Pages

Friday, August 30, 2013

මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය තහනම්!

මුන්නේශ්වරම ඇතුළු කෝවිල්වල බිලි පූජා නැවැත්වීමට පොලිසියට බලය ඇත.

බලපත්‍රයක්‌ නැතිව හලාවත මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සිදුකෙරෙන සත්ව ඝාතන නැවැත්වීමට පොලිසියට පැවරී ඇති නීතිමය බලතල යොදාගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලකරමින් අභියාචනාධිකරණය ඊයේ (29 වැනිදා) පොලිස්‌පති, පුත්තලම දිස්‌ත්‍රික්‌කය භාර නියෝජ්‍ය පොලිස්‌පති, හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හා හලාවත පොලිස්‌ මූලස්‌ථානාධිපතිට නියෝගයක්‌ නිකුත් කළේය.

අභියාචනාධිකරණය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව මින් ඉදිරියට බලපත්‍රයක්‌ නැතිව කිසිදු ස්‌ථානයක මස්‌ පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් වෙනු ඇත.

අභියාචනාධිකරණය එකී නියෝගය නිකුත් කළේ මුන්නේශ්වරම් භද්‍රකාලි කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීම් තහනම් කරන්නැයි ඉල්ලා ජාතික සංඝ සම්මේලනය, සත්ව සුබසාධන සංවිධාන ඇතුළු 14 දෙනකු විසින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. සිසිර ද ආබෲ, දීපාල් විඡේසුන්දර ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ. හලාවත මුන්නේශ්වරම් භද්‍රකාලි කෝවිලේ සත්ව බිලි පූජා පවත්වන බව එහි ප්‍රධාන පූජක හා පූසාරිවරු උසාවිය හමුවේ පිළිගෙන ඇත. කෝවිල් භූමියේ සතුන් මැරීමට බලපත්‍රයක්‌ ලබාගෙන නැති බවද පිළිගෙන ඇති අතර ඉදිරි උත්සව සමයේදීත් එහි සත්ව බිලි පූජා නොපවත්වන බවට පොරොන්දුවක්‌ හෝ සහතිකයක්‌ ද දී නැත. කිසියම් ස්‌ථානයක බලපත්‍රයක්‌ නැතිව සතුන් ඝාතනය කිරීම සත්ව ඝාතන පනතේ රෙගුලාසි කඩ කිරීමක්‌ වන බැවින් එම නීති විරෝධී ක්‍රියාව නැවැත්වීමට පොලිසියට අයිතියක්‌ හා බලයක්‌ ඇත.

ආගමික කටයුත්තක්‌ වශයෙන් කෝවිල් භූමියේ සතුන් මැරීමට අවශ්‍ය නම් ඒ සඳහා පළාතේ නිසි බලධාරීන්ගෙන් බලපත්‍රයක්‌ ලබාගත යුතුය. ආගමික හෝ කිසිදු ස්‌ථානයක සතුන් මස්‌ සඳහා ඝාතනය කිරීම හෝ බලපත්‍රයක්‌ නැතිව කළ නොහැක. කෝවිල් භූමියේ ඝාතනය කළ සතුන්ගේ මස්‌ ආහාරය සඳහා පිළියෙළ කර බැතිමතුන්ට පිළිගැන්වූ බව ප්‍රධාන පූජකවරයා ප්‍රකාශ කර ඇත. එය නිදහසට කරුණක්‌ හැටියට පිළිගත නොහැක.

අනිත් කාරණාව සතුන්ට අමානුෂික ලෙස වධ හිංසා කර කෝවිල් භූමියේ විශාල පිරිසක්‌ බලාසිටියදී ඝාතනය කිරීම බවට පෙත්සම්වලින් කළ චෝදනාව ගැන කෝවිලේ ප්‍රධාන පූජකවරයා කිසිවක්‌ ප්‍රකාශ කර නැත.

සතුන් ඝාතනය කරන ආකාරය ඔහු උසාවියට විස්‌තර කර නැත. මේ අනුව සත්ව හිංසා පනතේ රෙගුලාසි කෝවිල් පූජකවරුන් කඩ කර ඇති බවටද තීන්දු කරන අතර ඒ චෝදනාව යටතේ කෝවිල් භාරකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලය ඇති බවට තීරණය කරන බව නීතිඥවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අධිනීතිඥ රාජා ඩෙප් මහතා පෙත්සම්කරුවකු වන ජාතික සංඝ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සී. ආර්. ද සිල්වා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/08/30/news01.html

සබැඳි ලිපි -
[
මුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_8317.html
]

0 comments: