Pages

Monday, August 26, 2013

නවිනීදන් පිල්ලේ යනු කවුද???

ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ නවිනීදන් පිල්ලේගේ පැමිණීම සඳහා පාසලක්‌, පාසල් පරීක්‍ෂකවරයකුගේ පැමිණීම නිමිත්තෙන් සූදානම් වන ආකාරයට සූදානම් වෙමින් සිටින බව පෙනේ. උතුරේ අතුරුදහන් වූවා යෑයි කියන පුද්ගලයන් පිළිබඳ කොමිසමක්‌ පත් කිරීම පොලිස්‌ දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යංශයෙන් පිටතට ගෙන වෙනමම අමාත්‍යාංශයක්‌ යටතට පත්කිරීම වැනි කටයුතු පිලේගේ පැමිණීම නිමිත්තෙන් කරන ලද ඒවා යෑයි කිව හැක. ඇය ලංකාවට පැමිණ මූලික වශයෙන් කරන්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාව බිම් මට්‌ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමයි.

එම නිසා ඇය මෙහි පැමිණි පසු ආණ්‌ඩුව උත්සාහ ගනු ඇත්තේ ඔවුන් උගත් පාඩම් හා සංහිssඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බව පෙන්වීමටය. අනෙක්‌ පැත්තට රාජ්‍ය නොවන නඩයේ උත්සාහය වනු ඇත්තේ ආණ්‌ඩුව ඒ සම්බන්ධයෙන් කිසිවක්‌ කර නැති බව පෙන්වීමටය.

මේ කෙසේ වෙතත් ලංකාවේ තත්ත්වය ගැන සොයා බලා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ජීවත් වන දෙමළ ජාතිsකයකු පත් කිරීම මුලින්ම ප්‍රශ්න සහගත බව කිව යුතුය. නවිනීදන් පිල්ලේ යනු හිටපු විනිශ්චයකාරියකි. එම නිසා කුමක්‌ හෝ හේතුවකට විනිසුරුවෙක්‌ නඩුවේ යම් පාර්ශ්වයක්‌ වෙත නැඹුරු වනු ඇතැයි සැකයක්‌ ඇතිවීමට ඉඩ ඇති කල එම විනිසුරුවරයා අදාළ නඩුව ඇසීමෙන් වැළකී වෙන අයෙකුට එය පැවරිය යුතු බව ඇය හොඳින් දනී. ඇමරිකානු නීතිඥ සංගමයේ විනිසුරුවරුන්ගේ ආචාරධර්ම ලියවිල්ලට අනුව විනිසුරුවරයකුගේ අපක්‍ෂපාතීත්වය ප්‍රශ්න කළ හැකි අවස්‌ථාවල ඇය අදාළ නඩුවෙන් ඉවත් විය යුතුය. නවිනීදන් පිල්ලේ යනු දකුණු අප්‍රිකානු පුරවැසිභාවය තිබෙන දෙමළ ජාතිකයෙකි. ලෝකය පුරාම විවිධ රටවල විසිරී සිටින දෙමළ ජාතිකයන් ලංකාවේ උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගත් දෙමළ රාජ්‍යයක්‌ පිළිබඳ සිහිනය දකී. මේ ආකාරයට වෙනත් රටවල් පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සම්භවයක්‌ නැති දෙමළ ජාතිකයන් පවා ලංකාව තුළ දෙමළ රාජ්‍යයක්‌ බිහි කිරීමේ සිහිනය දකින්නේ ඔවුන් ජීවත් වන රාජ්‍යයන් ශක්‌තිමත් වැඩි නිසාය. දෙමළ ජාතිකයන් ජීවත් වන රටවල් සියල්ල අතරින් ලංකාව දුර්වලම රටක්‌ වන නිසා දෙමළ රාජ්‍ය ගොඩනැගීමේ උත්සාහය ලංකාව මතම කේන්ද්‍ර ගතවී ඇත. මෙවැනි තත්ත්වයක්‌ යටතේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් මර්දනය කළ ආණ්‌ඩුවක ප්‍රගතිය පිළිබඳ වාර්තා කිරීම සඳහා පෙර කී දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයෙක්‌ ලංකාවට එවීම කොතරම් යුක්‌තිසහගත වනවා දැයි කවුරුත් තම තමන්ගෙන් ආසා ගතයුතුය.

පිල්ලේ සම්බන්ධයෙන් ගත් කල සැකයට භාජනය වන්නේ ඇයගේ ජාතිකත්වය පමණක්‌ නොවේ. ඇමරිකාවේ නීතිඥ සංගමයේ විනිසුරුවරුන්ගේ ආචාරධර්ම පද්ධතියට අනුව යම්කිසි විනිශ්චයකාරවරයෙක්‌ අදාළ කාරණය ගැන ප්‍රසිද්ධ ප්‍රකාශ කොට එම නඩු විභාගයේ අවසන් ප්‍රතිඵලය එක්‌තරා පැත්තකට තල්ලු කිරීමට ඇය කැපවී සිටින බවක්‌ පෙනෙන්නට තිබේ නම් එම විනිසුරුවරයා නඩුවෙන් ඉවත් විය යුතුය. පිල්ලේ මීට බොහෝ කලකට පෙර සිට ලංකාව පිළිබඳ විවිධ ප්‍රකාශ නිකුත්කොට තිබෙනවා පමණක්‌ නොව ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවද කියා ඇත. ඒ හේතුව නිසාද ඇය මේ ගමනෙන් ඉවත් වී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ කාර්යාලයේ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ලංකාවට ඒමේ වගකීම පැවරිය යුතුව තිබුණි. මේ සඳහා ඇයගේ දෙවැනියා වන ඉතාලි ජාතිකයා නැතිනම් තුන්වැනියා වන ක්‍රොඒෂියානු ජාතිකයා එවිය යුතුව තිබුණි. ඉතාලියත්, ක්‍රොඒෂියාවත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් නිසා එම රටවල් ද සියලුම ජාත්‍යන්තර සංවිධාන තුළ ලංකාවට එරෙහිව සිටින බව සත්‍යයක්‌ වුවත් අඩුම වශයෙන් ඒ දෙදෙනා දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයන් නොවීමත් ලංකාව සම්බන්ධයෙන් මීට කලින් ප්‍රකාශ නිකුත් කර නොතිබීමත් යන කාරණය නිසා අඩුම වශයෙන් අපක්‍ෂපාතීත්වය පිළිබඳ පෙනුමක්‌ හෝ පවතිනු ඇත.

එසේ නම් ලංකාවේ ආණ්‌ඩුවට මේ ගමන සඳහා නවිනීදන් පිල්ලේ හැර වෙනත් අයෙකු ඉල්ලා සිටීමට හැකියාව තිබුණා යෑයි අයෙක්‌ තර්ක කරනු ඇත. ඇමරිකානු නීතිඥ සංගමයේ ආචාරධර්ම පද්ධතියට අනුව යම් නඩුකාරයෙක්‌ නඩුවෙන් ඉවත් විය යුතු තත්ත්වයක්‌ තිබේ නම් අනෙක්‌ පාර්ශ්වය එවැනි ඉල්ලීමක්‌ කරත් නැතත් නඩුවෙන් ඉවත් විය යුතු බව කියවෙයි. ඒ කෙසේ වෙතත් ලංකාවේ ආණ්‌ඩුවද වෙනත් අයෙකු ගෙන්වා ගන්නේ නැතුව පිල්ලේටම ඒමට ඉඩ හැරියේ ආණ්‌ඩුවට මුහුණ දීමට ඇති නරකම තත්ත්වය කුමක්‌දැයි කලින්ම දැන ගැනීම සඳහා විය යුතුය. ඒ සඳහා ඔවුන් ලංකාවට වැඩියෙන් විරුද්ධ, වැඩියෙන්ම අවාසිදායක වන පුද්ගලයාට ඒමට ඉඩ හැර ඇත. කල්පනා කර බලන විට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාව පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට නවිනීදන් පිල්ලේට වඩා අවාසිදායක පුද්ගලයන් තවත් ලෝකයේ සිටිත් නම් ඒ ජයලලිතා ජයරාම් හෝ වී. රුද්‍රකුමාරන් පමණි.

නවිනීදන් පිල්ලේ නායකත්වය දරන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය යනු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් කාර්යාලයයි. තමන්ගේ ක්‍රියාකාරකම් පිටට පෙනෙන්නේ මොන ආකාරයටද යන්න ගැන මේ ලේකම් කාර්යාලය කිසිදාක තැකීමක්‌ කළේ නැත. එ.ජා. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ කාර්යාලයේ වියදම්වලින් එ.ජා. ගේ සංවිධානයේ මධ්‍යම අයවැයෙන් ලැබෙන්නේ තුනෙන් එකක ප්‍රමාණයක්‌ පමණි. වියදම් වලින් සෙසු තුනෙන් දෙක ඔවුන්ට ලැබෙන්නේ එ.ජා. සංවිධානයේ සාමාජික රටවල "ස්‌වෙච්ඡා සම්මාදම්" හැටියටය. මේ ආකාරයට එ.ජා. මානව හිමිකම් පිළිබඳව කොමසාරිස්‌ කාර්යාලයට මුදල් දෙන ප්‍රධානතම රටවල් දෙක වන්නේ ඇමරිකාව හා නෝර්වේය. යුරෝපා සංගමය හා කැනඩාවද පළමු සම්මාදම්කරුවන් 10 අතරට වැටේ. 

මේ කිසිවක්‌ පරාර්ථකාමය සඳහාම නොවේ. එ.ජා. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය යනු බටහිර රටවල විදේශ ප්‍රතිපත්ති මෙවලමකි. ඒ බව ඔවුන් සැඟවීමට උත්සාහ ගන්නේද නැත. මේ මෑතක්‌ වනතුරු එ.ජා. මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ සේවකයන්ගෙන් 70% කට වඩා බටහිර ජාතිකයන් විය. නමුත් මෙම ආයතනය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ ද ලේකම් කාර්යාලය වන නිසා මානව හිමිකම් කවුන්සිලයේ බටහිර නොවන සාමාජික රටවල් වල උද්ඝෝෂණය නිසා දැන් ක්‍රම ක්‍රමයෙන් මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ බටහිර ජාතිකයන්ගේ ගණන අඩු කරමින් යයි. නමුත් ලෝකය පුරාම මානව හිමිකම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බටහිර රටවලින් මුදල් ලබන පුද්ගලයන්ගේ ඒකාධිකාරයක්‌ වන නිසා මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ සේවකයන් හැටියට බඳවා ගන්නා සුද්දන් නොවන සේවකයන්ද අවසානයේදී කලින් හිටපු සුද්දන් තරම්ම නැතිනම් ඊටත් වඩා බටහිර න්‍යාය පත්‍රය තුළම සිටින අය බව කිව යුතුය. නවිනීදන් පිල්ලේ ද එවැනි අයෙකි.

මේ සියල්ලටම වඩා භයානක වන්නේ නවිනීදන් පිල්ලේ නීතිය පිළිබඳව දරන ආකල්පයයි. දකුණු අප්‍රිකාවේ නීතිඥවරියක්‌ වන ඇය එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ වීමට කලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේත්, රුවන්ඩාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ උසාවියේත් සේවය කර ඇත. ඇය රුවන්ඩානු ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ආරම්භක විනිශ්චයකාරවරියක්‌ විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණ යනු ලෝකයට තවමත් අලුත් දෙයකි. 1991 දී යුගෝස්‌ලාවියාව සම්බන්ධයෙන්ද, 1994 දී රුවන්ඩාව සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර අපරාධ අධිකරණ පිහිටුවන විට එවැනි අධිකරණවල පවත්වාගෙන යා යුතු ක්‍රියාපටිපාටි යනාදිය ගැන පූර්වාදර්ශ නොතිබුණි. ඊට කලින් ජාත්‍යන්තර අපරාධ අධිකරණ යෑයි කියා යම් දෙයක්‌ තිබුණේ නම් ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරාජිතයන්ට දඬුවම් දීමට නියුරන්බර්ග් හා ටෝකියෝ යන නගරවල පිහිටුවන ලද යුද අපරාධ අධිකරණ පමණි. නමුත් එක්‌ විචාරකයෙක්‌ පෙන්වා දුන් පරිදි ජර්මනියේ සියලු කාරණා ලේඛනගත කර තිබුණු නිසා වරදකරුවන්ගේ වැරැදි ඔප්පු කිරීමට සාක්‍ෂි පිළිබඳ ප්‍රශ්නයක්‌ නොතිබුණි. නමුත් රුවන්ඩාව හා යුගෝස්‌ලාවියාව වැනි ස්‌ථානවල සාක්‍ෂි සෙවීම අතිශයින්ම අසීරු විය. මෙම රටවල්වල සිදුවූ සිද්ධීන් විමර්ශනය කර සාමාන්‍ය නඩුවකදී පොලිසිය කරන කාර්ය ඉටුකිරීම පිළිබඳ ප්‍රශ්නයක්‌ තිබිණි. එවිට ඇතිවූයේ එම රටවල්වල සිදුවූ කාරණා පිළිබඳ නොයෙක්‌ කතා අසන්නට ලැබුණත් ඒවා ඔප්පු කිරීමට සාක්‍ෂි හිඟ වීමයි. මෙකී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පත්වූ නවිනීදන් පිල්ලේ වැනි විනිශ්චයකාරවරුන්ට මෙවැනි තත්ව යටතේ නඩු ඇසීම සම්බන්ධයෙන් සාධාරණ හා පිළිගත හැකි ක්‍රමවේදයන් හඳුන්වා දීමට අවස්‌ථාව තිබිණි. නමුත් ඔවුන් කළේ එකී අනෙක්‌ පැත්තය. පිල්ලේ ඇතුළු මේ විනිශ්චයකාරවරුන් ඒ උසාවි හැසිරවූ ආකාරය නිසා නීති විශාරදයන් ගණනාවක්‌ම මේ ජාත්‍යන්තර උසාවිවල ක්‍රියාපටිපාටිය ප්‍රශ්නයට ලක්‌කොට ඇත.

නවිනීදන් පිල්ලේ ඇතුළු තවත් විනිශ්චයකාරවරුන් දෙදෙනෙක්‌ යටතේ ඇසුණු අභිචෝදක එරෙහිව ජීන් පෝල් අකයේසු නමැති රුවන්ඩානු නඩුව අපි උදාහරණයකට ගනිමු. මෙහිදී මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ වැනි චෝදනා සම්බන්ධයෙන් ගම්මුලාදැණියෙක්‌ වැනි නිලධාරියෙක්‌ උසාවියට ඉදිරිපත් කොට තිබිණි. මොහුට එරෙහිව නොයෙක්‌ චෝදනා තිබුණත් සාක්‍ෂි අල්ප විය. මේ නඩු තීන්දුවේ එම නඩුවට සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳ වෙනමම සඳහනක්‌ ඇත.

මේ සටහනින් ඔවුන් මුලින්ම සඳහන් කළේ රුවන්ඩාව සම්බන්ධ මෙම ජාත්‍යන්තර අධිකරණය එහි ව්‍යවස්‌ථාවට අනුව කිසිම ජාතික නීති පද්ධතියක ඇති සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳ රීතිවලින් බැඳී නැති බවයි. එම නිසා ඔවුන් ඉදිරියේ ඇති කාරණය විනිශ්චය කිරීමට වඩාත්ම සුදුසු යෑයි ඔවුන්ට හැඟෙන ආකාරයකට කටයුතු කර ඇති බව සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය පුරා ඇමරිකාවේ, යුරෝපයේ, ඉන්දියාවේ හෝ ලංකාවේ වේවා නීති පද්ධතිවල සාධාරණ නඩුවක්‌ ඇසීම අරභයා සාක්‍ෂි ඉදිරිපත් කළ හැකි රීතිවල වැඩි වෙනසක්‌ නැත. අප වැනි ඌණ සංවර්ධිත රටවල් බොහෝ විට බටහිර රටවල මේ සම්බන්ධයෙන් බලපවත්වන නීති අනුකරණය කර ඇත. අද වුවත් ලංකාවේ සාක්‍ෂි ආඥ පනතේ 100 වන වගන්තියට අනුව එම ආඥ පනතේ සඳහන් නොවන කාරණයක්‌ සම්බන්ධයෙන් එංගලන්තයේ බලපවත්වන සාක්‍ෂි පිළිබඳ නීතිය ක්‍රියාත්මක වන බව සඳහන් වෙයි. මේ ආකාරයටම ලෝකය පුරාම සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව යම්කිසි පිළිගත් ප්‍රමිතියක්‌ ඇත. නමුත් නවිනීදන් පිල්ලේ ඇතුළු රුවන්ඩානු අධිකරණයේ විනිශ්චයකාරවරුන් ලෝකය පුරාම ජාතික මට්‌ටමින් පවතින මේ ප්‍රමිතීන් සියල්ල මහපාරට විසි කළේය.

රුවන්ඩාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ජාත්‍යන්තර අධිකරණයක්‌ නිසා කුමක්‌ හෝ එක්‌ රටක බලපවත්වන නීති පද්ධතියකට යටත් නොවන බව එහි ව්‍යවස්‌ථාවේම කියා තිබුණ ද සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල සාක්‍ෂි විභාග කිරීම පිළිබඳ නීතිය බොහෝ දුරට සමාන වන නිසා ඒ ඇතිවී තිබෙන පොදු රීති මාලාව එම ජාත්‍යන්තර අධිකරණයට ද ආදේශ කිරීමට කිසිදු බාධාවක්‌ තිබුණේ නැත. නමුත් පිල්ලේ ඇතුළු පිරිස කළේ සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳ සම්පූර්ණ බලය තමන්ගේ අතේ සංකේන්ද්‍රගත කර ගැනීමයි. මේ අනුව ඔවුන් බිහි කළේ ජාත්‍යන්තර කැකිල්ලේ උසාවි පද්ධතියකි. මේ අයුක්‌තියට භාජනය වී සිටින්නේ යුගෝස්‌ලාවියාවෙන් කැඩී වෙන් වූ කුඩා රටවල්වල පුද්ගලයන් කීපදෙනෙකුත් රුවන්ඩාව වැනි නොවැදගත් කලු අප්‍රිකානුවන් ජීවත් වන රටකුත් වන නිසා මේ අයුක්‌තිය ගැන ජාත්‍යන්තර ආන්දොaලනයක්‌ තවම හටගෙන නැත.

මෙකී ජාත්‍යන්තර අධිකරණවල ඉදිරිපත් වූ එක්‌ අදහසක්‌ වුයේ යම්කිසි එක්‌ සාක්‍ෂිකරුවෙක්‌ ලබාදෙන ප්‍රකාශයක්‌ තීන්දුවක්‌ ගැනීමට ප්‍රමාණවත් වන බවයි. එම සාක්‍ෂිකරුවා කියන දෙය කිරීමට වෙනත් සාක්‍ෂිකරුවෙක්‌ හෝ වෙනත් කිසිදු භෞතික හෝ විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැතිව වුවත් අදාළ සාක්‍ෂිකරුවාගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමෙන් පසු ඔහු කියන දෙය සත්‍යයක්‌ යෑයි විනිශ්චයකාරවරුන්ට හැඟී යන්නේ නම් චූදිතයාට දඬුවම් ලැබේ. ලංකාවේ සුදු කොඩි නඩුව අපි උදාහරණයකට ගත හොත් ජෙනරාල් සරත් ෆ්‍රෙdන්සේකාට එරෙහිව සිටියේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ෆ්‍රෙඩි්‍රකා ජෑන්ස්‌ පමණි. ඔවුන් අතර සිදුවූ සාකච්ඡාවේ හඬපටයක්‌ නොතිබුණු අතර තිබුණේ ඒ සම්බන්ධ සටහන් ලියා ගත් ෆ්‍රෙඩි්‍රකාගේම සටහන් පොත පමණි. නමුත් ලංකාවේ කිසිදු උසාවියක්‌ එක සාක්‍ෂිකරුවෙක්‌ යම් දෙයක්‌ කී පමණින් චූදිතයාට දඬුවම් දෙන්නේ නැත. ජෙනරාල් ෆ්‍රෙdන්සේකාට වැඩය වැරදුනේ ඔහු ෆ්‍රෙඩි්‍රකාට කී දෙයම පසුව තැන් තැන්වල මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම් වල කී නිසා ඒවා රූපවාහිනි කැමරාවලට හසුවී තිබීම හේතුවෙනි. ඒ ආකාරයට ලංකාවෙන් කිසිදාක තනි සාක්‍ෂිකරුවකුගේ වදන් නිසා පමණක්‌ චූදිතයකුට දඩුවම් දෙන්නේ නැත.

නමුත් නවිනීදන් පිල්ලේ ඇතුළු පිරිස වෙනත් කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිව වුවත් එක්‌ සාක්‍ෂිකරුවකුගේ වදන් මත පමණක්‌ පිහිටා චූදිතයන්ට දඬුවම් නියම කළේය. එයින් නොනැවතී ඔවුන් අසා දැනගත් සාක්‍ෂි ද නඩුවේදී භාර ගත්තේය. එනම් සාක්‍ෂිකරුවෙක්‌ උසාවියට පැමිණ ඔහුට යම් කාරණයක්‌ ආරංචි වූවා යෑයි කීවේ නම් එය ද සාක්‍ෂියක්‌ හැටියට ඇය පිළිගත්තාය. රුවන්ඩාවේ මේ නඩුව ඇසෙන අතරතුර පැහැදිලි වූ එක්‌ කාරණයක්‌ වූයේ ඇසින් දුටු සාක්‍ෂි හැටියට ඇතැම් සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කළ කාරණා පසුව ඔවුන් අසා දැනගත් දේවල් බවට හෙළි වීමයි. නමුත් ඒ කාරණයත් පිල්ලේට ප්‍රශ්නයක්‌ නොවීය. එංගලන්තය වැනි රටවල් වල ද ඇතැම් අවස්‌ථාවල අසා දැනගත් කාරණා සාක්‍ෂි හැටියට ඉදිරිපත් කළ හැකි වුවද එසේ කළ හැක්‌කේ දැඩි පාලනයක්‌ යටතේය. බ්‍රිතාන්‍යයේ 2003 අපරාධ යුක්‌තිය පිළිබඳ පනතේ 34.2 වගන්තියට අනුව යම්කිසි පාර්ශ්වයකට අසා දැනගත් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත් ඔවුන් මුලින්ම ඒ පිළිබඳව උසාවියටත් නඩුවේ අනෙක්‌ පාර්ශවකරුවන්ටත් දැනුම් දිය යුතුය. ඉන්පසු අදාළ සාක්‍ෂියේ අසා දැනගත් කොටස කුමක්‌ දැයි පැහැදිලිව සඳහන් කළ යුතුය. 

එමෙන්ම මේ අසා දැනගත් සාක්‍ෂිය නඩුව අදාළ කර ගත්තේ ඇයිදැයි ඔවුන් එම ලිපියේ සඳහන් කළ යුතුය. අවසානයට අනෙක්‌ පාර්ශවය මේ සාක්‍ෂි අභියෝගයට ලක්‌ කළහොත් එය ඔප්පු කරන්නේ කෙසේද යන්න ද ඒ දැනුම්දීමේම සඳහන් කළ යුතුය. නමුත් මෙවැනි කිසිදු කොන්දේසියක්‌ නොමැතිව පිල්ලේ ඇතුළු පිරිස අසා දැනගත් සාක්‍ෂිත් සාක්‍ෂි හැටියට පිළිගත්තේය. මේ කාරණා නිසා රුවන්ඩානු අපරාධ අධිකරණය නීති විශාරදයන්ගේ විවේචනයට ලක්‌ වී ඇත. අද මේ ලංකාවට පැමිණ සිටින්නේ මෙවැනි කැකිල්ලේ උසාවියක හිටපු නඩුකාරියක්‌ බව ජනතාව දැනගත යුතුය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර 
http://www.divaina.com/2013/08/26/feature01.html

2 comments:

sarath said...

Eya thamayi eksath jathinge manawa himi kam maha
lekam!Ekawath danne nadda?

EMoneyBlog said...

රණවිරුවන් දිනා දුන් දේශය රැක ගැනීම කාගේත් වගකීමයි.