Pages

Friday, January 10, 2014

ප්‍රකෝටි ගණන් මුදලින් දුප්පතුන් සැනැහූ දැන් මරණය සමඟ පොරබදන ලෝක ෆෝමියුලා ධාවන ශූරයා - ෂූමාකර්

ඉන්ධන වලින් ජවකැවූ වානේ රාමුවක්‌ තුළට රිංගා පැයට කිලෝමීටර 350කට අධික වේගයෙන් අතුරු ආන්තරාවකින් තොරව ගෙවා දැමූ ඔහු, ඒ මහා වේගය නිසාම ප්‍රකෝටිපතියකු බවට පත්වූ ඔහු, පැයට කිලෝමීටර 20ක වේගයක්‌ පාලනය කරගැනීමට නොහැකිව, මහා ආන්තරාවකට පත්ව හම්බකළ සියල්ල දමා එලොව යන්නට සැරසුණු හැටි.

දෛවයට පිං සිදුවන්නට එළොව ගොස්‌ මෙළොව එමින් සිටින හැටි..

මයිකල් ෂූමාකර් නම් ලොව එතෙක්‌ මෙතෙක්‌ බිහිවූ අසහාය 'ෆෝමියුලා වන්' ධාවකයා හිම මත ලිස්‌සා යැමේ විනෝදාංශයේ යෙදී සිටියදී ඇද වැටීම නිසා බරපතල අනතුරකට ලක්‌ව මේ වන විට තම වසර 45ක ජීවිතයේ අතිශයින් තීරණාත්මක දින කිහිපයක්‌ ගෙවමින් සිටීම පිළිබඳ කථාව එසේය.

මයිකල් ෂූමාකර් ගැන මේ සටහන තැබෙන්නේ, තවත් එක්‌ ලෝක ශූරයකු පිළිබඳ අනපේක්‍ෂිත පුවතක්‌ හෙවත් ප්‍රවෘත්ති නිමිත්තක්‌ ලෙසින් නොවේ. සැබැවින්ම ඔහු ගැන ලියන්නට තරම් වටිනා දේ ඇති නිසාය.

ජර්මනියේ තරමක්‌ දුරබැහැර පෙදෙසක පෙදරේරුවකු ලෙසින් ජීවිකාව පවත්වාගෙන ගිය පියකුට දාව ඉපදුණු ෂූමාකර් ලෝක ඉතිහාසයේ අංක එකේ 'ෆෝර්මියුලා වන්' ධාවකයා බවට පත්කරන්නට 'අ' යන්න කියවන්නේ ඔහුගේ ඒ දුප්පත් පියාය. මෝටර් කාර්මික ශිල්පය පිළිබවද දැනුමක්‌ තිබූ රොල්ෆ් ශූමාකර් (මයිකල් ෂූමාකර්ගේ පියා) තම පුතු සිව් හැවිරිදි වියට එළඹෙද්දී ඔහු කැමතිම සෙල්ලම් බඩුවක්‌ වූ පයින් පැද යන කරත්තයට (ගෝ- කාට්‌ එකට) කුඩා යතුරු පැදි ඇන්ජිමක්‌ සවිකර මෝටර් වාහනයක්‌ බවට එය පත්කළේය. එය තවත් දශක දෙක තුනක ඇවෑමෙන් ලෝක ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේද කිහිපයක්‌ සිය නමින් ලියවාගැනීම පිණිස තම පුතුට දුන් ආරම්භයක්‌ බව ඔහු කිසිවිටෙකත් නොසිතන්නට ඇත.

නමුත් වයස අවුරුදු 4 සිට ධාවකයකු බවට පත්වූ මේ දරුවා කෙටි කලකින්ම සිය ධාවන දක්‍ෂතා පෙන්නුම් කිරීමට පටන් ගත්තේය. නමුත් දිනෙක කුඩා ෂූමාකර් වීදි ලාම්පු කණුවක සිය රථය හප්පාගැනීමේ ප්‍රතිඵලය වූයේ ආරක්‍ෂිත ධාවන පථයක ඔහුගේ විනෝදාංශය කරගෙන යැමට දිය යුතු බවට සිය පියාගේ තීරණය අනුව නුදුරින් පිහිටි 'කාට්‌ රේසිං' ධාවන පථයක 'කාට්‌'(තරග ධාවනයට යොදා ගන්නා කුඩා සෙල්ලම් බඩුවක්‌ වැනි රථයකි) ධාවකයකු ලෙස ඔහුව ඇතුළත් කිරීමයි. එදා ඒ කාට්‌ ධාවන සමාජයේ සිටි ලාබාලම සාමාජිකයා ඔහුය. එහෙත් මේ ක්‍රීඩාවේ යෙදීම පිණිස කාට්‌ රථයක්‌ ගැනීමට තරම් වත්මක්‌ ෂූමාකර්ගේ පියාට නොවීය. ඒ ධෛර්යවන්ත පියා එවිට සිදුකළේ භාවිතයෙන් ඉවත් කළ කාට්‌ රථ කිහිපයක හොඳ මට්‌ටමේ තිබූ කොටස්‌ එකලස්‌ කර සිය කාර්මික ඥාණය යොදා 'ඇහින්දාස්‌ ' කාට්‌ රථයක්‌ තම 'වේගවත් පුතුට' තනා දීමයි. 

මයිකල් ෂූමාකර් තටු ලද්දකු ලෙසින් සිය දුප්පත් රථය පදවාගෙන ගියේය. වයස අවුරුදු 6 දී ඔහු සිය පළමු අන්තර් සමාජ ධාවන ශූරතාව දිනාගත්තේ තම රථය දුප්පත් වුවත් ධාවකයකු ලෙසින් සිය තමන් කොතරම් පොහොසත්ද යන්න පෙන්නුම් කරමිනි. තම පුතුගේ අනාගතය දුටු රොල්ෆ් එම කාට්‌ තරග ධාවන පථය ආසන්නයේ කාට්‌ රථ අලුත්වැඩියා කරන්නෙකු ලෙසින් අලුත් ජීවිකාවක්‌ ඇරඹුවේද පුතුගේ ගමනට තවත් ශක්‌තියක්‌ වීම පිණිසය. ඔහුගේ බිරිඳ එලිසෙබත් ඒ ධාවන පථය තිබූ ක්‍රීඩාංගණයේ ආපන ශාලාවේ වැඩට පැමිණියාය. ඒ අනුව ෂූමාකර් පවුල සහමුළින්ම තරග ධාවනය සිය ජීවිත වලට ඇඳාගත්තේය. 

එහෙත් තම පුතුගේ කාට්‌ රථයට නව ඇන්ජිමක්‌ මිලට ගැනීමට තරම්වත් මුදලක්‌ ඔවුන් සතු නොවීය. එදා ඔවුන්ගේ උපකාරයට පැමිණියේ මේ නැගී එන ධාවකයාගේ දක්‍ෂතා දුටු ඒ පළාතේ ව්‍යාපාරිකයෙකි. දුප්පත් අයෙකු වෙනුවෙන් ධන පරිත්‍යාගයක වටිනාකම කුඩා ෂූමාකර්ට එදා තදින් දැනුනේය. 

කාට්‌ ධාවනය සඳහා බලපත්‍රය ලබාගැනීමට එදා වයස අවුරුදු 14කට වඩා වැඩි විය යුතු වුවත් මයිකල් ෂූමාකර් නම් අතිදක්‍ෂ ධාවකයා වෙනුවෙන් වයස අවුරුදු 12දී එම බලපත්‍රය පිරිනැමෙන්නේ විශේෂ වරප්‍රසාදයක්‌ ලෙසිනි. ඔහු ජාතික මෙන්ම ජාත්‍යන්තර තරග වලදීද ජයග්‍රහණ ලබමින් පෙරට පැමිනුණි. 1987 වන විට ජර්මානු සහ යුරෝපීය කාට්‌ ශූරයා වුවද 1987දී අධ්‍යාපනයෙන් බැහැරවන ඔහු කාර්මික ශිල්පියෙකු ලෙසින් රැකියාවට පිවිසෙන්නේය.

නමුත් ධාවනයට සමුනොදුන්නේය. කාලයාගේ ඇවෑමේන් කාට්‌ රථයට සමුදුන් ඔහු තරග අංශ කිහිපයක්‌ සාර්ථකව ඉක්‌මවමින් 90 දශකය ඇරඹීමත් සමග, තරග ධාවන ක්‍ෂේත්‍රයේ හිනිපෙත්තේ ඇති 'ෆෝමියුලා වන්' තරග බිමට පිවිසුණි. 

ඔහු අසාමාන්‍ය වේගයක්‌ සහිත ෆෝමියුලා වන් ධාවකයෙක්‌ විය. විශේෂයෙන්ම වේගවත් ධාවනය ඉතා අසීරු තෙත ධාවන පථ වල අධිවේගයක්‌ සහිතව නිරුපද්‍රිතව පැදයැමට ඔහු විශේෂඥයකු විය. ඒ නිසාම ඔහුට 'වැසි රජා' යන අන්වර්ථ නාමයක්‌ද පටබැඳුනේය. පිළිවෙලින් 1994, 1995, 2000, 2001, 2002, 2003 සහ 2004 යන වසර වල ෆෝමියුලා වන් ලෝක ශූරතා දිනාගනිමින් මෙතෙක්‌ කිසිදු ධාවකයෙකුට කළ නොහැකි වික්‍රමයක්‌ ඔහු කළේ මෙතෙක්‌ ලොව පහළවූ අද්වතීය ධාවකයා 'මයිකල් ෂූමාකර්' බවට ජගත් ඉතිහාස පොතේ සටහනක්‌ තබමිනි. 

ෂූමාකර්ගේ බාල සහෝදරයා වන රැල්ෆ් ද ඔහු සමගින්ම ෆෝමියුලා වන් ධාවනයේ යෙදුණි. සහෝදරයන් දෙදෙනෙකු ෆෝමියුලා වන් තරග ජයගත් එකම අවස්‌ථාව, මෙන්ම සහෝදරයන් දෙදෙනෙක්‌ එම තරග වලදී පළමු සහ දෙවැනි ස්‌ථාන දිනාගත් මෙතෙක්‌ එකම අවස්‌ථාවේද හිමිකරුවෝ ඔවුහුය.

දහසින් බැඳ පියළි හිමිවන සහ පවුම් මිලියන, බිලියන ගණන් වලින් අනුග්‍රාහකත්ව හිමිවන  ෆෝමියුලා වන් ධාවනයෙන් මයිකල් ෂූමාකර් උපයාගත් මුදල කෙසේද යත් ලොව ප්‍රකෝටිපතියෙකු බවට පත්වූ පළමු ක්‍රීඩකයා මෙන්ම ධනවත් බව අතින් ලොව දෙවැනි ක්‍රීඩකයා බවටද 'ෆෝබ්ස්‌' සඟරාවෙන් ඔහුව හඳුන්වාදුනි. 2010 වන විට පවුම් මිලියන 515ක ධනයක්‌ සහිත ඔහු මර්සඩීස්‌ සමාගමේ ධාවන උපදේශකයකු ලෙසින් වසරකදී උපයන වැටුප පමණක්‌ පවුම් මිලියන 30ක්‌ විය.

ඔහු අතිශයින් සුඛෝපභොගී ජීවිතයක්‌ ගතකළද ඔහුගේ ජීවන රටාව ඉතාම සරළ විය. සිය දියණියට සහ පුතුට හොඳ පියෙකු විය. බිරිඳට සැබෑ ලෙස ආදරය කළ සැමියෙක්‌ විය. වෙනත් ජනප්‍රිය චරිත වලට ගෙතෙන කථා මයිකල් ෂූමාකර් නමට අදාළ නොවීය. එදා අටවාගත් කාට්‌ රියකින් දුප්පතෙකු ලෙස ඇරඹූ ගමන ඔහුට හොඳින් මතක තිබුණි.

ඒ නිසාම ඔහු දුප්පතුන්ට, නැති බැරි අසරණ මිනිසුන්ට සිය ධනය නොමසුරුව පරිත්‍යාග කළේය. ලොව නොයෙකුත් රටවල සිටින දුප්පතුන්ට අධ්‍යාපනය, ආහාර, බෙහෙත්හේත්, හිසට සෙවනක්‌ දීම පිණිස ඔහු තරග ධාවනයේ යෙදුණු අවසන් වසර 4 දී පමණක්‌ පෞද්ගලික ධනය අවම වශයෙන් ඩොලර් මිලියන 50කට වැඩිය (රුපියල් කෝටි 675කට වැඩිය) පරිත්‍යාග කර තිබේ. 2004 සුනාමි ව්‍යසනය වන අවස්‌ථාවේ සංචාරයක යෙදී සිටි ශූමාකර්ගේ ශරීර ආරක්‍ෂකයෙකු ලෙසින් කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ දරුවන් මියයැම මේ සංවේදී මිනිසාට දරාගැනීමට අපහසු විය. ඔහු සුනාමියෙන් ආපදාවට පත්වූවන් වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක්‌ පරිත්‍යාග කළේය. මයිකල් ෂූමාකර් නම් පරිත්‍යාගයෙන්ද පොහොසත් මේ මිනිසා සිය ජීවිතය තුළ දනට පිනට දුන් මුදල මෙතෙකැයි කිව නොහැකි බව සඳහන් වේ. තම පෞද්ගලික ධනය වැඩිපුරම සමාජ සේවයට දුන් ක්‍රීඩකයා ලෙසින් ස්‌වර්ණමය සටහනක්‌ ඔහුගේ නම ඉදිරියේ වෙයි. ඔහු එසේ පරිත්‍යාග කළ මුදල කිසිදු ක්‍රීඩකයකු, ක්‍රීඩා සමාජයක්‌ හෝ ක්‍රීඩාවට සම්බන්ධ කිසිම ආයතනයක්‌ සමාජ සේවයට නොදුන් තරම් මුදලක්‌ බව කියවේ. සමහරක්‌ රටකටත් වඩා ඔහු දුප්පතුන් වෙනුවෙන් ආධාර දුන්නේ යෑයි සඳහන්ය.

මේ සොඳුරු මිනිසාගේ ජීවිතයේ අඳුරු දවසක්‌ වූ ඉකුත් දෙසැම්බර් 29දා ප්‍රංශයේ ඇල්ෆ්ස්‌ කඳු තීරයේ පිහිටි තමන්ගේම නිවාඩු නිකේතනයක සිට හිම මත ලිස්‌සමින් සිටියදී ඇදවැටී ගලක හිස වැදීමෙන් මරණය ආසන්නයටම ගියේය. මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක්‌ සිදුවිය. අනතුරෙන් විනාඩි 15ක්‌ තුළ ඔහුව හෙලිකොප්ටරයකින් හිසේ ශෛල්‍යකර්ම පිළිබඳ විශේෂඥ රෝහලකට ගෙන යැමට හැකිවීම නිසා ජීවිතය බේරාගැනීමට හැකිවිය. නමුත් ඔහු තවම මරණයෙන් යන්තමින් ගැලවී සිටිනවා පමණි. හිසේ ශෛල්‍ය කර්ම දෙකකින් පසු තත්ත්වය කෙමෙන් හොඳ අතට හැරෙමින් තිබේ.

මේ පිළිබඳ සිදුකළ පරීක්‍ෂණයේදී ඔහු නිසි ධාවන පථයෙන් එපිට පැයට කිලෝ මීටර 20 තරම් අඩු වේගයකින් යමින් සිටියදී මේ අනතුර සිදුවූ බව සොයාගෙන ඇත. ඔහු ධාවන පථයෙන් පිටට ගියේ ඇයි? පසු විපරම් වාර්තා වල සඳහන් වන අන්දමට ඔහු නිසි ධාවන පථයෙන් ඉවතට ගියේ හිම මත ලිස්‌සා යැමේදී ඇද වැටුණු තම අයෙකුට සහය වීම පිණිසය.

හොඳ මිනිසකුට පෙර කර්මයක්‌ ඵල දුන්නේද? පැයට කිලෝමීටර 350ක වේගයේදී ආරක්‍ෂාවුන ඔහුට පැයට කිලෝමීටර 20 වේගයකදී සිදුවූ දෙය!!!

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/01/10/sports02.html

Pic Source

සබැඳි ලිපි -
[
හිම මත හිස ගැටුණු 'ෆෝමියුලා වන්' ධාවන ශූර මයිකල් ෂූමාකර් ජීවිතයත් මරණයත් අතර සටනකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7734.html
ෆෝමියුලා ශූරතාව 7 වතාවක් දිනූ මයිකල් ෂූමාකර් හිම මත ලිස්සීමේදී හදිසි අනතුරකින් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්http://denethharinna.blogspot.com/2013/12/7.html
]

0 comments: