Pages

Tuesday, November 19, 2013

2000 මාර්තු මස 30 වනදා මා රැගෙන ආ මිසයිලයෙන් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයට ප්‍රහාර එල්ල කරා. යානය විනාශ වුණා.

වසරේ විල්පත්තුව කැ‍ලේ සැඟව ඉඳලා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ශ්‍රී ලංකා  ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ  ගුවන් යානයක් බිම හෙළුවා. එම ගුවන් යානය බිම හෙළීම අගයමින්   එල්.ටී.ටී.ඊ.  ත්‍රස්ත සංවිධානයේ නායකයා වශයෙන් කටයුතු කළ වේලුපිල්‍ලේ ප්‍රභාකරන් මට පිස්තෝලයක් සහ විශේෂ අත් ඔරලෝසුවක් ප්‍රදානය කරා.  මෙම ගුවන් යානයට පහර දීම සඳහා තොරතුරු ලබාදුන් මන්නාරමේ අරුලානදන් නමැත්තාටත් එල්.ටී.ටී.ඊ. නායකයා රන් පැහැති  කඩුවක් ප්‍රදානය කළා යැයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත  සංවිධානයේ මිසයිල  බළකායේ හිටපු සාමාජිකයෙක් කොළඹ  පිහිටි ත්‍රස්ත විමර්ශන  ඒකකයට පා‍පොච්චාරණය කරමින් කියා තිබේ. විල්පත්තු කැ‍ලේ සැඟව සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32  වර්ගයේ ගුවන් යානයකට අධිබලැති මිසයිල ප්‍රහාරයක් එල්ල කර යුද හමුදා ලුතිනන්වරුන් තිදෙනෙකු ඇතුළු 37 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නො. 24/4, මාර්තඩ් පටුමග,  යාපනය, නාවක්කෙඩි ලිපිනයේ පදිංචි ඉරාසතුරෙයි ජෙගන් නොහොත් පුලවන් නමැත්තා  ත්‍රස්ත විමර්ශන ඒකකයට කළ පා‍පොච්චාරණය ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් අනුරාධපුර විශේෂ  මහාධිකරණය වෙත යොමු කර තිබුණි.

එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සැකකාර එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තවදුරටත් මෙසේ පා‍පෝච්චාරණය කර තිබේ. මම යාපනය ඉනුවිල් සයිවර් මහා විද්‍යාලයේ 08 වසර දක්වා ඉගෙන ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ  සදිස්  යන අය මාර්ගයෙන් ස්වකැමැත්තෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී යාපනය  ඔල්පාර්ක්ස් කඳවුරට  ගියා. 1991 මාර්තු 1 වන දින යාපනයේ මනියන් තෝට්ටම්  ප්‍රදේශයේ  පුහුණු කඳවුරකට ගියා. එහිදී  තවත් 250ක් සමග ශාරීරික අභ්‍යාස  පෙළපාළි, අත්බෝම්බ ඒ. කේ. 47 අවිය සම්බන්ධයෙන්  මාස 03 ක පුහුණුවක් ලැබුවා. පුහුණුව ලබාදුන්නේ ඉරෙක් මාස්ටර් සහ තෝමස් මාස්ටර් විසින්.  පුහුණු අවසානයෙන් පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ    අංකය ලෙස 0129 ලැබුණා. නම පුලවන්, ඉන්පසු මා ඉම්රාන් පාණ්ඩියන් බළකායට අනුයුක්ත කළා. ඉන්පසු යාපනය රෝහ‍ලේ තුවාලකරුවන්ට උදවු කිරීමට යෙදෙව්වා.  1992 වර්ෂයේ උමා කාන්තන්ගේ  නායකත්වය යටතේ එල්.ටී.ටී.ඊ.   ක්‍රියාකාරකම් සිදු කළා. ඉන්පසු 1993  වසර දක්වා යාපනය නගරයේ එල්.ටී.ටී.ඊ.  සංවිධානය ස්ථාපිත කර තිබූ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව යාපනය කොඩිකාමන් ප්‍රදේශයේ පිහිටා තිබුණු 47  පුහුණු මධ්‍යස්ථානයට ගියා. එහිදී මා ඒ.කේ. 47 අවිය සහ දේශපාලන පුහුණුව 1995 වර්ෂය දක්වා ලැබුවා. ඉන්පසු මා සමග තවත් තිදෙනෙකු මිසයිල පුහුණුව සඳහා එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන ගඩාෆිට භාර දුන්නා. ලීමාවන්  යන මිසයිල පුහුණු කඳවුර පිහිටා  තිබුණේ එළඳුමට්ටුවාන්වල. එම කඳවුරේ මාස 03ක් මිසයිල සම්බන්ධයෙන්  වෙඩි දිනේෂ් මා ඇතුළු 05  දෙනෙකුට පුහුණුව ලබා දුන්නා. අප ප්‍රහාර සඳහා භාවිතා කළේ ඉන්දියන් හමුදාව භාවිතා කළ සෑම් 07 මිසයිල  සහ රුසියාවේ නිෂ්පාදිත ස්ටෙලා 03 මිසයිලයි. අප පුහුණුව ලැබූ ප්‍රදේශයට යුද හමුදාව ප්‍රහාර  එල්ලකර අත්පත් කරගැනීමත් සමග වන්නි ප්‍රදේශවල පුදුකුඩුඉරිප්පුවලට ගියා. 1995 එල්.ටී.ටී.ඊ. නායකයාගේ උපදෙස් මත ගඩාෆිගේ නායකත්වයෙන්  වෙඩි දිනේෂ්, සෙරන් මිසයිල අවියත් රැගෙන කෝපායි පාලම අසල සැඟව සිටියා. මම ගඩාෆිගේ උපදෙස් මත අරියාල ප්‍රදේශයේ  රැඳී සිටියා. මා සමග රාගවන් සිටියා. මට පැවරී තිබුණේ එම ප්‍රදේශයෙන් එන රජයේ ගුවන් යානා පිළිබඳ මිල්ස් නම් උපකරණයෙන් පරීක්ෂා කර දුර ප්‍රමාණය ගඩාෆිට දැනුම් දීමයි.

ඒ අනුව 1995 වර්ෂයේ අප්‍රේල් මස 28 වනදා ආරියාලය ප්‍රදේශයට ඉහළින් ගිය  ඇවුරෝ ගුවන් යානයක දුර පරීක්ෂා කරලා ගඩාෆිට දැනුම් දුන්නා. ගඩාෆි ඒකට මිසයිල ප්‍රහාරයක් එල්ල කරලා ඒක විනාශ කරා. ඒක විනාශ වෙලා මුහුදට කඩා වැටුණා. 1995 ජූලි 07 වන දාත් යාපනේ මායිපිටිවලදී පුකාරා එකකට මිසයිල ප්‍රහාරයක්  එල්ල කරලා විනාශ කළා. 1996 මැදදී මිසයිල  ප්‍රහාරයක් එල්ල කරලා A-17 ගුවන්  යානයක් බිම හෙළුවා. 1997 නොවැම්බර් 10 වනදා  M-24 ගුවන්  යානයකට මිසයිල ගැහුවා. මට මතක හැටියට 2000 වසරේ මාර්තු මස ගඩාෆිගේ  උපදෙස් මත විල්පත්තු කැලයට ආවා. ස්ටෙලා  වර්ගයේ මිසයිලයක් හා දින 10කට අවශ්‍ය කෑම අරගෙනයි විල්පත්තු කැලයට ආවේ. 2000 මාර්තු මස 30 වනදා මා රැගෙන ආ මිසයිලයෙන් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයට ප්‍රහාර එල්ල කරා. ගුවන් යානය විනාශ වුණා. ඉන්පසු 2001 ගඩාෆිගේ උපදෙස් මත මම අර්ජුන් සමග  මිසයිලයක්ද රැගෙන වාට්ටුවාල් ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේදී නාවික  හමුදා ඩෝරා යාත්‍රා 02කට ප්‍රහාර එල්ල  කර ඒවා විනාශ කර දැමුවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේදීත්  M-I  24 ගුවන් යානයකට ගහලා  බිම හෙළුවා. පෙලෙයිවලදීත් අරුණ ඇන්ටනොව් ගුවන් යානයකට ගහලා බිම හෙළුවා.  කොටි නායකයෙකු මුහුදේ තිබිලා යුද හමුදා සහ සිවිල් යුනිෆෝම්වල ඇඳුම් කොටස් ගෙනැල්ලා පෙන්නුවා.  2005 වසරේ සැප්තැම්බර් 18 වනදා පලාලි වලදී Y-8 වර්ගයේ  ගුවන් යානයකට  මිසයිල  ගහලා විනාශ කරා. මුලතිව් කඳවුරකට අපි ප්‍රහාර  එල්ල කරද්දී ඊට සහය වීමට ගුවන් හමුදාවේ  කෆීර් යානයක් පැමිණියා. අපි කෆීර් යානයටත් මිසයිල ප්‍රහාරයක් එල්ල කරා. නමුත් කෆීර් එකට මිසයිලය වැදුනේ නැහැ. 2006 පුදුකුඩුඉරිප්පුවල සැඟවිලා රජයේ ගුවන් යානා එනතුරු මාස ගණන් බලා  හිටියා. නමුත් ගුවන් යානා ආවේ නැහැ. ඉන් පසු 2006  වසරේ මා එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත්වන්න ලිපි භාර දුන්නා. සංවිධානය විරුද්ධ වුණා. 2009 ජනවාරි මාසයේ දී යුද හමුදාව මානුෂික මෙහෙයුම ආරම්භ කළා. අපි කඳවුරු අතහැර  පුදුකුඩුඉරිප්පු දේවපුරම් ප්‍රදේශයට පැමිණියා. ඉන්පසු මුල්ලිවයික්කාල්  පැමිණ  වට්ටාපෙලෙයි යුද හමුදා පාලන  ප්‍රදේශයට පැමිණියා. පසුව යුද හමුදාව විසින් ඕමන්තයේ කඳවුරට අප රැගෙන ආවා. අවසන්වරට මා වැලිකන්ද මරඳමඩු ප්‍රදේශයේදී කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට රැගෙන ආවා. ඉරේෂාතුෙරෙයි ජෙගන් නොහොත් පුලවන් නමැත්තාගෙන්  කොළඹ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරී එම්.ජේ.එම්. ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම මත ‍පොලිස්  සැරයන් 53251 සියාබ්දීන් මහතා ප්‍රකාශ ලබාගෙන තිබුණි. මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දැනට ඉරේෂතුෙරෙයි ජෙගන් නොහොත් පුලවන් සහ නල්ලාම් සිවලිංගම්  වසර 05 කට ආසන්න කාලයක් රක්ෂිත  බන්ධනාගාරගතව සිටී. අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරුවන්  වන නිශ්ශංක  බන්දුල  කරුණාරත්න මහතා සහ ඛිෙමා   ස්වර්ණාධිපති මහත්මිය යටතේ මෙම නඩුව නැවතත් මේ මස 25 වනදා විභාගයට ගැනීමට නියමිතය.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=21662:2013-11-19-03-14-49&catid=34:news&Itemid=62

සබැඳි ලිපි -
[
කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පිපිරවූයේ කොටි කාන්තාවක් - සංඥා දුන් කොටියා හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4474.html
]

1 comments:

HEMNET said...

පරීක්ෂණ කරන අය ගැන තොරතුරු දාන්න එපා.