඒවා බව පාංශුකූලවලට යැමේදී අපට පෙනෙනවා. මේ අහල පහළ ගම්වල මේ වන විට වකුගඩු රෝගයෙන් තිහ හතළිහ මැරිලා. තව වකුගඩු රෝගීන් තිහ හතළිහ මරණයට පේවෙලා ඉන්නවා. වකුගඩු රෝගය මේ ප්‍රදේශයේ දැන් වසන්ගතයක්‌ විශාලා මහනුවර වගේ.

වකුගඩු රෝගියෙක්‌ නැති ගෙදරක්‌ නැතිතරම් වකුගඩු මරණයක්‌ නොවූ ගෙදරක්‌ නැතිතරම්. පවුලක ප්‍රධානියාට වකුගඩු රෝගය හැදුනම ඒ පවුලම අනාථයි. පසුගිය කාලෙ පැවති යුද්දෙන් සිදුවූ හානිවලට වඩා විශාල ජීවිත හානි මේ වකුගඩු රෝගයෙන් සිද්ධ වෙනවා. මොනවා කරන්නද? කාට කියන්නද?

මේ පිටිසර ගම්වලට මාධ්‍ය අඩිය තියලා නෑ. නිලධාරියෙක්‌. වෛද්‍යවරයෙක්‌ දේශපාලකයෙක්‌ පැත්ත පළාතෙ එන්නේ නෑ. ආවත් මොකක්‌ හරි බණක්‌ කියලා මාරු වෙනවා. ලෙඩේට විසඳුමක්‌ නෑ. කඩිනමින් ප්‍රශ්න විසඳන්න පළාත් සභාවක්‌ හදාගත්තා මදැයි. මේ පැත්තේ ඇහැක්‌ ඇරලා බලන්නේ නෑ. මේ අය ජනතාවගේ ඡන්දය ගන්නකොට නම් කීවේ වකුගඩු රෝගය සහමුලින් දූරී භූත කරනවාය කියලා. ඒවා නිකම්ම පුහු වචන විතරයි. තවමත් හඳුනා නොගත් විශාල රෝගීන් සංඛ්‍යාවක්‌ මේ ගම්වල ඉන්නවා.

ඉහළ තම්මැන්නාවේ ආර්. හේමපාල (57) වකුගඩු රෝගියා මෙසේ කීය.

පහුගිය අවුරුද්දේ මේ ගමේ මාස හයක්‌ ඇතුළත පිට පිටම වකුගඩු රෝගීන් දහයක්‌ මැරුණා. මමත් ඉතිං බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ මාරයා කථා කරයිද දන්නේ නෑ. මට මේ මූසල රෝගය හැදුනෙ 2007 දී. එදා ඉඳලා බේත් බොනවා. මැදවච්චිය වකුගඩු සායනයෙන් බේත් ගන්නවා. බේත් පෙති වර්ග හයක්‌ දිනපතා ගන්න ඕන. සමහර දාට සායනයේ බේත් නෑ. එහෙම වුණාම ෆාමසිවලින් මුදලට ගන්නවා. මාසෙකට බේත් ගන්න රුපියල් 4000 ක්‌ විතර ඕන. ආණ්‌ඩුවෙන් මාසෙකට රුපියල් 500 ක ආධාරයක්‌ දෙනවා. ඒක ඉතිං හැරෙන්නත් මදි. දැන් බේත්වලටම ගේදොර ඉඩම් උකස්‌වෙලා. මොනවා කරල හරි ජීවත් වෙන්නයි ආශාව.

තවත් වකුගඩු රෝගියෙකු වූ තම්මැන්නාවේ ආර්. සෝමපාල (66) මෙසේ කීය.

ආර්. හේමපාලයි මටයි අයිය මලෝ. මගෙ පුතාටත් වකුගඩු රෝගය හැදිලා ගිය අවුරුද්දෙ මැරුණා. අපේ පවුලේ පහක්‌ හිටියා. දැන් ඉන්නේ හතරයි. මටත් 2011 දී වකුගඩු රෝගය හැදුණා. අපේ පවුල ජීවත් වෙන්නේ ගොවිතැන් කරලයි. මාසෙකට වරක්‌ බේත් ගන්න ඕන. සමහරදාට බේත් සායනයේ නැතිවුණාම සල්ලිවලට ගන්න සිද්ධ වෙනවා. සල්ලිවලට ගන්නවා නම් මාසෙක බේත්වලට රුපියල් 4000 ක්‌ විතර ඕන. දැන් බේත්වලටම හරි හම්බකර ගත්දේ ඔක්‌කොම ඉවරයි.

පී. ජයසිංහ. (58) තවත් වකුගඩු රෝගියෙක්‌ ඔහුගේ තොරතුරු මෙසේය.

මට දැන් වකුගඩු රෝගය හැදිලා අවුරුදු දෙකයි. මැදවච්චියේ සායනයෙන් වකුගඩු බේත් ගන්නවා. රජයෙන් රුපියල් 500 ක්‌ මාසෙකට ලැබෙනවා. ඒ මුදල මොනවා කරන්නද? මාසෙට බේත්වලටම රුපියල් 4000 ක්‌ විතර ඕන. වකුගඩු රෝගය හින්දම අපි දැන් නැතිවෙලා ඉන්නේ. තව ඉතිරිවෙලා තියෙන්නේ මැරෙන්න විතරයි. ආණ්‌ඩුවේ නිලධාරීන් හරි දේශපාලන අය හරි මේ පැත්තේ ඇහැක්‌ ඇරල බලන්නේ නෑ. අපි හරියට අසරණ වෙලා.

තම්මැන්නාවේ ඒ. ඇම්. රම්මැණිකා (72) වකුගඩු රෝගියෙකි. ඇය මෙසේ කීවාය.

මට දැන් වකුගඩු රෝගය හැදිලා අවුරුදු හතරක්‌ පහක්‌ වෙනවා. හැබැයි රෝගය හැදෙන කොටම වගේ රෝගය අඳුනාගෙන දිගටම බේත් ගත්තා. අසනීපය සුව නෑ. නමුත් තාම මැරුණෙ නෑ. මාසෙකට වරක්‌ ලේ පිරිසිදු කරනවා. ඒකටත් හරියට වියදම්. මගේ ස්‌වාමියාත් වකුගඩු රෝගයෙන් මැරිලා. මගේ බාලපුතා තමයි මාව රැක බලා ගන්නෙ. මටත් ඉතිං කොයිවෙලාවෙ යන්න වේද දන්නේ නෑ.

ඉහළ තම්මැන්නාව ගමේ පවුල් 250 ටම පිරිපහදු කළ ජලය ලබාදීමට ඇප කැපවී සිටින එම ගමේ ජයන්ත විඡේසිරි (චමී) (34) මෙසේ තොරතුරු හෙළි කළේය.

ගිය අවුරුද්දෙ මගෙ තාත්තා වකුගඩු රෝගයෙන් මැරුණා. මගේ තාත්තත් එක්‌ක ගිය අවුරුද්දෙ මාස හයක්‌ ඇතුලත තවත් ගමේ අය දහ දෙනෙක්‌ වකුගඩු රෝගයෙන් මැරුණා. ඒ විතරක්‌ නෙමෙයි. මරණයට කැපවී රෝගීව සිටින තවත් 30 ක්‌ විතර ගමේ ඉන්නවා. මාසෙන් මාසෙට ගම ජනතාවගෙන් ශූන්‍ය වෙනවා. විසඳුමක්‌ නෑ. කවුරුත් අපේ ගම ගැන බලන්නෙ නෑ. මැදවච්චියෙ ඉඳල අපේ ගමට කිලෝ මීටර් පහක්‌ විතර තියෙනවා. පිටිසර ගමක්‌. මාධ්‍යය එන්නේ නෑ. වෛද්‍යවරු නිලධාරීන් දේශපාලකයන් ඉඳහිටවත් එන්නේ නෑ. අපේ ගමේ අය වකුගඩු රෝගය සමග මරණෙන් බේරෙන්න පොර බදනවා. ඒත් අවුරුදු දෙක තුනක්‌ බෙහෙත් බිබී ඉඳලා මැරිලා යනවා.

අනුන් දිහා බලා හිටියොත් අපේ ගමේ අය තව තව වකුගඩු රෝගයෙන් මැරෙනවා. මම මේ ගැන හිතල රුපියල් ලක්‍ෂ තුනහමාරක්‌ ගෙවල අපද්‍රව්‍ය පෙරලා වතුර පිරිපහදුකරන මැෂින් දෙකක්‌ ගෙනාවා. මේ මැෂින් දෙක පන්සලේ ළිඳ ළඟ සවිකරලා වතුරටැංකි සහ උපාංග දාල ක්‍රියාත්මක කළා. මැෂින්වලින් පිරිපහදු කළ වතුර අනුරාධපුර ජල සම්පාදන මණ්‌ඩලයට දීලා පරික්‌ෂා කළා. වතුර ඉතාමත් හොඳයි. මේ මැෂින් දෙකෙන් පැයකට වතුර ලීටර් 120 ක්‌ විතර පිරිපහදු වෙනවා. ගමේ අයට පානයට ඇති ජලය පිරිපහදු කරන ටැංකිවලට කරාම හතරක්‌ සවිකළා. දැන් ගමේ හැම දෙනාටම පිරිපහසු කළ ජලය නොමිළයේ ගෙනයන්න පහසුකම් සලසා දී තිබෙනවා. මේ සඳහා මට රුපියල් ලක්‍ෂ 12 ක්‌ තරම් වියදම් වුණා. වකුගඩු රෝගයෙන් මියගිය මගේ පියාට පිං පිණිස. ගමේ අය වකුගඩු රෝගයෙන් බේරා ගන්න මම මේ ජල පිරිපහදුව සවිකළා. පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා ශුභසාධන අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද මහතා මගේ මේ ජල පිරිපහදු ව්‍යාපෘතිය විවෘත කළා. තවත් මැති ඇමැතිවරු ඒ උත්සවයට ඇවිත් හිටියා.

පවුල් 250 කට පිරිපහදු කළ ජලය ලබා දෙන්න වියදම්වෙලා තියෙන්නේ රුපියල් ලක්‍ෂ 12 ක්‌. ඒ අනුව එක පවුලක්‌ වෙනුවෙන් වියදම රුපියල් 4800 ක්‌. මෙය වසර කීපයක්‌ එක දිගට පිල්ටර් මාරු කරමින් පාවිච්චි කළ හැකියි. එසේ නම් පෞද්ගලිකව සිය පාක්‌ෂික පවුල්වලට ජලපෙරන බෙදනවාට වඩා ජලනල මගින් පළාත පුරා ජලය බෙදාහරිනවාට වඩා බවුසර් මගින් ජලය බෙදාදෙන වාට වඩා ඉහළ තම්මැන්නාවේ ජයන්ත විඡේසිරිගේ ජල පිරිපහදු වැඩ පිළිවෙල ලාභදායක නොවන්නේද?

එප්පාවල, රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/08/25/feature04.html

3 comments:

www.emoneyd.blogspot.com said...

ඉතා වටිනා අගය කළයුතු ක්‍රියාවක්.

දෙනෙත් හරින්න ! said...

අනිවාර්යයෙන්ම සහෝ! හැමදේම කරළ දෙනකම් මුනිවත රකිනා හැමට වටිනා ආදර්ශයක්...

Rasika Chaminda said...

nodakin deshapalana gembo.. ekath wiwurtha karanna awa.. mokatada okunta enta kiwwe.. kohoma unath andurata sapa karanawata wada dahas gunayak watina wadak karala thiyenne... obata pin...