Pages

Wednesday, August 28, 2013

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල තවමත් ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මකයි. ලංකාව ගැන පමණක් පිල්ලේට ඇති අමාරුව මොකක්ද?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධව අනවශ්‍ය ලෙස මැදිහත්වීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බැවින් ඊට දැඩි විරුද්ධත්වය පළකරන බව ප්‍රවාහන ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය.

නවනීදන් පිල්ලේ මහත්මියට හෝ ජාත්‍යන්තරයට සැඟවීමට කිසිවක්‌ ශ්‍රී ලංකාවේ නැති බව අවධාරණය කළ ඇමැතිවරයා ඕනෑම තැනක සංචාරය කිරීමටත්, සාකච්ඡා කිරීමටත් රජය අවස්‌ථාව සලසා දී තිබෙන බව ද සිහිපත් කළේය.

මතුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක්‌ අමතමින් මේ බව සඳහන් කළ කුමාර වෙල්ගම ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර රටවල මානව හිමිකම් කඩවීම් පිළිබඳව කතා නොකරන නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට පමණක්‌ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීම තරයේ හෙළාදකිනවා කියාය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල තවමත් ත්‍රස්‌ත මර්දන පනත ක්‍රියාත්මක වන බවත් එවැනි පසුබිමක්‌ තුළ ශ්‍රී ලංකාව තවමත් එම පනත ඉවත් නොකළේ මන්දැයි නවනීදන් පිල්ලේ මහත්මිය ප්‍රශ්න කිරීම යුක්‌ති සහගත නොවන බවත් ඒ මහතා කීය.

දශක තුනකට අධික කාලයක්‌ පැවැති යුද්ධය අවසන් කර සාමය උදාකර රට සංවර්ධනය කරා ගෙනයන මෙවන් අවස්‌ථාවක අභ්‍යන්තර ප්‍රශ්න කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම තරයේ හෙළාදකින බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2013/08/28/news03.html

0 comments: